23 June 2017

බිරින්දෑවරු 22යි දරුවන් 115යි – මෙන්න රාජා

සෞදිය රාජ්‍ය කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා හුගක් වෙනස් රටක්.
 
වෙනස මොකක්ද කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නැහැනේ.
 
විශේෂයෙන්ම සෞදියේ විවාහය කියන්නේ 1කින් 2කින් නතර වෙන දෙයක් නෙමෙයිනේ, 10ක් 20ක් වෙනකන් යනවා.
 
ඉතිං ඒ විදිහට විවාහයන් රැසක් කරගත්තු සෞදියේ ඉන්න විශේෂිත පුද්ගලයෝ කිහිපදෙනෙක් ගැන තොරතුරු කියන්නයි මේ සූදානම.
 
ඒ ගැන විස්තර පහත තියෙන ඡායාරූප වලින්ම විස්තර බලන්න…
 
රජුගේ නම – saud bin abdulaziz al saud – බිරින්දෑවරු 22යි දරුවන් 115යි

රජුගේ නම – Abdullah Bin Abdulaziz – බිරින්දෑවරු 30යි දරුවන්යි35

රජුගේ නම – Abdul Aziz Ibn Saud – බිරින්දෑවරු 22යි දරුවන්යි 100

රජුගේ නම – Kind Fahd – බිරින්දෑවරු 11යි දරුවන්යි 10

රජුගේ නම – Abdul Muhsin Bin Abdulaziz Al Saud – බිරින්දෑවරු 11යි දරුවන්යි 10

රජුගේ නම – Khalid Bin Abdulaziz Al Saud – බිරින්දෑවරු 4යි දරුවන්යි 10යි


යුඇන්පිය බෞද්ධකමෙන් කර අරින්න හදයි ?


“සාමකාමී ස්ථාවර ශක්තිමත් ආර්ථිකයක් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපෙරොත්තු දැල්වෙමින් ඇති මෙහොතක විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරවීමට කිසිදු ඉඩක් තිබිය යුතු නැත.” එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පසුගිය ජුනි 17 දා නිකුත් කරන ලද එම නිවේදනය මේ වන විට පොදු සමාජ කතිකාවකට බඳුන් වෙමින් තිබේ. ඒ ශ්‍රී ලාංකීය ජන සමාජයේ පවත්නා චිරාගත බෞද්ධ සාම්ප්‍රදායික උරුමය යටපත් කර ශ්‍රී ලංකාව නිර්ආගමික (Secular) රාජ්‍යයක් බවට පත් කිරීමේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවලක මුලාරම්භය එය විය හැකි බවට ඇතැමුන් තුළ සැක පහළවී ඇති බැවිනි.

ශ‍්‍රී ලංකාවේ පවත්නා උත්තරීතර නීතිය වශයෙන් එහිම දැක්වෙන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙහි නව වන ව්‍යවස්ථාව නම් වනුයේ ‘බුද්ධාගම’ යනුවෙනි. එම ඡේදය මෙලෙසිනි.

‘‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10වැනි ව්‍යවස්ථාවෙන් සහ 14වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු වන්නේය.’’

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාගේ ඉහත සඳහන් නිවේදනයට අනුව එම පක්ෂය කරන එක්සත් ජාතික පක්ෂය ඉහත සඳහන් ව්‍යවස්ථාමය වගකීම හීන් සීරුවේ කර ඇරීමට උත්සාහ කරන බවක් යමකුට ඒත්තු යා හැකිය.

නමුත් ඉහත සඳහන් ව්‍යවස්ථාව අනුව වුව හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික සහ සෙසු කිතුනු ආගම් නියෝජනය කරන දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජාතිකයන්ට ඔවුන්ගේ ආගම් ඇදහීමේ නිදහස ද තහවුරු කොට ඇත.

මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් වන ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යනුවෙන් නම් කොට ඇති දසවන ඡේදයේ එන ඒ සම්බන්ධ වගන්තිය මෙලෙසිනි.

‘‘සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.’’

දේශපාලනය සහ ආගම මානව ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට එක්ව අත්වැල් බැඳ පැමිණ තිබේ. ලොව සෑම ජන සමාජයකම පූජක පැලැන්තිය සමාජය තුළ පාලකයන්ට ඉහළින් ස්ථාපිත වී තිබුණේ එබැවිනි.

