27 May 2017

අනුන්ගේ ලිංගික ජීවිත ප්‍රසිද්ධ කරන අයට දඬුවම්

මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතය පුද්ගලික දෙයක් විදියට සැලකුවේ. ඒ වගේම ඒ පුද්ගලිකත්වය කිසිම දවසක අදාළ දෙන්නගෙන් පිට කව්රුවත් දැනගත්තේ නැහැ.

එත් මේ වෙද්දී සමාජ මාධ්‍ය ජාල එක්ක මේ සිද්ධිය ටිකක් වෙනස් විදියට සිදු වෙනවා.

අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම මේ වෙද්දී මහා වසංගතයක් වෙන තරමට උග්‍ර වෙලා.

පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබුණා.

අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත්, ඉන්පසු ප්‍රසිද්ධ ක්‍රීඩා තරුවකගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක කිරීමත් සමඟ මේ පිළිබඳව විශාල කතිකාවක් සමාජයේ ගොඩනැගිලා.


කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

මේ අසහ්‍ය ප්‍රකාශන  සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර  එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

එමෙන්ම  1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර  මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

ආසියානු යොවුන් දැල්පන්දු පරාජය පිළිබඳව කළමනාකාරිනියගේ වාර්තාව මෙම සතියේදී එළියට

 ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ දිනා සිටි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්වීම පිළිබඳව දින දින චෝදනා රාශියක් එල්ල වෙමින් පවතී. මේ අතර කණ්ඩායම සමග දකුණු කොරියාවට ගිය කණ්ඩායම් කළමනාකාරිනියගේ වාර්තාව ලැබුණු පසු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා දැල්පන්දු සංගමයෙන් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බවද 'අද' ට වාර්තා වේ.

තරගාවලිය නිමාවී දින 10ක් ඇතුළත අදාළ සංචාරයට නම්කළ කළමනාකාරිනියගේ නිල වාර්තාව ලබාදිය යුතු අතර ඒ අනුව එම වාර්තාව මෙම සතිය තුළදී ක්‍රීඩා අමාත්‍යාංශයට හා දැල්පන්දු සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙළිවේ. අප අදාළ වාර්තාව ලබාදීම සම්බන්ධයෙන් පමණක් සංචාරයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ ලයානි රේණුකා කුරුප්පු මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර එහිදී ඇය පවසා සිටියේ තමාගේ වාර්තාව මෙම සතිය තුළදී ලබාදීමට පියවර ගන්නා බව පමණක් මාධ්‍යයට පැවසිය හැකි බවයි.

කෙසේ වෙතත් දැල්පන්දු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනුයේ තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට හා අපකීර්තියට පත්කළ නිලධාරීන්ට හා ක්‍රීඩිකාවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවය. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී තිබෙනුයේ කළමනාකාරිනියගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති හෙයිනි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරිනියක ලෙස සහභාගීවූ කුමාරිහාමි මහත්මිය පිටු 21 කින් යුත් වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ද එහි  තරගාවලියේ පරාජයට බලපෑ හේතු කාරණා රැසක් අඩංගු කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වන අතර නායකත්වය ලබා නොදීම හේතුකරගෙන එවැනි ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබුණු බව වාර්තා විය. ඊට හොඳම නිදසුන වනුයේ තරගාවලියට පිටත්ව යාමට පෙර ක්‍රීඩිකාවන් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් පිරිසකට පවසා ඇත්තේ තරගාවලිය ජයගතහොත් නායිකාවට ලකුණු වැටෙන හෙයින් වුවමනාවෙන්ම තරගාවලිය පරාජයට පත් විය යුතු බවයි.

මේ පිළිබඳව කණ්ඩායම් නායිකාව හා සංචාරයට සහභාගී වූ වෙනත් පාර්ශ්ව නිල ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක ඊට පියවර ගැනීම කළමනාකාරිනියගේ වාර්තාව ලැබෙන තෙක් ප්‍රමාද කර තිබේ.

