19 May 2017

ළමා හෘද අායතනයට මිලියන 2000 ක් නොදුන් ආණ්ඩුව සැප වාහන සඳහා මිලියන 2960ක්



ළමා හෘද ආයතනයට රුපියල් මිලියන 2000 ක්‌ නොදුන් ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට සැප වාහන ගෙන්වීම සඳහා රුපියල් මිලියන 2960 ක්‌ වැය කර ඇතැයි වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.

පුරවැසි සංවිධාන එකමුතුව මඟින් මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (18 දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එසේ කී චමීර පෙරේරා මහතා මෙසේ ද සඳහන් කළේය.

මාධ්‍යවලින් පසුගිය කාලය පුරා අපි දැක්‌කා ළමා හෘද රෝහල වෙනුවෙන් රුපියල් මිලියන 2000 ක්‌ අවශ්‍යයි කියලා. ඒ සඳහා ජනතාව එකතු වුණා. විවිධ ආයතන පුද්ගලයන් උදව් කළා. ඒ සඳහා රටේ ජනතාව බරපතළ සටනක නිරත වුණා. නමුත් ආණ්‌ඩුව රාජ්‍ය වියදම් ගැන කතා කරනවා. එහෙම තිබියදී මැති ඇමැතිවරුන්ගේ වරදාන වෙනුවෙන් පසුගිය අවුරුදු 2 1/2 ක කාලය තුළ ආණ්‌ඩුව රුපියල් කෝටි 269 ක්‌ ලබාදී තිබෙනවා. එහි කනගාටුදායක තත්ත්වය නම් තම වාහන බලපත්‍ර විකිණීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කගේ පමණ නම් ප්‍රසිද්ධියේ හෙළි වුණා. එමගින් රජයට අහිමි වූ බදු මුදල රුපියල් බිලියන 25 ක්‌. මේක බරපතළ අපරාධයක්‌, වංචාවක්‌. මේ වාහන ගෙන්වන්නේ ජනතාවට සේවය කරන්නයි. නමුත් රාජ්‍ය දේපළ පුද්ගලික ධනය සොයා ගැනීමේ අරමුණින් විකුණනවා. රාජ්‍ය නීතියට පටහැනි ක්‍රියාවක්‌. දේශපාලනඥයන්ගේ ආචාර ධර්ම පද්ධතියට පටහැනියි. ආණ්‌ඩුවට මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැහැ. නමුත් කිහිපදෙනකුගේ වරදාන වෙනුවෙන් මුදල් වියදම් කරනවා. හිස්‌ ගොඩනැඟිලිවලට රුපියල් මිලියන 2300 ක්‌ වියදම් කරනවා. රජයක ප්‍රමුඛතාව මේවාද? ජනවාරි 8 ව්‍යාපාරයට සහාය දැක්‌වූ අපි මේවාට විරුද්ධයි. පුද්ගලික වුවමනාවන්ට වඩා මහජන සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමයි රජය ප්‍රමුඛතාව විය යුත්තේ.

දැන් අපිට බලු කබරයෙක්‌ ගැන අසන්නට ලැබෙනවා. බස්‌නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් තමයි ඒ බලු කබරාව අහන්න ලැබෙන්නේ. අපි රටක්‌ සංවර්ධනය කළ යුත්තේ අපේ ආචාර්ධර්ම පද්ධතියට අනුකූලවයි. තම බලය ලබා ගන්න ඇඟට බෞද්ධ සළුව පොරවා ගත්තා. අද ඒ බෞද්ධ සළුව ගලවලා නග්න මානසිකත්වයෙන් කටයුතු කරනවා. අද ඔවුන් බල්ලන්ගෙන් පටන් ගෙන අවසන් කරන්නේ අපෙන්. දුර්වලයන්ගෙන් පටන් ගෙන ඔවුන්ට එරෙහි වන්නන්ගෙන් අවසන් කරනවා.

මොවුන් ජනවාරි 8 ව්‍යාපාරයට පස්‌ස දොරෙන් ආපු අයයි. එහෙම ඇවිත් දේශපාලන ආචාරධර්ම පද්ධතිය විනාශ කරනවා. ජනවාරි 8 පරිවර්තනයට දායකත්වය දුන් සියලු දෙනාම මේවාට එරෙහි විය යුතුයි. අපි රජයෙන් ඉල්ලා සිටිනවා දේශපාලන ආචාර ධර්ම පද්ධතිය ආරක්‍ෂා කරමින් කටයුතු කරන ලෙසට.

එසේම අද ලක්‍ෂ 62 කගේ වුවමනාවන් ඉටුවෙනවාද කියා සැකයක්‌ තිබෙනවා. ලක්‍ෂ 58 කගේ වුවමනාවන් තමයි අද ඉටු වෙමින් තිබෙන්නේ. යුක්‌තිය සාධාරණත්වය ඉටු නොවන්නේ නම් තිබෙන්නේ අසමත් යහපාලනයක්‌.

