27 May 2017

ආසියානු යොවුන් දැල්පන්දු පරාජය පිළිබඳව කළමනාකාරිනියගේ වාර්තාව මෙම සතියේදී එළියට

 ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ දිනා සිටි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී සිවුවැනි ස්ථානයට පත්වීම පිළිබඳව දින දින චෝදනා රාශියක් එල්ල වෙමින් පවතී. මේ අතර කණ්ඩායම සමග දකුණු කොරියාවට ගිය කණ්ඩායම් කළමනාකාරිනියගේ වාර්තාව ලැබුණු පසු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා දැල්පන්දු සංගමයෙන් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිත බවද 'අද' ට වාර්තා වේ.

තරගාවලිය නිමාවී දින 10ක් ඇතුළත අදාළ සංචාරයට නම්කළ කළමනාකාරිනියගේ නිල වාර්තාව ලබාදිය යුතු අතර ඒ අනුව එම වාර්තාව මෙම සතිය තුළදී ක්‍රීඩා අමාත්‍යාංශයට හා දැල්පන්දු සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙළිවේ. අප අදාළ වාර්තාව ලබාදීම සම්බන්ධයෙන් පමණක් සංචාරයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ ලයානි රේණුකා කුරුප්පු මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර එහිදී ඇය පවසා සිටියේ තමාගේ වාර්තාව මෙම සතිය තුළදී ලබාදීමට පියවර ගන්නා බව පමණක් මාධ්‍යයට පැවසිය හැකි බවයි.

කෙසේ වෙතත් දැල්පන්දු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනුයේ තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට හා අපකීර්තියට පත්කළ නිලධාරීන්ට හා ක්‍රීඩිකාවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවය. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී තිබෙනුයේ කළමනාකාරිනියගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති හෙයිනි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරිනියක ලෙස සහභාගීවූ කුමාරිහාමි මහත්මිය පිටු 21 කින් යුත් වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ද එහි  තරගාවලියේ පරාජයට බලපෑ හේතු කාරණා රැසක් අඩංගු කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වන අතර නායකත්වය ලබා නොදීම හේතුකරගෙන එවැනි ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබුණු බව වාර්තා විය. ඊට හොඳම නිදසුන වනුයේ තරගාවලියට පිටත්ව යාමට පෙර ක්‍රීඩිකාවන් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් පිරිසකට පවසා ඇත්තේ තරගාවලිය ජයගතහොත් නායිකාවට ලකුණු වැටෙන හෙයින් වුවමනාවෙන්ම තරගාවලිය පරාජයට පත් විය යුතු බවයි.

මේ පිළිබඳව කණ්ඩායම් නායිකාව හා සංචාරයට සහභාගී වූ වෙනත් පාර්ශ්ව නිල ප්‍රකාශ නිකුත් කර ඇති පසුබිමක ඊට පියවර ගැනීම කළමනාකාරිනියගේ වාර්තාව ලැබෙන තෙක් ප්‍රමාද කර තිබේ.

මෙම තරගාවලියේදී ආරම්භක තරගයෙන්ම ශ්‍රී ලංකාව තායිලන්තයට පරාජයට පත්වූ අතර සිංගප්පූරුව හා හොංකොං යන රටවලට පරාජයට වී සිවුවැනි ස්ථානය දක්වා  පල්ලම් බැස්සේය. ශ්‍රී ලංකාවට ජයගත හැකිවූයේ මූලික වටයේ පාකිස්තානු, මාලදිවයින හා හොංකොං තරග පමණි.



No comments:

Post a Comment