23 July 2017

චීනයේ වසර 1000 ක් පැරැණි භික්‍ෂු මමියක් | PHOTO

නිරෝගී අස්ථි කොටස් සහ සම්පූර්ණ මොළය යහපත් තත්ත්වයේ පවතින වසර 1000 ක් පමණ පැරැණි මමියක් බවට පත්වූ රන් ආලේපිත බෞද්ධ භික්‍ෂුවකගේ සිරුරක් චීනයෙන් හමුවී තිබේ. 

සී.ටී.ස්කෑන් වාර්තා වලින් වෛද්‍යවරු පෙන්වා දී තිබෙන්නේ නිරෝගී අස්ථි කොටස් සහ මොළය යහපත් මට්ටමේ පවතින බවයි. උතුරුදිග චීනයේ හේබී ප‍්‍රාන්තයේ උවාන් හි ඩින්ගුයි විහාරයේ දී සිදුකළ පරීක්‍ෂණ වලින් ඒ බව සනාථ වී තිබේ.

මාස්ටර් සී ෂියෑන් ලෙස එම භික්‍ෂුව හඳුන්වන අතර ගෞරවාන්විත භික්‍ෂුවක් ලෙස සැලකෙන සී ෂියෑන් භික්‍ෂුව ප‍්‍රාග් ඓතිහාසික ඉන්දියාවේ සිට පෞරාණික වටිනාකමක් ඇති චීනයට බුදුදහම ප‍්‍රචලිත කිරීමට සංචාරය කළ බව සඳහන්වේ. 

වෛද්‍යවරු පවසන්නේ වසර 1000 ක් ගත වුව ද කශේරුකාව ඇතුළු සැකිලි පද්ධතිය සම්පූර්ණයෙන්ම පවතින බවත් සම්පූර්ණ මොළය ද යහපත් තත්ත්වයෙන් තිබෙන බවයි. මෙම පරීක්‍ෂණය සිදුකිරීමේදී භික්‍ෂූන්, බැතිමතුන් හා මාධ්‍යවේදීන් රැසක් සහභාගිවී සිටියහ.


පොලිස් ප්‍රහාරයට එරෙහිව විශ්වවිද්‍යාල ඉදිරිපිට රාත්‍රියෙත් විරෝධතා

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති සිසු සත්‍යග්‍රහයට එල්ල කල පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් රට පුරා විශ්වවිද්‍යාල ඉදිරිපිට මේ වනවිට විරෝධතා පැවැත්වෙමින් තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, රජරට ඇතුළු විශ්වවිදයාල රැසක් ඉදිරිපිට මෙසේ විරෝධතා පැවැත්වේ.

‘අගෝ්ස්තු සිට කසල වලින් විදුලිය‘ චම්පික

බස්නාහිර පළාතේ එකතුවන කසලවලින් විදුලිය නිපදවන යෝජනා ක‍්‍රම තුනක් අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ නගරයේ එකතු වන කසළ ටොන් 700 න් 300 ක්ම වර්තමානයේදී කොම්පෝස්ට් බවට පත්කෙරෙන බව කී අමාත්‍යවරයා  තවත් කසළ ටොන් 100 ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කරන බව ද කියයි.

ඉදිරි කාලයේදී මෙම තත්ත්වය තවත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත් රටේ කසළ ප‍්‍රශ්නය විසඳීම සඳහා අවසාන රැඳවුම් ස්ථානයක් පුත්තලම, අරුවක්කාලූවේ ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටී.

ලිප්ටන් වටරවුමේ සරසවි සිසු අට්ටාලයට පොලිස් ප්‍රහාරයක්

සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන් කොළඹ ලිප්ටන් වටරවුමේ ඉදිකර තිබූ අට්ටාලයට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

එහි සිටි සිසුන් හා පොලිසිය අතර බහින්බස් වීමක් සිදුවූ අතර පසුව පොලිසිය ජල බවුසර් මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිසුන් පළවා හැරීය. එහි සිටි සිසුන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට ද පත්විය.