ආණ්ඩුව ජනවරමට පයින් ගසා කළු කඩයක් රකිනවා : JVP



“කාලයක් තිස්සේ පටන් සයිටම් අහෝසි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙසත් විරෝධතා දියත් වෙමින් තිබෙනවා. සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ජවිපෙ ඇතුළු දේශපාලන පක්‍ෂත් වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, දෙමාපියන් අරගලයක් දියත් කළේ එම ආයතනය කළු කඩයක් වූ නිසයි. ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙනවා වෙනුවට මේ කළු කඩය ආරක්‍ෂා කිරීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නවා. ජනතාවගේ විරෝධතාවයන් මර්දනයෙන් යටපත් කරන්න හදනවා. සයිටම් අහෝසි කරන්න කියන්නේ, එම ආයතනය සමඟ තිබෙන ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි. නිදහස් අධ්‍යාපනය අහෝසි කර මුදලට අධ්‍යාපනය විකිණීමේ පියවරක් ලෙසයි මෙම සයිටම් ආයතනය පවත්වාගෙන යන්නේ. එය හුදකලා ආයතනයක් නෙවෙයි. පරාජය කළ යුත්තේ ඒ නිසයි. ආණ්ඩුවේ කොටසක් මෙම සයිටම් ආයතනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විවිධ තර්ක ගොඩනගමින් තිබෙනවා. එම වංචනික සයිටම් ආයතනය දිගට පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. මේ ආණ්ඩුව සයිටම් අහෝසි කරන්නේ නැත්නම් ජනතාවාදී ආණ්ඩුවක් මගින් මෙම නීති විරෝධී සයිටම් ආයතනය අහෝසි කරන්න කටයුතු කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  (18) පස්වරුවේ බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික, පලාත් සභා මන්ත්‍රී, නීතීඥ සුනිල් වටගල මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වී ටිල්වින් සිල්වා මහතා.

“සයිටම් අහෝසි කිරීමට බලකරමින්  (17) ශිෂ්‍යයින් විසින් සංවිධානය කළ පා ගමනට ආණ්ඩුව පොලීසිය ලවා පහර දුන්නා. විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුවේ ඉතාම සාධාරණ හේතුවක් වෙනුවෙන්. ආණ්ඩුව එම සාධාරණ ඉල්ලීමට ඇහුම්කන් දෙනවා වෙනුවට අමානුෂික ලෙස කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර  එල්ල  කළා. ශිෂ්‍යයින්ට පාරවල් දිගේ පන්න පන්නා පහර දුන්නා. පාරවල්වලින් ඉවත්වුණු සිසුන්ට පවා ප‍්‍රහාර එල්ල කළා. මෙම ශිෂ්‍යයින් පා ගමනකින් ආවේ ආණ්ඩුවත් එක්ක හෝ පොලීසියත් එක්ක ගහ ගන්න නෙවෙයි. ඉතාම සාධාරණ ඉල්ලීමකට. ආණ්ඩුව ශිෂ්‍යයින්ගේ මෙම ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ශිෂ්‍යයින්ට අපරාධකාරයින්ට වගේ ප‍්‍රහාර එල්ල කළා. එයින් ශිෂ්‍යයන් 20ක් පමණ තුවාල ලැබුවා. මේ වනවිට 10කට ආසන්න පිරිසක් බන්ධනාගාරගත කොට තිබෙනවා. සිසුන්ගේ මෙම සාධාරණ අරගලයට පොලීසිය ලවා අමානුෂික ලෙස එල්ල කළ ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර බන්ධනාගාරගත කොට සිටින සිසුන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා.

කාලයක් තිස්සේ පටන් සයිටම් අහෝසි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙසත් විරෝධතා දියත් වෙමින් තිබෙනවා. සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ජවිපෙ ඇතුළු දේශපාලන පක්‍ෂත් වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, දෙමාපියන් අරගලයක් දියත් කළේ එම ආයතනය කළු කඩයක් වූ නිසයි. ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙනවා වෙනුවට මේ කළු කඩය ආරක්‍ෂා කිරීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නවා. ජනතාවගේ විරෝධතාවයන් මර්දනයෙන් යටපත් කරන්න හදනවා. සයිටම් අහෝසි කරන්න කියන්නේ, එම ආයතනය සමඟ තිබෙන ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි. නිදහස් අධ්‍යාපනය අහෝසි කර මුදලට අධ්‍යාපනය විකිණීමේ පියවරක් ලෙසයි මෙම සයිටම් ආයතනය පවත්වාගෙන යන්නේ. එය හුදකලා ආයතනයක් නෙවෙයි. පරාජය කළ යුත්තේ ඒ නිසයි. ආණ්ඩුවේ කොටසක් මෙම සයිටම් ආයතනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විවිධ තර්ක ගොඩනගමින් තිබෙනවා.

