27 May 2017

බලශක්තියෙන් සුරක්ෂිතවීමේ ස්ථීර සාර වැඩපිළිවෙළකට ඔස්ට්‍රේලියා සහාය

බලශක්ති අර්බුදයට මුහුණදෙමින් බලශක්තියෙන් සුරක්ෂිතවීම සඳහා ස්ථීර සාර වැඩපිළිවෙළකට ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියාඅගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව (25) දා පෙරවරුවේ ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඔස්ට්‍රේලියා ආයෝජකයින් සූදානමින් සිටින බව පැවසූ ඔස්ට්‍රේලියා අගමැතිවරයා ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවට ද සහතික විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ මැණුම් කටයුතු සහ තොරතුරු රැස් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික සහය ලබාදිය හැකි බව ද පැවසූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික හා පර්යේෂණ දැනුම ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ මානව සම්පත පුහුණු කිරීම සඳහා සහය ලබාදීමටද එකඟතාවය පළ කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් වැළැක්වීමට ශ්‍රී ලංකා රජය ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ ඔස්ට්‍රේලියා අගමැතිවරයා එම සහය අඛණ්ඩවම අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට සහය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වූ මැල්කම් ටර්න්බුල් මහතා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බවට සහතික විය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියා සහය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සඳහා ඔස්ට්‍රේලියා ජාතික විද්‍යා තාක්ෂණ සංවිධානයේ සහය ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

එම නිල හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ සංවිධානය කර තිබු විශේෂ පිළිගැනීමේ උත්සවයට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අග්‍රාණ්ඩුකාර නිල නිවස වෙත පැමිණි ජනාධිපතිතුමා අග්‍රාණ්ඩුකාරතුමා හා මැතිනිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

ආචාර වෙඩිමුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ෂවත් අයුරින් මේ පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි. එමෙන්ම දෙරටේ ජාතික ධජ වලින් අග්‍රාණ්ඩුකාර නිල නිවාස පරිශ්‍රය අභිමානවත් අයුරින් සරසා තිබුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජාතික සංහිඳියාව සඳහා තම රජය කැපවී සිටින බවත් ඒ තුළින් ජනතාවට සෞභාග්‍ය උදකරදීමට අපේක්ෂා කරන බවත්ය.

දශක හතක් පුරා පැවති ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා සබඳතාවල සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම රාජ්‍ය සංචාරය සඳහා තමා වෙත ආරාධනා කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඔස්ට්‍රේලියා රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව එරට අග්‍රාණ්ඩුකාරවරයා විසින් පිරිනැමූ විශේෂ දිවා භෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක් විය.


No comments:

Post a Comment