මෙම තරගාවලියේදී ආරම්භක තරගයෙන්ම ශ්‍රී ලංකාව තායිලන්තයට පරාජයට පත්වූ අතර සිංගප්පූරුව හා හොංකොං යන රටවලට පරාජයට වී සිවුවැනි ස්ථානය දක්වා  පල්ලම් බැස්සේය. ශ්‍රී ලංකාවට ජයගත හැකිවූයේ මූලික වටයේ පාකිස්තානු, මාලදිවයින හා හොංකොං තරග පමණි.



බලශක්තියෙන් සුරක්ෂිතවීමේ ස්ථීර සාර වැඩපිළිවෙළකට ඔස්ට්‍රේලියා සහාය

බලශක්ති අර්බුදයට මුහුණදෙමින් බලශක්තියෙන් සුරක්ෂිතවීම සඳහා ස්ථීර සාර වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියාඅගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව (25) දා පෙරවරුවේ ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඔස්ට්‍රේලියා ආයෝජකයින් සූදානමින් සිටින බව පැවසූ ඔස්ට්‍රේලියා අගමැතිවරයා ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවට ද සහතික විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ මැණුම් කටයුතු සහ තොරතුරු රැස් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික සහය ලබාදිය හැකි බව ද පැවසූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික හා පර්යේෂණ දැනුම ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ මානව සම්පත පුහුණු කිරීම සඳහා සහය ලබාදීමටද එකඟතාවය පළ කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් වැළැක්වීමට ශ්‍රී ලංකා රජය ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ ඔස්ට්‍රේලියා අගමැතිවරයා එම සහය අඛණ්ඩවම අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ මැල්කම් ටර්න්බුල් මහතා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බවට සහතික විය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියා සහය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා ඔස්ට්‍රේලියා ජාතික විද්‍යා තාක්ෂණ සංවිධානයේ සහය ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

එම නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ සංවිධානය කර තිබු විශේෂ පිළිගැනීමේ උත්සවයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අග්‍රාණ්ඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග්‍රාණ්ඩුකාරතුමා හා මැතිනිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

ආචාර වෙඩිමුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ෂවත් අයුරින් මේ පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි. එමෙන්ම දෙරටේ ජාතික ධජ වලින් අග්‍රාණ්ඩුකාර නිල නිවාස පරිශ්‍රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජාතික සංහිඳියාව සඳහා තම රජය කැපවී සිටින බවත් ඒ තුළින් ජනතාවට සෞභාග්‍ය උදකරදීමට අපේක්ෂා කරන බවත්ය.

දශක හතක් පුරා පැවති ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම රාජ්‍ය සංචාරය සඳහා තමා වෙත ආරාධනා කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියා රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක් විය.


2017 මුල් කාර්තුවේ 16,000ක් දඩ කාලා

රථ වාහන ධාවනයේදි ජංගම දුරකථන භාවිතා කිරීම නිසා 2017 වසරේ මුල් මාස තුන ඇතුලත පුද්ගලයින් 16,099ක් එරෙහිව දඩ නියම ඇති බව zawya.com වෙබ් අඩවිය වාර්තා කළේය.

පසුගිය වසරේ (2016) මුල් මාස තුන ඇතුලත පුද්ගලයින් 16,393 දඩ නියම කර ඇති අතර පසුගිය වසර තුල දඩ නියම කල මුළු සංඛයාව 60,364ක් වේ.

“ජංගම දුරකථනය භාවිතා කරමින් රථ වාහන ධාවනය කරද්දි මොලය ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා. හදිසි අවස්ථාවකදි රියදුරාට මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි වෙනවා, මාරක රිය අනතුරු වැඩි වෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ ඒක.’’ ඩුබායි රථ වාහන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ, සයිෆ් මුහයිර් අල්-මස්රුයි ප්‍රකාශ කළේය.

2017 ජුලි 01 දින සිට රිය ධාවනයේදි ජංගම දුරකථන භාවිතය, රූපලාවන්‍ය කටයුතු කිරීම සඳහා දඩ මුදල ඩිරාම් 200 සිටඩිරාම් 800 දක්වා වැඩි කරනු ලබනඅතරblack point හතරක් හිමි වේ.