සිසුන් විසින් ඉදිකර තිබූ අට්ටාලයද පොලිසිය කඩා දැමූ අතර මේ හේතුවෙන් 120 හා 138 බස් මාර්ග ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.


2011 ගැන පරීක්ෂණයක් කරනවානම් තොරතුරු දෙනවා

 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පිළිබඳව පරීක්ෂණයක් පවත්වනනේ නම් තමන් දන්නා කරුණු හෙළි කරන බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉන්දියාවේ ද ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

“2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්විම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අපි පැරදුනාම මම පීඩාවට පත්වුණා. ඒ වගේම මට සැකයක් තිබෙනවා. 2011 වසරේ ලොක කුසලාන අවසන් තරගයේදි ශ්‍රී ලංකාවට වූයේ කුමක්ද කියා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

මට දැන් හැමදෙයක්ම එළි කිරීමට බෑ. නමුත් එක දවසක ඒ හැමදේම කියන්න්නම් ඒක් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. අමාත්‍යවරු දැන් කතාවකින් තොරව ක්‍රියාවෙන් වැඩ කළ යුතුයි. දැන් වෙලාව ඇවිත් තියෙන්නේ ක්‍රීඩකයන්ටත් මොකක්ද වුණේ කියලා පැහැදිලි කරන්න.”

මේ පිළිබඳව පසුගිය කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ සාක්ෂි සහිතව ලිඛිතව ඉල්ලීමක් කරන්නේ නම් පරීක්ෂණයක් පැවැත්විය හැකි බවයි.

ලංකාව තුළ එච්.අයි.වි.ආසාධිතයින් 2688 ක්

කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට එච්.අයි.වී. වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

මේ වසර මුල් මාස 6 තුළ එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයන් 131 දෙනෙකු වාර්තා වී ඇති අතර, 18 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ එච්.අයි.වි.ආසාධිතයින් 2688 දෙනෙකු වාර්තා වී ඇති අතර එච්.අයි.වී. ඒඩ්ස් වැළදුණු බව නොදැනුවත් පුද්ගලයන් 2000ක් පමණ සිටින බවට අපේක්ෂා කරන බවයි.

සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සඳහා ලංකාවට අලුත් නෞකාවක්

නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයකින් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියාවෙන් මිලට ගත් එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව නිල වශයෙන් ඊයේ (22දා) නාවික හමුදාවට බාර දී ඇත.

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙම නෞකාව නිපදවා ඇත.2014 වසරේදි නෞකාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය. නෞකාව එළැඹෙන 02 දා ශයෙන් අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයෙදි සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර, සොදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සඳහා නෞකාව යොදා ගැනිමේ හැකියාව තිබේ.

නෞකාව දිගින් මීටර් 105.7 ක් වන අතර, පළලින් මීටර් 13.6 කින් යුක්ත වේ. නෞකාව පැයට මුහුදු සැතපුම් 24 ක උපරිම වේගයකින් සහ ටොන් 2350 ක ධාරිතාවයකින් සමන්විතවේ.  නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයින් 100 දෙනෙකුට රාජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වේ.

පැයට මුහුදු සැතපුම් 12 – 14 ක වේගයක් පවත්වා ගනිමින් නාවික සැතපුම් 4,500 ක පමණ දුරක් යාත්‍රා කිරිමේ හැකියාවද මෙම නෞකාව සතුව පවති. නෞකාවේ නිෂ්පාදන කටයුතු නිම කිරිම සඳහා ඇ.ඩො මිලියන 66.55 කට ඇස්තමේන්තුගත කර ඇත.

හම්බන්තොට වරායේ මෙහෙයුම් ලබන සතියේ චීන සමාගමට

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීම සඳහා වන ගිවිසුම් දෙක ලබන මාසයේදී අත්සන් තැබීමට තීරණය කර තිඛෙනවා.