නමුත් මානව බුද්ධි පරිනාමයේ එක්තරා අවස්ථාවකදී දේශපාලනය සහ ආගම දෙකට බෙදී දෙමංසලක ගමන් කිරීම අරඹා ඇත. ලෝක දේශපාලනයේ නවීනතම අවස්ථාවක් වන මෙය හැදින්වෙනුයේ පල්ලිය සහ රාජ්‍යය එකිනෙක වෙන්වීම (separation of Church and state ) යනුවෙනි. දෙශපාලනය නිරාආගමික විය යුතුය ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නට වූයේ ඒ අනුවය.

මේ තත්වය යටතේ වුවද ආගමික පදනම් වලින් යුතු දේශපාලනික සංවිධාන ලොව පුරා කොතෙකුත් බිහි වී සහ බිහිවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ජාතික හෙළ උරුමය බෞද්ධ පදනමකින් යුතු දේශපාලන පක්ෂයකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු ඉස්ලාම් ආගමික පදනමකින් යුතු දේශපාලන පක්ෂ කිහිපයක්ද අප රටෙහි තිබේ. ඒ අනුව බෞද්ධ දේශපාලනය යනු ආගම සහ දේශපාලනය එක් වූ ලෝක දේශපාලනයේ අපරිනත අවස්ථාවක් නිරුපණය කරන්නකැයි යමෙකුට හැඟී යා හැක.

එහෙත් එහි යථාර්ථය ඊට ඉඳුරාම වෙනස්ය.

බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය ‘ධර්ම රාජ්‍යය’ නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකි වුව ද සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. දීඝ නිකායේ එන චක්කවත්තී සිහනාද සූත‍්‍රය පිරික්සීමෙන් එය මනාව වටහා ගත හැක.

මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත්, අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිම ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග‍්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ.

මතුපිටින් බලන විට මෙහි ‘බෞද්ධ’ යන හැදින්වුම තිබුනද සැබෑ අර්ථ විග්‍රහයට අනුව මෙය සැලකිය හැක්කේ නිර්ආගමික රාජ්‍යය සංකල්පයක් වශයෙනි.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජනගහණය සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 69.30%කි. එහෙත් ඉන්දියානු ජනගහණයේ හින්දු ආගමික ප‍්‍රතිශතය 79.8%කි. ඊට අමතරව ඉන්දියාවේ සෙසු ආගම්වලට අයත් ජනගහණය ප‍්‍රතිශතයක් ලෙස මෙලෙසිනි.

ඉස්ලාම් 14.2%, ක‍්‍රිස්තියානි 2.3%, ෂීක් 1.7%, බෞද්ධ0.7%, ජෛන 0.4%, වෙනත් ආගමික 0.7%, නිර්ආගමික 0.2%

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනගහණයට සාපේක්ෂව හින්දු ජනගහණයේ 10%කට වැඩි ප‍්‍රතිශතයක් පෙන්වන ඉන්දියාව මේ වනවිට ‘නිර්ආගමික’ රාජ්‍යයක් බව වත් අප රටේ බොහෝ දෙනෙක් නොදනිනි. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15-25 වගන්තිවලින් එහි ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර තිබේ.

1947 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ග‍්‍රහණයෙන් මිදුණු ඉන්දියානු රාජ්‍යයේ නිර්ආගමික බව 1976 අංක 62දරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම රටේ උත්තරීතර නීතියට එක්කොට තිබේ.

හින්දු, බෞද්ධ, ජෛන, ෂීක් යන ප‍්‍රධානම ආගම් හතර මෙලොවට දායාද කළ ඉන්දීය රාජ්‍යය දේශපාලනික වශයෙන් නිර්ආගමික වීම අති නවීන සංකල්පයක් සේ බටහිර විචාරකයෝ කියති. එහෙත්, බුදු දහමින් ඉදිරිපත් කෙරෙන අතිශය සහනශීලී අවිහිංසාවාදී පදනමක් වන අශෝක අධිරාජ්‍යයා විසින් ලොවට ඉදිරිපත් කළ ආගමික සහජීවන පිළිවෙත ඉන්දියාව තුළ පරිණාමයට, විකාශනයට සහ සංවර්ධනයට පත්වීමේ පියවරක් ලෙස ඉන්දියාව මෙලෙස නිර්ආගමික රාජ්‍යයක් වන්නට ඇත. මෙය අදද බොහෝ දෙනෙකුට නොවැටහෙන සත්‍යයකි.

