27 May 2017

බෝ නොවන රෝග පාලනයට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි සැසිවාරයට සහභාගි වී සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා එම සමුළුව පසුගිය 23 වැනි දා ඇමැතීය.

මේ සමුළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වීය. එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා දේශන දෙකක් පවත්වන ලදී. එක් දේශනයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැත්වූ අතර අනෙක් දේශනය සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා සහ ලතින් අමෙරිකා රටවල් වෙනුවෙන් පැවැත්වීය. සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ කමිටුවේ සභාපතිවරයා වන්නේ ද ඇමැතිය රාජිත සේනාරත්න මහතාය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"ධරණීය සංවර්ධනය ළඟා කරගැනීමට ජනතාව ද ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් කළ යුතුයි. එය ප්‍රවර්ධනය කළ යුතුයි. ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි. සෞඛ්‍ය සේවාව නංවාලීමට ලක් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.24ක් වැය කරනවා. වසර 30ක යුද්ධයක් පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය අභියෝගයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නාස්තිය හා දූෂණය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ යටතේ ප්‍රාථමික මෙන්ම ද්විතීයික සත්කාරක සේවා වැඩි තිබෙනවා. මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන්නා. නැවත එය හිස එසවීමට ඉඩ ලබා දුන්නේ නෑ. බෝනොවන රෝග පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ඩෙංගු HINI වෛරස් රෝග පාලනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. ජාත්‍යන්තර සහයෝගය ද අවශ්‍යයි. නිසි කළමනාකාරීත්වය ද වැදගත් වෙනවා. රෝගීභාවය දුප්පත්වීම සඳහා බලපාන එක් ලක්ෂණයක්. එම නිසා ලක් රජය නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාවෙන් ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම, පිළිකා ඖෂධ මිල අඩු කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා. එමඟින් ජනතාවට සිදු වන වැය බර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි. දුම්කොළ සඳහා බදු වැඩි කළ එකම ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එය ස්ථිර අධිෂ්ඨානයෙන් සිදු කළ යුතු වැඩපිළිවෙළක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරීම, සියයට 80ක රූපමය අවවාද, දුම්කොළ සඳහා සියයට 90ක බදු පැනවීම, සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීම සහ දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීම ලක් රජය ගත් පියවර අතර වෙනවා. මේ පියවර හේතුවෙන් රජයේ බදු ආදායම ද අඩු වුණා.

බෝනොවන රෝග පාලනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. හඳුනා නොගත් වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ දී හඳුනා ගත් ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා."

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් පැවැත්වූ දේශනයේ දී එම රටවල් මුහුණ ‍දී සිටින සංක්‍රමණික සෞඛ්‍ය ගැටලු පිළිබඳ කරුණු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. මේ සමුළුව පසුගිය 22 වැනි දා ආරම්භ වූ අතර 31 වැනි දා දිනෙන් අවසන් වේ.


No comments:

Post a Comment