හම්බන්තොට වරාය ගිවිසුම නිසා ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් කෝටි 110ක පමණ ආදායමක් චීනයෙන් ලැබීමට නියමිත බවයි රජය ප්‍රකාශ කරන්නේ.

මේ සමග හම්බන්තොට වරායේ සියලුම වාණිජ මෙහෙයුම් කටයුතු චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට නියමිතයි.

වරායේ පාලනය හා ආරක්ෂාව සම්බන්ධ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියට බහුතර කොටස් තිබෙන ශ්‍රී ලාංකික සමාගමකට පැවරෙන අතර එහි යම් කොටස් ප්‍රමාණයක් චයිනා මර්චන්ට් සමාගමට හිමිවනවා.
කෙසේ වෙතත් වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 11කින් සමන්විත ඉන්ධන සැපයුම් ව්‍යාපෘතියද චීන සමාගමට පැවරීමට තීන්දු කිරීමට එරෙහිව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ලබන සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි සූදානමින් පසුවන්නේ.

ආණ්ඩුවෙන් යන්න හදන කල්ලියෙන් ජනපතිට කොන්දේසි

රජයෙන් ඉවත්වීමට යන බව ප්‍රකාශ කළ ශ්‍රී ල නි පයේ මැති ඇමැති පිරිස දෙසැම්බර් දක්වා සම්මුතිවාදී ආණ්ඩුවේ රැඳී සිටීමට නව කොන්දේසි මාලාවක් ජනපතිවරයා වෙත ඉදිරිපත් කර තිඛෙනවා.

ඒ ඉකුත් සතියේදී පැවැත්වූ හසිගතව සාකච්ඡා වට දෙකකින් පසුවයි.

එජාපය සමඟ තවදුරටත් රැඳී සිටීමෙන් ඉදිරි මැතිවරණ වලදී තමන්ට බරපතළ හානියක් සිදුවන බවට ඇති බිය හේතුවෙන් මෙම යෝජනා ඉදිරිපත් කළ බවයි ඔවුන්ගෙන් ඇතමකු සදහන් කර ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරයා දෙසැම්බර් 31 වැනිදා තෙක් ආණ්ඩුවේ රැඳි සිටින ලෙස ඉල්ලා ඇති බැවින් ඊට සහය දිය යුත්තේ කොන්දේසි සහිතව බවයි ඔවුන් තීරණය කර ඇත්තේ.

මෙම සාකච්ජාවලදී ඇති කරගත් එකගතා අනුව තීරණාත්මක කොන්දේසි මාලාව සකස් කිරීමට එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි දින කිහිපය තුල රැස්වන බවයි ප්‍රකාශ වන්නේ.

මේ අතර යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වීමට සිටින මැති ඇමතිවරුන් කිහිපදෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර ඇති බවද අනාවරණවී තිඛෙනවා.

ඉදිරි අයවැය සම්මත කරගැනීම සඳහා තම සහය ලබාගැනීමට ජනාධිපතිවරයා දෙසැම්බර් තෙක් කල් ඉල්ලා ඇති බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.

එහෙත් සැප්තැම්බර් මාසයේදී නව පක්ෂයේ කටයුතු පුළුල් කරන බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ.

මහින්ද මෛත්‍රී කපුකමක් ඇති කිරීම සම්බන්ධයෙන්ද තවත් රහස් සාකච්ජාවක් කොලඹදී පවත්වා තිබුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් බවයි තතු දත් ආරංචි මාර්ග හෙලිකරන්නේ.

කටාරය තුළ ආහාර හිඟයක් ඇති වීමේ අවධානමක්

අසල්වාසී ගල්ෆ් රාජ්‍ය හතරකින් එල්ලවී ඇති විරෝධය සමනය කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට කටාරයේ එමීර්වරයා වන ෂෙයික් ටමිම් හමද් අල් තානි එකඟ වී තිබෙනවා.