බොහෝ රියදුරන් රියධාවනයේදී ෆේස්බුක් භාවිතය, විඩියෝ නැරඹීම නිසා මාර්ග නීති උල්ලංඝනය කිරීම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර අධිවේගී මාර්ග වල විශාල වාහන තදබදයක්ද ඇතිවී තිබෙන බව රථවාහන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජංගම දුරකථනය භාවිතා කර යම් දෙයක් සිදු කිරීමට අවශ්‍ය නම් වාහානය නතර කර අවශ්‍ය දේ කිරීමෙන් පසු නැවත ගමන ආරම්භ කරන ලෙසත්, අවදානම් ක්‍රියාවලින් වලකින ලෙස ඩුබායි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)

රයිගම් ටෙලි සම්මාන උළෙල ජාතියේ මහා මංගල්‍යක් බවට පත් වී තිබෙනවා

රයිගම් ටෙලි සම්මාන උළෙල ගෞරවණීයත්වයට හා විශ්වාසයට පත්වෙමින් දැන් ජාතියේ මහා මංගල්ලයක් බවට පත් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉකුත් දා (19) කිංස්බරි හෝටල් සංකීර්ණයේ පැවැති දහතුන් වැනි වරටත් සංවිධාන කරන රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල- 2016 සම්මානලාභීන්ගේ නිදේශ නාමාවලිය එළි දැක්වීමේ සැඳෑවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"රයිගම් සමූහ ව්‍යාපාරයේ සියලුම නිෂ්පාදන සඳහා අපේ වෙළෙඳපොළේ තිබෙන්නේ විශාල කීර්ති නාමයක්. ආචාර්ය රවි ලියනගේ ඇතුළු පිරිස, විද්වත් විනිසුරු මඩුල්ල නායකත්වය ලබා දෙමින් 13 වෙනි වරටත් සංවිධාන කරන මේ සම්මාන උළෙල පිළිබඳ කාගේත් තිබෙන්නේ විශාල විශ්වාසයක්. අපක්ෂපාතී තීන්දු තීරණ දෙමින් සම්මාන උළෙලක් පවත්වනවා පමණක් නොව මෙරට සම්මාන උළෙලවල්වලින් මෙවැනි ආකාරයට සම්මානලාභීන්ගේ නිර්දේශ නාමාවලිය ඉදිරිපත් කිරීමේ සම්මාන රාත්‍රියක් පවත්වන එකම සම්මාන උළෙලත් රයිගම් ටෙලි සම්මාන උළෙල පමණක් බව කිව යුතුයි.

ඒ නිසා මේ පුංචි තිරයේ දක්ෂයන් අතරින් දක්ෂයෝ අද සොයන එක ලේසි පහසු කටයුත්තක් නොවන බව අපි කවුරුත් පිළිගන්නා කරුණක්. මම ජනමාධ්‍ය ඇමැති වු පසු සරසවි සම්මාන හා ජනාධිපති සම්මාන උළෙලවල් පවත්වන්න කටයුතු කළා. ඒ සම්මාන උළෙලවල් දෙකෙහිම සංවිධාන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අපට තේරෙනවා මෙවැනි සම්මාන උළෙලක් පවත්වන්න තිබෙන අසීරුතාව."

මෙවර සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන ප්‍රතිභා ප්‍රභා සම්මානය නිළි රැජිණ මාලනි ෆොන්සේකා මහත්මියට ලබාදීමට කටයුතු කර තිබේ. විශේෂ ප්‍රණාම සම්මාන සංගීතඥ රෝහණ බැද්දගේ, මාධ්‍යවේදි ආචාර්ය ආරියදාස පීරිස් මහත්වරුන්ට මෙවර ප්‍රදානය කරනු ලබයි. මෙහි දී මාධ්‍ය විශිෂ්ටතා හා ටෙලි නාට්‍ය විශිෂ්ටතා අංශ සඳහා සම්මාන තිස් හතක් ද ඒ සඳහා නිර්දේශ නාම එකසිය තිස් හතක් වේ.

අවසානයේ සම්මාන සැඳෑවේ දී ජූරියේ සම්මාන දහයක්, රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන විස්සක්, ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන දහනවයක්, ජනප්‍රිය සම්මාන තුනක් ප්‍රණාම සම්මාන තුනක්, විශේෂ සම්මාන එකක් සමඟ සම්මාන පනස් හයක් ප්‍රදානය කෙරේ.