වර්තමාන ඉන්දියානු රාජ්‍ය ලාංඡනය වනුයේ ද අශෝක අධිරාජ්‍යයා විසින් සාරානාත් හි පිහිටුවා තිබූ ශිලා මූර්තියක සංකේතයකි. මෙම මුර්තියේ දැක්වෙන සිව් දෙසට මුහුණ ලා ගත් ඉන්දීය සිංහයන් සිව් දෙනකුගේ රූප සීනුවක හැඩය සහිත පියුමක ආකෘතියක් මත ඇති පීඨයක් මත තනා තිබේ. එම පීඨයේ වම් පස අශ්වයකුගේ සහ දකුණෙහි ගවයකුගේ රූප දැක්වෙන අතර ඒ මධ්‍යයෙහි ඇත්තේ ගරාදි විසි හතරකින් යුතු ධර්ම චක‍්‍රයකි.

‘අශෝක චක‍්‍ර’ නමින් හැඳින්වෙන නිසැක ලෙසම බෞද්ධ ධර්ම චක‍්‍ර සංකේතයක් වන මෙය ඉන්දියාව 1947 ජූලි 22දා සිට ඉන්දීය ජාතික ධජයේ ඇති එකම සංකේතය ලෙස යොදාගෙන තිබේ. එහෙත්, සියයට අසූවක් පමණ හින්දු ජනගහණයක් වෙසෙන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයට සහ ජාතික කොඩියට ඊට වඩා ඉතා සුළු ජනගහණයක් අදහන බෞද්ධ සංකේතයක් යොදා ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් එල්ල වී නැත.

ඊට හේතුව ඉන්දීය සංස්කෘතිය සහ සභ්‍යත්වය මුල්කර ගනිමින් ගොඩ නැගුණු උදාරතර ශිෂ්ටාචාරය මත පදනම් වූ ජාතිකත්වය සඳහා බුදු දහමින් සහ ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් ලත් සුවිශේෂ පිටිවහලට කෘතගුණ පෑමක් වශයෙන් ද විය හැක.

ඒ තත්වය තුළ ශ්‍රී ලංකාව තුළ සැබෑ බෞද්ධ දර්ශනික දේශපාලනය ස්ථාපිත කරවීම යනු හුදෙක් හින්දු මහායාන ඇතුළු සෙසු ආගමික අංශද ඇතුළත් නූතන ව්‍යවහාරික බුද්ධාගම සහ දේශපාලනය එක් කර ගනිමින් වර්ගවාදී සංකල්ප පැතිර වීම නොවේ. ශ්‍රී ලංකාව තුළ සැබෑ බෞද්ධ දේශපාලන දර්ශනය ස්ථාපිත කළ හැක්කේ ශ්‍රී ලංකාව නිර්ආගමික රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පමණි.

| තිලක් සේනාසිංහ

අරාබි රටවලින් කටාරය වෙත ඉල්ලීම් 13ක්

 සෞදිය ඇතුළු මැදපෙරදිග රාජ්‍යයන් කිහිපයක් කටාරය සමග සියලු සබඳතා අත්හැරීමෙන් එම කලාපය තුළ ඇති වූ රාජතාන්ත්‍රික අර්බුදය තවදුරටත් උග්‍ර අතට පත්ව තිබේ.

ඒ අනුව, දැනට ඔවුන් වෙත පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය වී ඇති අල්-ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීය ඇතුළු ඉල්ලීම් 13ක් මෙම මෙම අරාබි රටවල් විසින් කටාරය වෙත ඉදිරිපත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, ඉරානය සමග සබඳතා අඩු කිරීම, කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත්කිරීම ඇතුළු මෙම ඉල්ලීම් දින 10ක් ඇතුළත ඉටුකළ යුතු බවද එහිදී අවධාරණය කර තිබේ.

