07 May 2017

පැරිසියේදී මහින්ද ශිරන්තිට අමුතු වෙසඟක් පෙන්වලා; වාර්තාව පිටවෙයි

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 කට අධික මහජන මුදල් වියදම් කරමින් අමුතුම ආකාරයේ වෙසක් පෙන්වීමක් ගැන සාක්ෂි සහිත වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

2014 වසරේ මැයි මස 20 – 24 දක්වා කාලය තුළ ප්‍රංශයේ වෙසක් බැලීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග ‘ඩේසි ආච්චි’ ද සහභාගි වී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සමස්ත වියදම යුරෝ 63945.50 (කාමර වියදම පමණයි) බවත්, දවසක කාමර වියදම – යුරෝ -14500 බවත් පැවසු ඇමතිවරයා, ඩේසි ආච්චිගේ වියදම යුරෝ 6924 බවත්, දවසක කාමර වියදම – යුරෝ -1350 බවත් පැවසිය.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හොටෙල් කාමරයේ මිනි බාර් පාවිචිච්ය සඳහා වියදම යුරෝ 975 ක් ද ඩේසි ආච්චිගේ දුරකථන ගාස්තු සඳහා යුරෝ 1200ක් ද වැයකර ඇතැයි පැවසු ඇමතිවරයා, මේ සමස්ත වියදම දරා ඇත්තේ එදා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බව පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස වෙසක් උළෙල සමරන්නට ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අවස්ථාව ඉතා පූජනීය අවස්ථාවක් බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

එය ලබාගන්නට හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ උත්සාහයෙන් බව කී ඇමැතිවරයා, වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි අවධාරණය කර සිටියේය.

ගෝල්ෆේස් එකට අාවෙ බත් පැකට් එකට වැඩකරන හාදයෝ..!



ඔබවත් යොදාගෙන ආණ්ඩුවෙන් හදන්න යන මේ බලකාය මොකක්ද?
ඉස්සෙල්ල කියන්න ඕන මේක බලකායක් නෙවෙයි. දේශපාලන අරමුණු ඇතිව වෘත්තිය සමිති හරි වෙනත් සංවිධාන හරි රටේ අත්‍යවශ්‍ය සේවා අඩාල කරනවා නම් එතකොට ඔය ඒකාබද්ධ මළබද්දය කියලා තියෙන්නේ අන්න එයාලා මේ රටේ ජනජීවිතය අඩාල කරනවා නම් ඇත්තටම එයාලා හදන්නේ මේ රට ගැන සමාජයට ලෝකයට වැරදි චිත්‍රයක් මවන්න. එහෙම දේවල් වෙනකොට අපිට මේ ප්‍රශ්න විසඳන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් රාජපක්ෂ ක්‍රමය. ඒ කියන්නේ ගහනවා, වෙඩි තියනවා, උස්සනවා, තර්ජනය කරනවා වගේ වැඩ. දෙවැනි ක්‍රමය තමයි සාකච්ඡා ක්‍රමය, ඒ කියන්නේ ඇමැතිවරු සමඟ එකතු වෙලා සාකච්ඡා කරන එක. තුන්වැනි ක්‍රමය තමයි උද්ඝෝෂණ සහ වැඩවර්ජන වලට මුහුණ දීම, අන්න ඔය කියන දෙවන සහ තුන්වන ක්‍රමවේද වලට මුහුණ දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් හදන එක ගැන තමයි අපි කතා කළේ.