කටාර් අර්බුදය මතුවීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ එමීර්වරයා කියා සිටියේ ඕනෑම විසඳුමක් කටාරයේ ස්වෛරීත්වයට ගරුකළ යුතු බවයි.

ත්‍රස්තවාදයට උදව් කරන බවටත් ඉරානය සමඟ පවතින සමීප සබඳතාවට එරෙහිවත් චෝදනා නගමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් හතර කටාරය සමඟ පවතින සියලු සබඳතා අතහැර දැමුවේ පසුගිය ජුනි මාසයේදී යි.

ත්‍රස්තවාදයට උදව් කරන බවට එල්ලවී ඇති චෝදනා කටාරය තරයේ ප්‍රතික්‍ෂේප කරනවා.

කටාර් රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 27 ක් පමණ වනවා. භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන කටාර් රාජ්‍ය වෙත සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බියක් ද පවතිනවා .

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටින බවටයි වාර්තා පළ වන්නේ.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් සටන අද

ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) පැවැත්වෙනවා.

ඒ, සත්කාරක එංගලන්තය සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි.

කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.

1973 වර්ෂයේ ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ ඉන්දියාව අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන්නේ දෙවන වරටයි. 2005 වර්ෂයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

මීට පෙර කාන්තා ලෝක කුසලානයක් හිමිකර ගෙන ඇත්තේ ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ නවසීලන්තය පමණයි.

ඉන්දීය කාන්තා කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනාගතහොත් ඉන්දීය රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් එම කි‍්‍රඩිකාවන්ට හිමිවනු ඇති බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඊයේ ප‍්‍රකාශ කළා.

කැළි කසළ ගැටළුවට ස්ථීර විසඳුමක් දෙනවා

මෙරට කැළි කසළ ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙතෙක් කිසිඳු රජයකින් විසඳුමක් නොලැබුණු මෙරට කැළි කසළ ගැටළුව අනාතගයේ කිසිඳු රජයකට යළි මුහුණදීමට සිදු නොවන පරිදි ස්ථීරසාර විසඳුමක් ලබා දෙන බවයි.

කිරිදිවැල මිල්ලතේ මිල්ලතාකන්ද විවේකා සේනාසනයේ අභිනවයෙන් ඉදිකරණ ලද ශ්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය සහ තාක්ෂණික උපදේශකත්වය මත නවීන තාක්ෂණය භාවිතා කරමින් කසළ ගැටළුවට ස්ථීර විසඳුමක් මේ වන විට රජය මඟින් ක්‍රියාත්මක කර තිබෙන බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ඉදිරි වසර කිහිපය තුළ කැළි කසළ මේ රටේ ජනතාවට ගැටළුවක් ඇති නොකරනු ඇති බවයි.

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු සොයයි

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අධිකරණය මඟින් වැරදිකරුවන් කර ඇති අල්-ඊබ්දෙල්ලි නම් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් 26 දෙනෙකු පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ජනතා සහය අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉරානයේ සහ ලෙබනනයේ සිටින හස්බුල්ලා ත්‍රස්තවාදීන්ට ඔත්තු සැපයු බවටදසිර දඩුවම් නියම වු ත්‍රස්තවාදීන්ට චෝදනා එල්ල වී ඇත.

කුවේට් අධිකරණය මඟින් වසර 5 සිට 15 දක්වා කාලයකට සිරදඩුවම් ත්‍රස්තවාදීන්ට ලබා දී ඇත.

ත්‍රස්තවාදීන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් 112 දුරකථන අංකයට දැණුම් දෙන ලෙස කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කිසියම් පුද්ගලයෙකු ත්‍රස්තවාදීන්ට උදව් උපකාර කර වැරදිකරු වුවහොත් වසර 2ක සිරදඩුවමක් හෝ කුවේට් ඩිනාර් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                                                  

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)