රටක අධ්‍යාපනය පුද්ගලීකරණය වුණාම ඉන් ලැබෙන ප‍්‍රතිවිපාක බරපතළයි. අපේ රටේ බහුතරයක් තවමත් ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ආධාරවලින්. රටේ ජනගහනයෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් දෙකකට ආසන්නයි. එවැනි රටක ජීවත් වෙන බොහෝ දෙනාට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 120-125ක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව රටේ අනාගතයක් එක්කයි සෙල්ලම් කරමින් ඉන්නේ. පුද්ගලික අධ්‍යාපනය නිසා ඇතිවුණු සිදුවීම් පසුගියදා අපිට අසන්නට ලැබුණා. තරුණයෙක් බැංකුවක් කඩලා පොලීසියට අහුවුණා. ඔහු ගැන සොයා බලද්දී ඔහු රුසියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨ සිසුවෙක්. සල්ලි නැති නිසා වෛද්‍යවරයෙක් වෙන්න හිටපු සිසුවෙක් අපරාධකාරයෙක් වෙලා. ඒ වගේම යුරෝපා රටවල පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්නා සිසුවියන් දැන්වීම් දාලා ඇඟ විකුණනවා. මේ විදිහට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකු කඩන්න, ඇඟ විකුණන්න, කුඩු බිස්නස් කරන්න, පොකට් ගහන්න, සිදු වුණොත් අනාගතයේදී බිහි වෙන්නේ වෛද්‍යවරු නොව අපරාධකාරයින්. ඒ නිසා තමයි අපි නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න එපා කියලා ආණ්ඩුවට බල කරන්නේ. නමුත් ආණ්ඩුව අත්තනෝමතික හිතුවක්කාරී ලෙස තමයි එයට ප‍්‍රතිචාර දක්වන්නේ.

මෙය ජනතාවගේ සටනක්. ආණ්ඩුව මෙම ප‍්‍රශ්නයට ඇහුම්කන් නොදෙන නිසා තමයි ව්‍යවස්ථානුකූලව තහවුරු කරලා තිබෙන ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරලා උද්ඝෝෂණ කරන්නේ. එහෙම උද්ඝෝෂණය කරන සිසුන්ට ප‍්‍රහාර දියත් කරන්නේ හිතක් පපුවක් නැති අමානුෂික ආණ්ඩුවක් විදිහටයි. එහෙම කරමින් ආණ්ඩුව සයිටම් ආයතනය රකිනවා. සයිටම් කියන්නේ කළු කඩයක්. දෙමාපියන්ට, ශිෂ්‍යයින්ට බොරු කියලා, වංචා කරලා පවත්වාගෙන යන කඩයක්. ඒ මදිවට දැන් පුවත්පත්වල රු. ලක්‍ෂ ගණන් ඇඩ් දාලා බොරුත් කියනවා. වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණා, නීතිමය අවසර ලැබුණා කියලා. අමු අමුවේ බොරු කරන කළු කඩයක්. ඒ විතරක් නෙවෙයි මෙම ආයතනය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධයි. මෙම ආයතනයේ සේවය කරපු සමීර කියන පුද්ගලයා පුද්ගලයින් පිරිසක් ලවා වෙඩි තබා ගත්තා. එය නාටකයක් බව ඔප්පු වුණාට පස්සෙත් එම පුද්ගලයාට හෝ සයිටම් මුදලාලිට එරෙහිව ආණ්ඩුව කිසිදු පරීක්‍ෂණයක් සිදුකළේ නැහැ. ඒ වගේම පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා. සයිටම් ආයතනයේ වැඩ කරන පුද්ගලයින් පාතාල කණ්ඩායමක් වගේ. අහිංසක ආයතනයක් නෙවෙයි. සල්ලි, මැර බලය, පාතාලය යොදාගෙන පවත්වාගෙන යන ආයතනයක්. ඒ නිසා තමයි සයිටම් ආයතනය අහෝසි කරන්න බලපෑම් කරන්නේ. දේශපාලන පක්‍ෂ, සිසුන්, වෛද්‍යවරුන්, දෙමව්පියන් ඇතුළු ජනතාව සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා ඉල්ලද්දී ආණ්ඩුව එයට ඇහුම්කන් නොදී ඉන්නවා. ජනවරමට පයින් ගහලා මර්දනය කැඳවන්නේ නැතිව මෙම ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව පියවර ගත යුතුයි.

ආණ්ඩුව උද්ඝෝෂණවලට කැමති නැහැ. උද්ඝෝෂණවලට බයයි. අපි ආණ්ඩුවට කියන්නේ උද්ඝෝෂණවලට කැමති නැත්නම් ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන්න කියලයි. ජනතාව උද්ඝෝෂණ කරන තැනට  එන්නේ සාධාරණ ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන නිසයි. කවුරුවත් කැමති නැහැ පාරට බැහැලා කඳුළු ගෑස්, බැටන් පොළු ප‍්‍රහාර කන්න. ආණ්ඩුව ප‍්‍රශ්න විසඳනවා වෙනුවට මර්දනය කරන්න උත්සාහ කරනවා. එක වෙලාවක නීති හදලා උද්ඝෝෂණ මර්දනය කරන්න හදනවා. ස්ථාන වෙන් කරලා, වෙලාවල් දීලා උද්ඝෝෂණ කරන්න බැහැ. ඒ විදිහට කරන්න පුළුවන් ටෙලි නාට්‍ය, අනෙක් පැත්තෙන් වාරණ නියෝග ගෙනල්ලා ප‍්‍රශ්න විසඳන්න හදනවා. ඒ විදිහට ප‍්‍රශ්න විසඳන්න ගියොත් වෙන්නේ අධිකරණය පවා හෑල්ලූවට ලක්වීමයි.