මීට අමතරව, මුස්ලිම් සහෝදරත්වය සංවිධානය හා සබඳතා අත්හැරීම, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් හතරේ වැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබානොදීම හා දැනට ලබාදී ඇති අය පිටුවහල් කිරීම, ත්‍රස්තවාදයට අනුබලදීම යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් මෙකී රටවලට භාරදීම, ඇමෙරිකාව විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇති ඕනෑම සංවිධානයකට මූල්‍යාධාර ලබාදීම වහාම නතර කිරීම, සෞදිය ප්‍රමුඛ මෙම රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට සැපයූ මූල්‍යාධාර පිළිබඳ සවිස්තර වාරතා ලබාදීම, අල්-ජසීරා, අරාබියා21 සහ මිඩ්ල් ඊස්ට් අයි ඇතුළු අනෙකුත් මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම, සිය රටවලට වන්දි මුදලක් ගෙවීම යන ඉල්ලීම්ද ඒ අතර වෙයි.

කෙසේ වෙතත්, මෙම රාජ්‍යයන් විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් පිළිබඳව කටාරය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, තමන් වෙත පනවා ඇති සම්බාධක ඉවත්කරන තුරු කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවද පවසා තිබේ.



ඩෙංගු කළමනාකරණ සජීවී රූපවාහිනී සංවාදය හෙට


ඩෙංගු රෝගය මැඩපැවැත්වීම හා කසළ කළමනාකරණය  පිළිබඳ සාකච්ඡා කරන සජීවි රූපවාහිනි සංවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (24)  රාත්‍රී 9.30 සිට රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි නාලිකාවන් රැසක් ඔස්සේ සජීවී ව විකාශය කෙරේ.  කාලීන වශයෙන් ඉතාමත් වැදගත් වන මෙම මාතෘකාවට අදාළව රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පැහැදිළි කිරීම මෙන්ම මෙම විෂයය පිළිබඳව මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම සජීවී සංවාදය ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනී සේවය මෙන්ම  ටී.වී.දෙරණ, ස්වර්ණවාහිනිය, සියත, සිරස, හිරු හා ටී.එන්.එල් නාලිකාව යන රූපවාහිනී නාලිකාවන් තුළින්ද විකාශය කිරීමට නියමිතය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු මහේෂ් ජයවීර, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා යන  මහත්වරුන් ද මෙම සංවාදය සඳහා  සහභාගි වෙති.

මෙම සජිවි සංවාදය සඳහා එක් එක් රූපවාහිනි නාලිකාවන්ගෙන් නියෝජිතයකු බැගින්  සහභාගි වන අතර එම මාධ්‍යවේදීන්ට මෙම විෂය හා සම්බන්ධ සියලු ගැටලු ජනාධිපතිතුමා වෙත  හා සහභාගිවන සෙසු විද්වත් මණ්ඩලය  වෙත විවෘතව යොමු කළ හැකිය.

ඒ අනුව, රටේ වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය මැඩපැවැත්වීම හා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු සියලු කරුණු මෙම විද්වත් පිරිස  සමග විවෘත ව සාකච්ඡා කොට ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමට මේ තුළින් අවස්ථාව සැලසෙනු ඇත.

උද්ඝෝෂණ කියන්නේ සීල ව්‍යාපාර නෙවෙයි – වෛද්‍යවරුන්ගේ සටනත් සාධාරණයි

උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නොවන බවත්, සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන. වටළන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක බවත්, පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේ අද (23) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මේ වනවිට අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. ආදායම බිඳ වැටිලා. ආණ්ඩුව කළ යුත්තේ වියදමට සරිලන විදිහට ආදායම වැඩි කරගන්න එකයි. නමුත් ආණ්ඩුව කරන්නේ ආදායමට අනුව වියදම අඩුකරගන්න හදන එකයි. අඩු කරන්න හදන්නේ මොනවද? ජනතාව වෙනුවෙන් කරන වියදම් අඩු කරනවා. නමුත් ඇමතිවරු වෙනුවෙන් දරන බර අඩු කරන්නේ නැහැ. වාහන ගේනන, බිල්ඩින්වලට කරන වියදම අඩු කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්නයක්. අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වැරදි එකක්.