ඒ යාන්ත්‍රණය ගොඩනැගෙන්නේ කොහොමද?
එතැනදී ඒ යාන්ත්‍රණය ඇමැතිවරු ලේකම්වරැ ත්‍රිවිධ හමුදාපතිවරු වගේ අය එකතුවෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන එක තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් බලන්න බවුසර් ඩ්‍රයිවර්ලා වැඩවර්ජනය කරනවා. එතකොට අපිට පුළුවන් යුද හමුදාවේ රියදුරන් දාලා ප්‍රශ්නයට මුහුණ දෙන්න. එහෙම නැතුව රාජපක්ෂලා වගේ වෙඩි තියන්න නෙවෙයි. ඒ වගේම තමයි යම් කණ්ඩායමක් රාජ්‍ය දේපළ විනාශ කරලා, හමුදාවට පහරදෙනවා නම් යුධ හමුදාවට හැකියාවක් තියෙනවා ඒවා නවත්වන්න. ඒකට ඔවුන්ට බලය තියෙනවා ඔන්න ඔය කාරණාවලට මුහුණ දෙන්න තමයි අපි මේ ගැන කතා කළේ.

ඒ කියන්නේ මේක හදන්නේ යුද හමුදාව යොදවලද?
රටේ අත්‍යවශ්‍ය සේවා රැකගන්න යුද හමුදාවටත්, පොලිසියටත් වගකීමක් පැවරෙනවා. අනිවාර්යෙන්ම පොලීසිය ඉන්න ඕන. මොකද මේක යුද්ධයක් නෙමෙයිනේ. ඒ විතරක් නෙවෙයි නීති ක්ෂේත්‍රෙය කට්ටියත් ඕන. මේ කරන්නේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරන්න.

හමුදාව පාලනය කළ මට රටේ විනය හදන එක මොකක්ද?
මේ යෝජනාවේදී සරත් ෆොන්සේකාගේ නම එන්නේ කොහොමද?
ජනාධිපතිතුමා හිතන්න ඇති යුද හමුදාව මෙහෙයවලා පළපුරුද්ද තියෙනවා. නීතිය ගැන අවබෝධයක් තියෙනවා. විනය පවත්වා ගැනීම ගැනත් මේ කතාවේදී ජනාධිපතිතුමාට කියවුණා. ඒ නිසා විනය පවත්වා ගැනීමේදී ඒ අයට මා ගැන යම් විශ්වාසයක් තියෙනවා. මොකද මම විනයගරුක නිලධාරියෙක් හැටියට වසර 40ක් සේවය කළා. එවැනි මත නිසා ජනාධිපතිතුමාට මාව මතක් වෙන්න ඇත.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් චෝදනා කරන්නේ නම් මේ ජනතා හඬ මර්දන වැඩපිළිවෙළක් කියලා?
ඒක තමා මම මුලදි විස්තර කළේ. ඒ තමයි අපි දන්න ඇත්ත තත්ත්වේ. එක එක්කෙනාට විවිධ කතා මවන්න පුළුවන්. ජනතාව නොමඟ යවන්න පුළුවන් බයකරන්න. ඔය ඒ අය කියන්නේ රාජපක්ෂ ක්‍රමය. අපි එතනට යන්නේ නෑ.

ඔබ ඔය ගැන ඔහොම හිතුවත් එස්.බී. අමාත්‍යවරයා නම් කිව්වේ මේක මේ විහිළුවට කිව්ව කතාවක් කියලා?
එතුමගේ දේශපාලන ජීවිතයත් බොහොම විහිළුවෙන් තහළුවෙන් පිරිච්ච ජීවිතයක්නේ. ඒ නිසා හැමදේම විහිළු කියලා හිතනවා ඇති. මේක විහිළුවක් වෙන්නේ කොහොමද රටේ වගකිවයුතු රජයක් හැටියට අපිට දැනිලා තියෙනවා. මේක වැදගත් අවධානය යොමු කළ යුතු වැඩක් කියලා. ඒ නිසා එතුමට මේක විහිළුවක් හැටියට පේනවා ඇති. ගැඹුරින් යමක් බලන්න බැරි අයට මේක විහිළුවක් හැටියට පේනවා ඇති.

ඔබ මේ තනතුර බාරගනිද්දී දේශපාලනයෙන් ඉවත් වෙනවද?
නෑ.. එහෙම අයින් වෙලා බාරගන්න ඕන දෙයක් නෙවෙයි මේක. ඇමැති කෙනෙකුට මෙහෙයවන්න පුළුවන් වගකීමක්. ඒක ජනාධිපතිතුමා තීරණය කරයි මොනවගේ යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. ඒ වගේම ඒකට මාව ගාව ගන්නේ කොහොමද කියලා එතුමා හිතයි.