ජනතාව තමන්ගේ ප‍්‍රශ්නවලට සාධාරණ ලෙස විරෝධය පළකරන කොට ආණ්ඩුවට සංයමයක් නැති වෙලා ගිහින්. අපේ රටේ ඇමතිවරු හැසිරෙන්නේ පිස්සන් කොටුවක වගේ. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. ඇමති මණ්ඩලයේ ඇතැම් ඇමතිවරු එක වෙලාවකදී කරන ප‍්‍රකාශ තව වෙලාවකදී නැහැ කියනවා. ඔවුන්ට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න වුවමනාවක් නැහැ. ආණ්ඩුවේ ප‍්‍රශ්න ටික විසඳගන්න තමයි ඔවුන් මැදිහත් වෙන්නේ. උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රශ්නයක් ඇතිවුණු වෙලාවේදී ඉතා කඩිනමින් ඇමතිවරු අස් කරලා අලුත් ඇමතිවරු පත්කරගත්තා. ජනාධිපතිතුමා කඩිනමින්ම මැදිහත්වුණු ප‍්‍රශ්නය මේක වෙන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නවලට උත්තර හොයන්න කොමිසන් නැහැ. සාකච්ඡා නැහැ. උපදේශකයෝ ඕන නැහැ. තමන්ගේ බලය තහවුරු කරගන්න කඩිනමින් මැදිහත් වෙනවා. එක රැයින් විරුද්ධ පැත්තේ අය තමන්ගේ පැත්තට ගන්න මැදිහත් වෙනවා.

ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රශ්නයක් මතු වුණා. ජනාධිපතිවරයා කළා යැයි කියන ප‍්‍රකාශයක් ගැන රාජිත ඇමතිවරයා මාධ්‍යයට කිව්වා. එහෙම ප‍්‍රකාශක් කළේ නැහැ කියලා ගැටුමක් මතුවුණා. ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් කැබිනට් ප‍්‍රකාශකවරයෙක් පත් කරලා ඉතාම කඩිනමින් ප‍්‍රශ්නය විසඳුවා. මේ විදිහට තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් කඩිනම් තීරණ ගන්න ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැහැ. ඇමතිවරුන්ට වාහන ගේන්න ඉතාම කඩිනමින් මැදිහත් වෙනවා. විශ්වවිද්‍යාල පුළුල් කරන්න සල්ලි නැහැ කියන ආණ්ඩුව ඇමතිවරුන්ට වාහන ගේනන ඕන තරම් සල්ලි වියදම් කරනවා. මාස් පතා ඇමතිවරුන්ට වාහන ගෙන්වනවා. අනුන්ගේ බිල්ඩින්වලට කෝටි ගණන් කුලී ගෙවනවා. එනිසා මේ ආණ්ඩුවේ හැසිරීම ජනතාව වෙනුවෙන් නොවෙයි. රටේ සම්පත් මුදල් වරප‍්‍රසාද යොදාගෙන තමන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීමට හැසිරෙන ආණ්ඩුවක්. හම්බන්තොට වරාය චීනයට දෙන්න, කොළඹ නැගෙනහිර ජැටිය විකුණන්න ඉඩම් ටික පුද්ගලික සමාගම්වලට දෙන්න ඉතාම කඩිනමින් කටයුතු කරන ආණ්ඩුව තමන්ගේ සුපිරි පැලැන්තියට අනාගතයක් හදන්න කටයුතු කරමින් ඉන්නවා.

අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. දෙකෙන් එකක් තෝර ගන්න කියලා. සයිටම් තෝරාගෙන ආණ්ඩුවේ පැවැත්ම අත්හරින්න හෝ සයිටම් අහෝසි කර ආණ්ඩුව බේරා ගන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ආණ්ඩුවේ පැවැත්ම ගැනවත් නොහිතා සයිටම් වෙනුවෙන් මේ තරම් මැදිහත් වෙන්නේ ඇයි? නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙනුත් අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි සියලු බලවේග එකතු කරනවා. එම වංචනික සයිටම් ආයතනය දිගට පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. මේ ආණ්ඩුව සයිටම් අහෝසි කරන්නේ නැත්නම් ජනතාවාදී ආණ්ඩුවක් මගින් මෙම නීති විරෝධී සයිටම් ආයතනය අහෝසි කරන්න කටයුතු කරනවා.”

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“උද්ඝෝෂණ නිසා ජනතාව පීඩාවට පත්වෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ උද්ඝෝෂණ ඇතිවීම වැළැක්වීම. උද්ඝෝෂණ ඇතිවීම වළක්වන්න ඕනෑ පහර දීලා නොව ප‍්‍රශ්න විසඳලයි. මේ ආණ්ඩුවයි උද්ඝෝෂණ කැඳවා ගන්නේ. උද්ඝෝෂණ කැඳවා ගන්න ආණ්ඩුවම උද්ඝෝෂකයින්ට වැරැද්ද පටවන්න උත්සාහ කරනවා. ඊයේ වාහන තදබදය ඇතිවුණේ උද්ඝෝෂණය නිසා නොව උද්ඝෝෂකයින්ට පොලීසිය පන්න පන්නා පහර දීපු නිසයි.

