23 June 2017

සරසවි සිසුන් නොමග යවනවා : ජනපති

 රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්වීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් සිටින බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, එම අශීලාචාර දේශපාලන හස්තයන්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණ පිළිබඳ තමා කිසිදු විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් නොකියන බවද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  (22දා) පොළොන්නරුව ලංකාපුර මහා විද්‍යාලයේ පැවැති උත්සවයකදීය.

වසරකට මේ රටේ ලක්ෂ දෙක හමාරක පමණ සිසුන් පිරිසක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් අනූ දහසක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවද, විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නේ විසිපන්දහසක පමණ සුළු පිරිසක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉතිරි දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල් ඵලගැන්වීම සඳහා රට තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල සේම ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාලද බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා රටේ කිසිදු දරුවකුගේ අධ්‍යාපන අයිතීන්, කිසිදු අවස්ථාවක සීමා කළ නොහැකි බවද පැවසීය.

එමෙන්ම වාර්ෂිකව අසූ දහසක පමණ පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවන අතර, තම අධ්‍යාපන අපේක්ෂා වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ගේදොර පවා උකසට තබමින් අධ්‍යාපනය සොයා රට හැරයාම කනගාටුදායක තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් වුවද රජය පිළිගන්නා ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එළැඹ තිබෙන අතර, මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි සංශෝධන රැසක් සිදු කිරීමට රජය පියවර ගත් බවද ඒ මහතා කියා සිටියේය.

No comments:

Post a Comment