කකුල් දෙකෙන් එල්ලන්න ඕන කියලයි මම කීවෙ
මේ උද්ඝෝෂණ විසඳන්න පුළුවන් රේඛීය අමාත්‍යංශ තියෙනවා. ඒත් මේ ක්‍රමවේදේ භාවිතා කිරීම මඟින් ඒ අමාත්‍යවරුන්ගේ බලතලවලට හානියක් වෙන්න පුළුවන් නේද?
නෑ යම් දෙයක් වෙනකොට කඩාකප්පල් වෙනකොට ඒක විසඳගන්න ඒ අමාත්‍යවරුන්ට සම්පත් නෑනේ. එතකොට බාහිර සහාය ලබාගන්න වෙනවා. කොහොමත් එහෙම විසඳන්න පුළුවන් ඒවා තියෙනවා නම් අමාත්‍යවරු ඒවා විසඳයි.

ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම පිහිටුවනවද?
ඔව්. පිහිටුවනවා කියන අදහසේ තමයි ජනාධිපතිතුමා පස්සේ දවසක හමුවුණාමත් කතා වුණේ. ඒ මතය වෙනස් කරා, වෙනස් කරන්න ඕන කියන මතයේ කවුරුත් නෑ. ඒක කරන්න ඕන කියන තැන තමයි හැමෝම ඉන්නේ.

මෙච්චර තීන්දුවක් ඇයි මේ කැබිනෙට්ටුවෙන් එළියට එනකොට විහිළුවක් වෙන්නේ. කැබිනෙට්ටුවේ තීන්දු විහිළුද?
ඔව්. එහෙම කරන එක වැරදියි.

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා නම් කියන්නේ ඔබ මේක ඇන ගනී කියලා?
ඔහු කැබිනට් මණ්ඩලයේ නෑ. එයා ප්‍රධාන පක්ෂයක මාධ්‍ය ප්‍රකාශක. එයාව දැක්කමත් මට හිනා යනවා. එයා කියලා තියෙනවා යුද හමුදා නිලධාරින් යන යන තැන ඇන ගන්නවා කියලා. ඒත් ඒ අමාත්‍යවරයා දන්නේ නෑ මේ රටේ ජනතාව නිදහසෙන් ඉන්නේ හමුදාව නිසා කියලා. එවැනි හමුදාවක නිලධාරින්ට අපහාස කරන්න ඒ පුද්ගලයා කරපු දෙයක් නෑ. එවැනි අවලාද කතා කියන අය දේශපාලනයේ ඉන්න එක ප්‍රශ්නයක් තමයි.

රාජපක්ෂලාට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරිවීම දුර්වලකමක්
ඔබව දන්නා හඳුනන ජනතා විමුක්ති පෙරමුණත් කියන්නේ මේක ඔබට දීමෙන් මිලිටරිකරණයක් ඇති කරන්න යන්නේ කියලා?
මට ජේ.වී.පී. එකත් බාර දුන්නනේ එක පාරක්. මාව නායකයා හැටියට පිළිගත්තනේ. එක මැතිවරණයකදී. එතකොට ජේ.වී.පී. එක මිලිටරි කරන්නද මට නායකත්වය දුන්නේ. ඔය නායකයෝ ටික ඔක්කොම පාර්ලිමේන්තු ගියෙත් මගේ නායකත්වයෙන් එදා. මම එයාලට ගෞරව කළා. කෙළින් කතා කරන අය හැටියට. හැබැයි මෙවැනි දේවල් කියනකොට අනෙක් දේශපාලන පක්ෂ සමඟ වෙනසක් නෑනේ ඒ අය. ඔයිට වඩා වගකීම් සහගත වෙන්න ඕන.