පොලීසිය සිසුන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කළ නිසයි. පොලීසිය කඳුලු ගෑස්, බැටන් ප‍්‍රහාර එල්ල කරපු නිසයි ශිෂ්‍යයින් පාරවල් දිගේ දිව්වේ. පාරේ ගමන් ගත් ජනතාවටත් කඳුලු ගෑස් වැදුණේ. ජනතාව පීඩාවට පත්වුණේ උද්ඝෝෂකයින්ගෙන් නොවේ. ආණ්ඩුවේ පොලීසියෙන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වෙඩි තියලා උද්ඝෝෂණ මර්දනය කරන්න පුළුවන්කමක් නැහැ කියලා. වෙඩි උණ්ඩයෙන් ජනතාව මර්දනය කරන්න හදපු බොහෝ අය ගෙදර ගියා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙත් උද්ඝෝෂණවලට වෙඩි තියලා රතු පස්වලදී තුන් දෙනෙක් මැරුවා. ධීවරයෙක් ඝාතනය කළා. දැන් මහින්ද ගෙදර ගියාට වෙඩි තියපු පුද්ගලයින් බන්ධනාගාරගත වෙලා.

මේ උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළන්න ආපු ඒවා නෙවෙයි. ආණ්ඩුව කියනවා නම් ආණ්ඩුව පෙරළන්න ආවා කියලා ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරලා ආණ්ඩුව පෙරළීම වළක්වා ගන්න පුළුවන්. මේ සියලු දෙනා ඉල්ලන්නේ ජනාධිපතිකමවත්, අගමැතිකමවත් ඇමතිකම්වත් වාහනවත් නෙවෙයි. නීති විරෝධී සයිටම් අහෝසි කරන ලෙසයි. සයිටම් වහල දැම්මා නම් ප‍්‍රශ්නය විසඳෙනවා. ආණ්ඩුවේ ආයතනයකුත් නොවන සයිටම් වහන්න ආණ්ඩුව මේ තරම් මැළි වෙන්නේ ඇයි? සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළීමේ බිල්ලා පෙන්වලා මර්දනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ආණ්ඩුව දීලා තියෙන්නේ ඉල්ලපු දේවල් නෙවෙයි. රෝහල පවරා ගන්න කටයුතු කළාට ඒක ශිෂ්‍යයන්ගේ ඉල්ලීම්වල තිබ්බ එකක් නෙවෙයි. ඒ වගේම සයිටම් ආයතනය තනි අයිතිය වෙනුවට කොටස් වෙළඳපොළට දාන එකත් සිසුන් ඉල්ලපු එකක් නෙවෙයි. ශිෂ්‍යයින් ඉල්ලන දෙයට අදාළ දේවල් නෙවෙයි ආණ්ඩුව කරන්නේ. රෝහල සමඟ ප‍්‍රශ්නයක් නැහැ. රෝහල පවරා ගත්තහම සයිටම් මුදලාලිට ඒක වාසියක්. ආණඩුවේ සල්ලිිවලින් රෝහල පවත්වාගෙන ගිහින් එයාට ඕන වැඩේ කරගන්න පුළුවන්. සයිටම් ආයතනය කොටස් වෙළඳපොළට දැම්මාම සයිටම් මුදලාලි තමන්ගේ මුදලින් මෙම ආයතනය පවත්වාගෙන යනවා වෙනුවට ජනතාවගේ මුදල්වලට එම ආයතනය පවත්වාගෙන යන්න පුළුවන්. දැන් සිසුන් බඳවා ගැනීම නතර කර තිබෙන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න. මොකද, මේ ආයතනයට එල්ල වූ විරෝධය නිසා සිසුන් බඳවා ගැනීම අඩු වෙලා තිබෙනවා.”

“මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් විකිණීම ජනතාව ගෙවන පවක්. ජනතාව ඡන්දය දීලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එවන්නේ රට හදන්නයි. පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු මුලින්ම කරන්නේ තමන්ට ලැබෙන පර්මිට් එක ලක්‍ෂ 250-300කට විකුණා ගන්න එකයි. එයින් සිදුවෙන්නේ ආණ්ඩුවට ලැබිය යුතු බදු මුදලක් අනියම් ආකාරයෙන් මන්ත්‍රීවරු අතට ගැනීමයි. එය වංචාකාරී වැඩක්. ජවිපෙ මන්ත්‍රීවරු ඇරෙන්න අනෙක් සියලු පක්‍ෂවල මන්ත්‍රී‍රවරුන් වාහන පර්මිට් විකුණනවා. ඒ බව දැන දැනත් ආණ්ඩුව පර්මිට් දෙන්නේ කප්පමක් විදිහටයි. මන්ත්‍රී‍රවරු දේශපාලනයට ආපුවාම ආර්ථික අමාරුකම් අපහසුතා තියෙනවා නම් ගෙදරට වෙලා හිටියා නම් හරි. සමහරු කියනවා කශේරුකාව ගෙවෙන නිසා හොඳ වාහන ඕන කියලා. ඇත්තටම ඔවුන්ට කශේරුකාවක් නැහැ. මේ අයගේ කශේරුකාව ගෙවෙනවා නම් බස් එකේ ගමන් කරන ජනතාවගේ කශේරුකාවට මොකද වෙන්නේ? මේ අය දේශපාලනයට එන්නේම සල්ලි හම්බ කරන්නයි. මන්ත්‍රී වැටුපෙන්, දීමනාවලින් හම්බ කරනවා. සමහරු කොමිස් ගහනවා. ඇමති වුණාම කොන්ත‍්‍රාත්වලින් හම්බ කරනවා. එනිසා ඔවුන්ට පාර්ලිමේන්තුව කියන්නේ ආදායම් උපයන ඉල්ලමක්. ඒ නිසා ජනතාවයි තේරුම් ගත යුත්තේ මොවුන් ජනතා මුදල් කාබාසිනියා කරන බව.”