මේ ආණ්ඩුව බලයට එනකොට ඉදිරිපත් කරපු ප‍්‍රතිපත්තියට විරුද්ධ එකක්. මේක ඊනියා යහ පාලනයක් තියෙන ආණ්ඩුවක්. ආණ්ඩුව එනකොට කිව්වේ ශිෂ්‍යයන්ට පහර දෙන්නේ නැහැ, උද්ඝෝෂණ මර්දනය කරන්නේ නැහැ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය දෙනවා කියලා. නමුත් අද අඳ, ගොළු, බිහිරි පාසැලක් වගේ. ජනතාවගේ ප‍්‍රශ්න ඇහෙන්නේ නැහැ. පොලීසියට පොල්ල දෙනවා ප‍්‍රශ්න විසඳන්න කියලා. පොලීසියට ප‍්‍රශ්න විසඳන්න පුළුවන්නම් රටකට ඇමති මණ්ඩලයක් ඕන නැහැ.

මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරනවා. සයිටම් වැහුවොත් ඒකට බාධා වෙන නිසා ආණ්ඩුව මාරාන්තිකව මේ ආයතනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ බහුතරක් දෙනා මේ ආයතනයට විරුද්ධ වෙනකොට ආණ්ඩුව එක ආයතනයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ප‍්‍රශ්නය විසඳන්නේ නැතිනම් අපිට සිදුවෙනවා ආණ්ඩුව ගෙදර යවන තැනකට සටන වර්ධනය කරන්න. ඒක මර්දනයෙන් වළක්වන්න බැහැ කියලා අපි ආණ්ඩුවට කියනවා.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.

වෛද්‍යවරුන් ආණ්ඩුවට බලපෑම් කරනවා සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා. වෛද්‍යවරුන්ගේ සටන සාධාරණයි. ඔවුන් වගකීම් විරහිත නැහැ. මේ වෛද්‍ය වර්ජනයක්. කලින් සැලසුම් කරල තිබුණ එකක් නෙවෙයි. ශිෂ්‍යයන්ට පහර දුන් එකට විරෝධය පළ කරලා තමයි වර්ජනය ආරම්භ වුණේ. මේකෙන් රෝගීන්ට පාඩුවක් වෙනවා. නමුත් වෛද්‍යවරුන් කියලා තිබෙනවා ඩෙංගු රෝගීන්ට සහ අත්‍යාවශ්‍ය සේවාවලින් වළකින්නේ නැහැ කියලා. මෙහි වගකීම බාර ගත යුත්තේ ආණ්ඩුවයි. මොකද, වර්ජනය කැඳවා ගත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා. ඒ වගේම වර්ජන ක්‍රියාමාර්ග වැඩි කරගන්නෙත් ආණ්ඩුවයි. වෛද්‍ය වර්ජනය අසාර්ථකයි කියලා එම ක්‍රියාමාර්ගය විහිළුවකට ගන්න ආණ්ඩුව හදනවා නම්, අසාර්ථකයි කියනවා නම් වෛද්‍යවරුන්ට සිදුවෙනවා, ක්‍රියාමාර්ග වැඩි කරන්න.

වර්ජනයක් ඇතුළේ වුවත් අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන එක ගැන අපි වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත විය යුතුයි. මේ ආණ්ඩුව මෝඩ, උද්දච්ඡ ඔළුව තිබුණට මදය නැති ආණ්ඩුවක්. අගමැතිට, සෞඛ්‍ය ඇමතිට, අසනීපයක් හැදුණොත් බෙහෙත් ගන්න සිංගප්පූරුවේ, ඇමරිකාවේ රෝහල් තිබෙනවා. ජනාධිපති අරමුදලේ සල්ලි තියෙනවා. අහිංසක දුප්පත් ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර නැතිවෙන එක ඔවුන්ට ගාණක් නැහැ. ඒ නිසා මේ පොඩි වර්ජනය ලොකු වර්ජනයක් කර ගන්න ආණ්ඩුව හදනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මෝඩ ඇමතිවරුන් මේකට වගකිව යුතුයි.