කිංඩම් රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ හා විනිසුරු මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


බෝ නොවන රෝග පාලනයට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සැසිවාරයට සහභාගි වී සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා එම සමුළුව පසුගිය 23 වැනි දා ඇමැතීය.

මේ සමුළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වීය. එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා දේශන දෙකක් පවත්වන ලදී. එක් දේශනයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැත්වූ අතර අනෙක් දේශනය සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා සහ ලතින් අමෙරිකා රටවල් වෙනුවෙන් පැවැත්වීය. සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද ඇමැතිය රාජිත සේනාරත්න මහතාය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"ධරණීය සංවර්ධනය ළඟා කරගැනීමට ජනතාව ද ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් කළ යුතුයි. එය ප්‍රවර්ධනය කළ යුතුයි. ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. සෞඛ්‍ය සේවාව නංවාලීමට ලක් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.24ක් වැය කරනවා. වසර 30ක යුද්ධයක් පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය අභියෝගයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාස්තිය හා දූෂණය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ ප්‍රාථමික මෙන්ම ද්විතීයික සත්කාරක සේවා වැඩි තිබෙනවා. මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන්නා. නැවත එය හිස එසවීමට ඉඩ ලබා දුන්නේ නෑ. බෝනොවන රෝග පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ඩෙංගු HINI වෛරස් රෝග පාලනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. ජාත්‍යන්තර සහයෝගය ද අවශ්‍යයි. නිසි කළමනාකාරීත්වය ද වැදගත් වෙනවා. රෝගීභාවය දුප්පත්වීම සඳහා බලපාන එක් ලක්ෂණයක්. එම නිසා ලක් රජය නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාවෙන් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම, පිළිකා ඖෂධ මිල අඩු කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා. එමඟින් ජනතාවට සිදු වන වැය බර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි. දුම්කොළ සඳහා බදු වැඩි කළ එකම ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එය ස්ථිර අධිෂ්ඨානයෙන් සිදු කළ යුතු වැඩපිළිවෙළක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරීම, සියයට 80ක රූපමය අවවාද, දුම්කොළ සඳහා සියයට 90ක බදු පැනවීම, සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීම සහ දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීම ලක් රජය ගත් පියවර අතර වෙනවා. මේ පියවර හේතුවෙන් රජයේ බදු ආදායම ද අඩු වුණා.

බෝනොවන රෝග පාලනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. හඳුනා නොගත් වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හඳුනා ගත් ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා."

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් පැවැත්වූ දේශනයේ දී එම රටවල් මුහුණ ‍දී සිටින සංක්‍රමණික සෞඛ්‍ය ගැටලු පිළිබඳ කරුණු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. මේ සමුළුව පසුගිය 22 වැනි දා ආරම්භ වූ අතර 31 වැනි දා දිනෙන් අවසන් වේ.


ඩග් බ්‍රේස්වෙල් පැය 100ක් මහජන සේවයට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල්ට පැය 100ක් මහජන සේවයේ යෙදෙන ලෙස නවසීලන්ත අධිකරණයක් නියෝග කර තිබේ. ඒ බීමත්ව රියපැදවීමේ වරදකට ඔහු වරදකරු වීම හේතුවෙනි.

බ්‍රේස්වෙල් වරද පිළිගෙන තිබේ. පැය 100ක මහජන සේවයට අමතරව ඔහුගේ රියදුරු බලපත්‍රයද වසරක කාලයකට අත්හිටුවීමට අධිකරණය නියෝක කර තිබේ.

පසුගිය මාර්තු 18දා ඔහු බීමත්ව රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකණය ලබාදුන් දඩුවමට අමතරව වෙනත් වෙනත් දඩුවමක් ක්‍රියාත්මක නොකරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ආපදා කලමනාකරණයට වැඩ බලන ඇමතිවරයෙක්



අපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වී ඇති බැවින්, එම. තනතුරේ වැඩ බැලීමට නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද පත්කොට තිබෙනවා. ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපාගෙන් නෙත් නිව්ස් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවා.

ආපදාවට ලක්වූවන්ට අවශ්‍ය සියළු කටයතු වැඩ බලන අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් අදාල නිලධාරීන් විසින් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.