LT

ඩුබායි දේශයට අලුතින් දූපත් ද්විත්වයක් 2020දී



වර්ග අඩි මිලියන 4ක භූමි භාගයකින් යුතු මිනිසා විසින් නර්මාණය කළ නව දූපත් දෙකක් ඉදිකිරීමට ඩුබායි රාජ්‍යය සැරසෙන බව අනාවරණය වෙයි.

මුහුද ගොඩකරමින් ඉදිකෙරෙන මෙම නව දූපත් මර්සා අල් අරාබ් ලෙස නම් කෙරෙන අතර, ඒවා බර්ජ් අල් අරාබ් ජුමෙයිරාහ් නමැති නෞකාවක හැඩය ගත් අධි සුඛෝපභෝගී හෝටලය දෙපස ඉදිවනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම යෝධ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො.බිලියන 1.72ක මුදලක් වැය කිරීමට සැලසුම් කර ඇති අතර, මේ සමගම ඩුබායි වෙරළ තීරයට තවත් සැතපුම් 1.4ක් එකතු වන බවද පෙන්වා දෙයි.

ඩුබායි හෝල්ඩින්ග්ස් විසින් නිර්මාණය කෙරෙන මෙම දූපත්වල සමාරම්භක වැඩකටයුතු ජූනි මාසයේදී ආරම්භ කෙරෙන අතර, 2020 අවසන් වනවිට එය සම්පූර්ණයෙන් නිම කිරීම බලාපොරොත්තුව වී තිබේ.

සංචාරකයන් ඉලක්ක කරන මෙම දූපත්වලින් එක් දූපතක මුළු පවුලටම විවේකගත හැකි රිසෝට්වලින්ද, වර්ග අඩි මිලියන 2.5ක සමුද්‍රීය උද්‍යානයක් සහ ආසන 1,700කින් යුතු නෘත්‍ය ශාලාවකින්ද සමන්විත වනු ඇත. එමෙන්ම, මුහුද මායිම් වූ නිවාස ඒකක 300කින් යුතු මහල් නිවාස සංකීර්ණයක්ද මෙම දූපතට ඇතුලත් වනු ඇත.

මෙහි දෙවැනි දූපත පෞද්ගලික දූපතක් ලෙස අති සුඛෝපභෝගී විලාස් සහ නිකේතන 14කින් යුතුව ඉදිවන අතර, එහි විශේෂ තරු හෝටලයක්ද ඉදිවීමට නියමිතය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු එංගලන්ත රට සවාරියට පොරකති



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කරන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා (ICC Champions Trophy) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බහුතරයක් නිලධාරීන් මේ වනවිටත් ලකලැහැස්ති වන බව 'අද' ට වාර්තා වේ.

එහිදී තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ඉහළ නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් අතරද තරගයක් නිර්මාණය වී තිබෙන අතර, රට සවාරි යෑමට පමණක් නිලධාරීන්ට මිලියන ගණනක් ඇස්තමේන්තු කර ඇතැයි ක්‍රිකට් ආයතනයේම පිරිසක් චෝදනා කරති.

එමෙන්ම අදාළ රට සවාරි යෑමට නිලධාරීන්ට මේ වනවිටත් 'බිස්නස් ක්ලාස්' ගුවන් ටිකට්පත් ලබාගැනීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයිද හෙළි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ හා ඉන්පසුව ඉවත් කළ පහළ නිලධාරියෙකුටද ශූරයන්ගේ කුසලානයට යාමට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මෑතකදී ක්‍රිකට් විධායක කමිටුවට පැමිණි නිලධාරියෙකුට හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳකටද නිලවශයෙන් එංගලන්තයේ සංචාරය කිරීම සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් වියපැහැදම් කර ඇතැයි අනාවරණය වේ.

මේ අතර ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ක්‍රිකට් ආයතනයේ මුදලින් එංගලන්තයට යාමට මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් හිමිව ඇති අතර, මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු එය ප්‍රතික්‍ෂේප කර තිබීම සුවිශේෂීය. ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍යවේදීන්ට ලබාදෙන අල්ලසක් හෙයින් මෙම තරගාවලිය සඳහා තමන්ගේ නම් ඉන් ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු එලෙස ක්‍රිකට් ආයතනයේ මුදලින් රට සවාරි යාම ප්‍රතික්‍ෂේප කර ඇති පසුබිමක තවත් මාධ්‍ය‘වේදීන් 06 දෙනෙකු එම ආරාධනාව භාරගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් එංගලන්තයට හා වේල්සයට යාමට ගුවන් ටිකට්පත් ඇතුළු අනෙකුත් පහසුකම් පිරිනමා තිබේ.