සිසුන් පැය 3ක් විතර අමාත්‍යාංශ භූමියේ හිටියා කිසිදු අලාභයක් සිදුවුණ බවට ඒවෙලාවේ රූප රාමු නැහැ. නමුත් පොලීසියයි, විශේෂ කාර්ය බලකායයි යොදවලා ශිෂ්‍යයන්ට පහර දෙන්න ගනිද්දී තමයි දේපළවලට අලාභහානි සිදුවුණේ. ඒ නිසා මේ භෞතික අලාභය සිදුකරගත්තේ ආණ්ඩුව විසින්. දැන් ඒකට අත්අඩංගුවට ගන්නේ ළමයි. ඔළු පලපු, අතපය කඩපු අය එළියේ ඉද්දී ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. ආණ්ඩුවකට වටින්නේ මිනිස්සුද, භෞතික දේවල්ද? ශිෂ්‍යයන්ගේ ඔළුවද, වාහනයේ වීදුරුවද කියලා අපි අහනවා?

උද්ඝෝෂණ කියන්නේ පෙරහැර හෝ සීල ව්‍යාපාර නෙවෙයි. සාකච්ඡා දෙන්නේ නැතිනම් ආයතන වටළනවා. ආණ්ඩුව කළ යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එක. පොලුවලින් ගහලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. ශිෂ්‍යයන්ට සාකච්ඡාවක් ලබා දුන්නා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ශිෂ්‍යයන්ට ගහන්න ගත්තොත් මේ අරගල තවත් වැඩි වෙයි. මේ සටන එවැනි තත්ත්වයකට යන එක වළක්වාගත යුත්තේ ආණ්ඩුවයි. මේ සටන ඉතාම සාධාරණ සටනක්. ඒ සටනින් ඉදිරියෙන්ම අපි ඉන්නවා. අපි ඒක හංගන්නේ නැහැ.

ආණ්ඩුව උත්සාහ කරනවා මේක අධිකරණයට බාර දීලා ගැලවෙන්න. නමුත් ආණ්ඩුව අධිකරණය හසුරුවන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙනව. මහින්ද අමරවීරලා විපක්‍ෂයේ ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විවිධ දේවල් කළා. පාරවල් වැහුවා. පොලීසිය සමඟ ගැටුණා. දැන් ආණ්ඩුවට ඇවිල්ලා තමන් හරි සදාචාරසම්පන්නයි, අහිංසකයි කියලා පෙන්වන්න හදනවා. මෙවැනි දෙබිඩි ප‍්‍රකාශ කරන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ආණ්ඩුවක් ජනතා හඬට කන් දෙන්නේ නැත්නම් සටන් ඇතිවෙනවා. ලෝකයේ කොයි රටෙත් එහෙමයි. ව්‍යවස්ථාවේ අයිතියක් තිබෙනවා, අදහස් ප‍්‍රකාශ කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ. ඒ අයිතිය නිසා තමයි ආණ්ඩුව උසාවියට යන්නේ වාරණ ගන්න. ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැත්නම් උසාවියට යන්න ඕන නැහැ. ආණ්ඩුව මේ වගේ ප‍්‍රකාශ කරලා මේ ප‍්‍රශ්නය යට ගහන්න බැහැ. මොකද, මේ රටේ වෛද්‍ය සභාව පවා සයිටම් ආයතනය වහලා දාන්න කියලා වසර ගණනක් තිස්සේ කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවා. ඒ නිසා මේ ආණ්ඩුවට තිබෙන්නේ වෙන වුවමනාවක්. ජනාධිපති මෛත්‍රීපාලට ඡන්දය දුන්නේ සයිටම් මුදලාලි නෙවෙයි. මේ රටේ ලක්‍ෂ හැට දෙකක් ජනතාව. ඒ නිසා ඔහු තීරණය කළ යුතුයි ජනතා හඬට කන් දෙනවාද නැද්ද කියලා.

අපි මේ සටන කරන්නේ හැමෝම වෙනුවෙන්. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ටත් සාධාරණයක් විය යුතුයි. ඒ ශිෂ්‍යයන්ගෙන් ලක්‍ෂ 100ක් 125ක් අරගෙන ඔවුන් අනාථ කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සියලූ දෙනාගේ සටනක් කියලා. මේ රටේ සියලූම ළමයි අපිට එක වගේ. මේ රටේ දුවා දරුවන් කිසිදු වෙනසක් නැතිව අපේ දරුවන්. ඒ සියලූම දෙනාට සාධාරණ විසඳුමක් ලැබෙන්න ඕන.