ක්‍රිකට් ආයතනය මෙලෙස හිතුමතේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේම පිරිස් චෝදනා කරනුයේ වත්මන් පරිපාලනය මින් ඉවත් වනවිට විශාල මුදලක් ක්‍රිකට් ආයතනය ණය කර යනු ඇති බවටයි. මෙහිදී ඔවුන් ඍජුව චෝදනා එල්ල කරනුයේ වත්මන් පරිපාලනයට හිතැති ඕනෑම පුද්ගලයෙකුට ක්‍රිකට් ආයතනයෙන් වුවමනාවන්ටත් වඩා වරප්‍රසාද හිමිකරගත හැකි බවයි.

ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද මේ පිළිබඳ විනිවිද පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර, දූෂිත ගනුදෙනුවලට හවුල් පුද්ගලයන් එංගලන්තයේ ගොස් 'ගල්වනු' ඇතැයි හැඟෙන හෙයින් මෙම මුදල් නාස්තිය හා දූෂිතයන්ට නිසි දඬුවම් ලබාදී ක්‍රිකට් ආයතනය නිවැරදි දිශානතියකට ගමන් කිරීමට අවශ්‍ය නායකත්වය ලබාදෙන්නැයි වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ගිනස් පොතට යන ලොව දිගම පූසා


බළලුන්ට ආදරේ කරන බොහෝ අය ලෝකයේ ඉන්න ජනප්‍රිය බළලුන් ගැන දැනුවත්. ඉතින් සෙසු බළලුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල, යෝධ බළලෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

ස්ටෙෆි හර්ස්ට් විසින් කුඩා ඕමාර් හදා වඩා ගනු ලැබුවේ 2013 වසරේ දී.

 එවක ශරීර ප්‍රමාණය අතින් ඕමාර් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් අතර එතරම් වෙනසක් දක්නට ලැබුනේ නැහැ. . ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ස්ටෙෆි හර්ස්ට්ගේ නිවසේ හැදී වැඩෙන ඕමාර් මේ වන විට අඩි 3 අඟල් 11 ක් දක්වා දිගට වැඩිලා. ඕමාර්ගේ බර කිලෝග්‍රෑම් 14 ක්. අන්තර්ජාලය තුළ ජනප්‍රියත්වයක් දිනා ගත් ඕමාර් දුටු ගිනස් ලෝක වාර්තා ආයතනය ස්ටෙෆි හර්ස්ට් අමතා ඔහුගේ ශරීර ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවලු.

 දැනට ගිනස් වාර්තා පොතට එක් වී සිටින දිගම බළලාගේ ශරීරයේ දිග ප්‍රමාණය අඩි 3 යි අඟල් 10.59 ක්. ඕමාර් ගේ හිමිකාරිය ස්ටෙෆි හර්ස්ට් සති දෙකකට පෙර ඕමාර් නමින් සමාජ ජාල ගිණුමක් ආරම්භ කර ඇති අතර එහි පළ වූ එක් ඡායාරූපයක් 270,000 වාරයක් හුවමාරු (Share) වී තිබෙනවා. එතැන් පටන් ඕමාර් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළ පුවත්පත් සහ ජාතික රූපවාහිනි නාලිකාවල තරුවක් බවට පත් වෙලා තියනවා.

AM

අමීර් ඛාන්ගේ දන්ගල් චීන සිනමා ප්‍රේක්ෂකයා කලඹයි



මල්ලවපොර ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වටා ගෙතුණු සත්‍ය කතාවක් පදනම්වූ අමීර් ඛාන්ගේ දන්ගල් සිනමා කෘතිය එදාමෙදා තුර චීනයේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඉන්දීය චිත්‍රපටය බවට පත්ව තිබේ.

කාන්තා දේහ ශක්තිය මෙන්ම, සමාජ සම්මතයන් බිඳ දමමින් කාන්තාව ඉදිරියට පැමිණීම පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය නරඹන චීන ජාතිකයන් මෙවැනි චිත්‍රපටයක් චීනය තුළ නිපදවන්නේ කවදාද යන පැනය නිරන්තරයෙන් නැගීමට තරම්ම චිත්‍රපටය චීන හදවත් තුළ ලැගුම්ගෙන ඇති බව කියයි.

බොලිවුඩ් සිනමාවේ සාමාන්‍යයෙන් දැකිය හැකි ප්‍රේමාන්විත සිනමා සිත්තමක එන සරාගී ගීත හෝ නර්තනයන් අල්ප වශයෙන් යොදාගෙන ඇති මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ චරිතාංග නළුවෙකු ලෙස බොලිවුඩය දිනූ අමීර් ඛාන් විසිනි.

ඉන්දීය මල්ලවපොර ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු ලෙස මහාවීර් සිං ෆොගාට්ගේ චරිතයට පණ පොවන ඔහු ඉන්දීය සමාජ සම්මතයන් බිඳ දමමින් තම දියණිය ඉන්දියාවේ සුපිරි මල්ලවපොර ක්‍රීඩිකාවක දක්වා ඉහළට ඔසවා තබන වෙනස්ම තේමාවක් එම කතාව තුළ දැකිය හැකිය.