'මින් ඉදිරියට මීතොටමුල්ලට කුණු නෑ' කොළඹ මහ නගර සභාව

මින් ඉදිරියට මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ප්‍රදේශයට කැළි කසළ බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව. ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම තහනම් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේ කොළඹ මහ නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව දැනුම්දුන් බව වාර්තාවේ.

කැළි කසළ බැහැර කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් යොදවන බව ද නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් ජිවිත 40කට වැඩි සංඛ්‍යාවක් අහිමි වූ බවයි.

එබැවින් අදාළ පෙත්සම විභාග කර ජනතාවට සහනයක් ලබාදීම අවශ්‍ය බව එම නීතිඥවරුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 27 වනදා සිදු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බව වාර්තාවේ.

“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික  චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

“පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල ජුනි 26 වන දින සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකීය සිනමාවේ උත්කර්ෂවත් යුගයක් වූ 70 දශකයේ කැපී පෙනන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපධිධාරියෙක් වන අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු 1968 සිට 1978 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාර්යවරයෙක් ලෙස සේවය කර ඇත.

ඉන් අනතුරුව රුහුණු විශ්ව විද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය යනාදියෙහි ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරයෙක් ලෙස ද සේවය කරන ලදී.

1974 අහස්ගව්ව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපටකරණයට අවතීර්ණ වූ ධර්මසේන පතිරාජ මහතා එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ, වාසුලී, මතුයම් දවස, ස්වරූප සහ සක්කාරං යන වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී.

අදුරෙන් එළියට, වෙරළ, Putting the last first, Shelter for million families, දළ රළ පෙළ, පුනරාවර්තන, මාවතක් සොයනු පිණිස සහ A Road to sampur යන වාර්තා චිත්‍රපට ද කොරා සහ අන්ධයා, පුටු සහ කුරුල්ලෝ යන නාට්‍ය ද නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසිනි.

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ද ධර්මසේන පතිරාජ මහතා අතින් නිර්මාණය විය. ඒ අතර ගඟුලෙන් එගොඩට, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, වන්නිහාමිලාගේ කතාව, සුදුබණ්ඩලාගේ කතාව, පුර සක්මන, කඩුල්ල, සුබ අනාගතයක්, නන්නාදුනන පුත්තු, දුර්ගාන්තය සහ කම්පිත විල් යන නාට්‍ය ප්‍රමුඛ තැනක් ගනී. 1988 පැවති උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේ දී  ඇල්ල ළඟ වලව්වට හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි වූ අතර 1991 දී පැවති එම සම්මාන උළෙලේදී කඩුල්ල ටෙලි නාට්‍යයට ප්‍රතිභාත්මක ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි විය.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීව වශයෙන් ද කීර්තියක් අත් කරගත් ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා ජාතික සහ අන්තර්තර්ජාතික මට්ටමේ චිත්‍රපට උළෙලවල් කිහිපයකම ජූරි සබිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. ඒ අතර 1998 මෙල්බර්න් හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, 2003 පැවති 16 වන සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උළෙල, 15 වන කයිරෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල (සභාපති) මෙන්ම 1998 පැවැති චිත්‍රපට විචාරක සම්මාන උළෙල සහ 2001 පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල ද  (සහාපති ) දැක්විය හැකිය.

ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සතුරෝ කෙටි චිත්‍රපටය බිල්බාවෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපට 10 අතරට තේරුණු අතර 1972 දී චිත්‍රපට විචාරක සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 1978 තිරගතවූ බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයත් 1981 තිරගත වූ සොල්දාදු උන්නැහෙ චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට සහ තිර රචනයට හිමි ජනාධිපති සම්මානයත් හිමිකරගත් ගත්තේය.

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “ස්වර්ණ සිංහ” සම්මානයෙන් (Golden Lion) 2000 වසරේදී පිදුම් ලැබූ ඒ මහතා 16 වන සිංගප්පූරු අන්තර්ජාතික උළෙලේදී ද ඇගයීමට ලක්විය.

සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස 2003 වර්ෂයේ කටයුතු කළ ධර්මසේන පතිරාජ මහතා රජයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්‍යක්ෂ ලෙස ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් තමා උගත් දැණුම නව පරපුරට දායාද කිරීමේ උදාරතර හැගීමෙන් ප්‍රසස්ත නව සිනමාකරුවන්  බිහිකරලීමෙහිලා පුරෝගාමී සේවයක යෙදි සිටී.


ජුලි 1 වනදා සිට බස් ගාස්තුවත් ඉහළ යයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති.

ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නැංවෙනවා.

මීට අමතරව අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව මහරගම - ගාල්ල රුපියල් 410ක්, මහරගම - මාතර 500ක්, කඩුවෙල  - මාතර 520ක්, කොළඹ - මාතර 530ක්, කඩුවෙල - ගාල්ල 430ක්, කඩවත - මාතර 540ක් සහ කඩවත - ගාල්ල රුපියල් 440ක් වනවා.

අයර්ලන්තයට හා ඇෆ්ගනිස්තානයට අයීසීසීයෙන් ලොකු තෑග්ගක්

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිව තිබේ. ලන්ඩන් නුවරදී  (22 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත.

මෙම රටවල් දෙකත් සමගම ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 12 දක්වා වැඩිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ මීට වසර 17 කට පෙරදීය. ඒ බංග්ලාදේශයට ටෙස්ට් වරම් පිරිනැමීමෙනි.

වසර 1981 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයන් වූයේ රටවල් 7 ක් පමණි. 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවූ අතර 1992 දී සිම්බාබ්වේ කණ්ඩායම පූර්ණ සාමාජිකයන් අතරට ඇතුළත් කරගන්නා ලදි. වසර 2000 දී බංග්ලාදේශයට ටෙස්ට් වරම් හිමිවීමත් සමගම ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 10 ක් දක්වා වැඩිවිය.

පාකිස්තානයට උතුරින් පිහිටි ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන උනන්දුවක් තිබුණ අතර වසර 2011 සිට නිල වශයෙන් එක්දින ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ට ලැබිණ. වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ.

වසර 2007 සිටම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අයර්ලන්තය 2007 දී පාකිස්තානු පිල පරාජය කිරීමද සමත් විය.

සරසවි සිසුන් නොමග යවනවා : ජනපති

 රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් සිටින බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණ පිළිබඳ තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොකියන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  (22දා) පොළොන්නරුව ලංකාපුර මහා විද්‍යාලයේ පැවැති උත්සවයකදීය.

වසරකට මේ රටේ ලක්ෂ දෙක හමාරක පමණ සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් අනූ දහසක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවද, විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නේ විසිපන්දහසක පමණ සුළු පිරිසක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉතිරි දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල් ඵලගැන්වීම සඳහා රට තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සේම ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාලද බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා රටේ කිසිදු දරුවකුගේ අධ්‍යාපන අයිතීන්, කිසිදු අවස්ථාවක සීමා කළ නොහැකි බවද පැවසීය.

එමෙන්ම වාර්ෂිකව අසූ දහසක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන අතර, තම අධ්‍යාපන අපේක්ෂා වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ගේදොර පවා උකසට තබමින් අධ්‍යාපනය සොයා රට හැරයාම කනගාටුදායක තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එළැඹ තිබෙන අතර, මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බවද ඒ මහතා කියා සිටියේය.

පොලිස් නිල සුනඛ නඩත්තුවට 2016 දී ලක්ෂ 927ක්

 2016 වර්ෂය තුළදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු නිල සුනඛයන් නඩත්තු කිරීම සඳහා මුළු වියදම් ලෙස රුපියල් 92,751,156ක පිරිවැයක් දරා ඇතැයි නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මේ වනවිට පොලිස් නිල සුනඛ අංශය සුනඛයන් 177 දෙනෙකුගෙන් සමන්විත බවත්, ඉදිරියේදී තවත් සුනඛයන් 50 දෙනෙකු ආනයනය කිරීමට නියමිත බවත් හෙතෙම එහිදී සඳහන් කර සිටියේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ සුනඛයන් අභිජනනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළද, එහි සාර්ථකත්වය පහළ මට්ටමක පවතින බවයි.ඒ අනුව එම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය ලබාගන්නා තෙක් සුනඛයන් ආනයනය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවද ඔහු පැවසීය.