පසුගිය මැයි 5 වැනිදා චීනය තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීමත් සමග මේ දක්වා චිත්‍රපටයෙන් ඇ.ඩො.මිලියන 70.7ක (රු.මිලියන 10,600ක පමණ) ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆීස් වාර්තාවක්ද පිහිටුවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

රොහින්ග්‍යා පිරිස පිටුවහල් වීමට අකමැත්ත පළ කරලා

නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටියදී අත්අඩංගුවට පත් රොහින්ග්‍යා ජාතිකයන් පිරිස යළි සිය රටට පිටුවල් නොකර ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කිරිමේදී නොදැනුවත්ව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී ඇති බව පවසන බී.බී.සී.ය මෙහි පුද්ගලයන් 30ක් සිටින බවත්, පසුගිය අප්‍රේල් 30 වැනිදා කන්කසන්තුරේ ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පවසයි.

මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ෂිරාස් නූර්දීන් බී.බී.සී.ය වෙත පවසා ඇත්තේ ඔවුන්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ පාලනය යටතට පත්කරන ලෙස කෙරෙන ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කිරීමට අද (19දා) සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ නියෝජිතයන් මුණ ගැසෙන බවයි.

මෙම නඩුව පසුගිය මැයි 16දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී පොලීසිය ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකිරීමට නීතිපිවරයා විසින් තීන්දු කර ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව, මෙම පිරිස යළි සිය රටට පිටුවහල් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබෙන බව පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

කෙසේ වෙතත්, නීතීඥ ෂිරාස් නූර්දීන්ගේ උපදෙස් මත ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෆයිනාස් මොහමඩ් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අන්තර්ජාතික සංවිධාන සමග ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කරන තුරු නඩු විභාගය කල් දමන ලෙසය.

මෙම නීතීඥ ෆයිනාස් මොහොමඩ් ද බී.බී.සී.ය සමග සම්බන්ධ වෙමින් පවසා ඇතේතේ මොවුන් යළි මියන්මාරයට පටුවහල් කළහොත් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් සිදුවන බව අධිකරණයට කියා සිටි බවයි.

එහිදී, යාපනය මහේස්ත්‍රාත්වරයා අදාළ කටයුතු සංවිධානයට දින 14ක කාලයක් ලබාදී ඇති අතර, එතෙක් මෙම රොහින්ග්‍යා පිරිස යළිත් මිරිහාන ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා තබාගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

GMOA ලෝක වාර්තාවකට ලංවෙයි / 22 වනදා යළි වර්ජනයක



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් 17 පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට පොලිසියෙන් සිදුකල පහර දීමට විරෝධය පාමින් රට පුරා වෛද්‍ය වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය 18 ප්‍රකාශ කළා.

 ඒ අනුව එළඹෙන මැයි 22 වන සඳුදා උදෑසන 8 සිට දහවල් 12 දක්වා ලංකාව පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම මෙම මාසය තුල රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන 2 වන වැඩ වර්ජනයයි.

මෙම වසර තුල මේ දක්වාඅවස්ථා කිහිපයකදීම ඔවුන් විවිධ කරුණු මුල් කරගනිමින් වැඩ වර්ජනවල නිරත වුණා.

ලෝකයේ දැනට පවතින වැඩ වර්ජන පිළිබද ලෝක වාර්තාවට අනුව අඛණ්ඩව වැඩිම දින ගණනක් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව ඇත්තේ බ්‍රිතාන්‍යයේ හෙද වෘත්තීය සමිතියයි.

ඔවුන් 1993 වසරේදී දින 61 ක අඛණ්ඩ වර්ජනයක නිරත වුණා.

කෙසේ වෙතත් වසරක් තුල කඩින් කඩ වර්ජනවල නිරතවීමේ වාර්තාවට හිමිකම් කියන්නේ හයිහුන්ඩායි සමාගමේ සේවකයින් වනවා.

ඒ වසරක් තුල අවස්ථා 21කදී වර්ජන සිදුකරමින්.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම වාර්තාව බිද හෙලනු ඇති බවටයි අදහස් පලවන්නේ.

ද්විත්ව පුරවැසිභාවය හිමි මැති ඇමතිවරු ගැන රටටම හෙළි කරනවා

ද්විත්ව පුරවැසිභාවට ඇති සහ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු කවුද යන්න ලබන මාසයේ මුල් සතිය තුළදී රටටම ප්‍රසිද්ධ කරන බව පාෆරල් සංවිධානය සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ පුරවැසිභාවයන් පිළිබඳ (17) ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා සිටි බවද එම සංගමයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

අදාළ පනත අනුව ඉල්ලා සිටි තොරතුරු වැඩකරන දින 14ක් තුළ ලැබීමට නියමිත බවත් ලැබෙන තොරතුරු මධ්‍ය ප්‍රකාශ තුළින් හා පුවත්පත් දැන්වීම් තුළින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු පවසා සිටියි.

එහිදී ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරු සිටිනවා නම් ඒ පිළිබඳ ජනතාවට සත්‍ය දැනගැනීමට හැකියාව තිබෙන බවත් මීට අමතරව ඡන්ද දායකයන්ට අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.