එජාපයේ ඉහළ තනතුරක් දෙන්න යනවා ඔබට. ඒත් එජාපයේ ජ්‍යෙෂ්ඨයෝ කැමති නෑ ඒකට. ඇයි මේ?
මට උපනායක තනතුරක් දෙන්න තමයි යෝජනාවක් ඇවිත් තියෙන්නේ. මම විතරක් නෙවෙයි තව ජ්‍යෙෂ්ඨයෝ කීපදෙනෙක් ඉන්නවා. එතැනදී එක එක අසහනයෙන් ජීවත්වෙන දේශපාලනඥයෝ ඉන්නවානේ. එවැනි අය විරුද්ධ වෙලා තියෙනවා. මම දන්නවා විරුද්ධ වෙච්ච වග. මට ඒක අදාළ නෑ. පක්ෂ නායකතුමා පක්ෂය ගැන හිතලා ගන්න තීන්දු තීරණයක්නේ.

ඇත්තද විජේදාස රාජපක්ෂ මහත්තයා ඔබට ඒ තනතුර දුන්නොත් පක්ෂයෙනුත් අමාත්‍යකමිනුත් ඉවත් වෙන්න තීරණය කළා කියන්නේ?
කොතනදිද එෙහම ප්‍රකාශයක් කරලා තියෙන්නේ කියලා මම දන්නේ නෑ. මම මන්ත්‍රීකමක් කරලා ඇමතිධූරයක් දරනවා කිව්වමත් එයා එවැනි ප්‍රකාශයක් කළා. නමුත් නායකතුමා ඒවා ගණන් ගත්තේ නෑ. ඒ වෙලාවෙදි කිව්වා එතුමාට ඔබතුමාගේ දේශපාලන ගමන ගැන ඔබතුමා තීරණයක් ගන්න කියලා. එහෙම කියලා තියෙනවා නම් මේ පාරත් ඒ උත්තරයම දේවී.

ජවිපෙ නායකයෝ එදා මට නායකත්වය දුන්නේ ජේ.වී.පී. එක මිලිටරි කරන්නද?
ඔබ මැයි 1 වැනිදා කැම්බල් පිටියේදී කිව්වා මහින්ද රාජපක්ෂව සාටකයෙන් එල්ලන්න ඕන පණයනකල් කියලා. ඇයි එහෙම කිව්වේ?
පණ යනකන් කිව්වේ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මම කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා.

නමුත් ඔබ හුස්ම යනකන් කියන වචන භාවිත කරනවා වීඩීයෝවල තියෙනවා?
නෑ… නෑ… හුස්ම යනකන් කිව්වේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කිව්වේ.

මොකක්ද මේ රාජපක්ෂලා එක්ක තියෙන ඉවරයක් වෙන්නේ නැති වෛරය?
එයා කරපු වැඩ, ප්‍රකාශ දැන් කරන ඒවා අනුව මට හිතෙනවා ඔහු අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙක්. එල්.ටී.ටී.ඊට මිලියන ගණන් දුන්නා. එයාගේ මල්ලි බැසිල් රාජපක්ෂ මට කිව්වේ. විදෙස් රටකින් හම්බුණ ඩොලර් මිලියන 02ක් එහෙමම ප්‍රභාකරන්ට දුන්නා කියලා දෙමළ ජනතාවගේ ඡන්ද දාන්න කියලා. ඒවා අනිවාර්යෙන් දැඩි දඬුවම් දියයුතු වරදවල්. කකුල් දෙකෙන් එල්ලලා තියෙනවා කියන එක නීති පොතේ නෑනේ. ඒවා තියෙන්නේ සිංහල රජකාලේ නීති. මම විශ්වාස කරනවා සිංහල රජ දවසේ දඬුවම් තමයි ලැබිය යුත්තේ කියලා. සමහර අය කියන්න් මඩුවලිගෙන් තලන්න ඕන කියලා. පුවක් ගහේ බඳින්න ඕන කියනවා.

එස්.බී.ගෙ ඉතිහාසෙ රටම දන්නවා
ඔය කියන චෝදනා එකක්වත් තවම ඔප්පු කරලා නෑනෙ?
ඒක ගැන ඔබත් එක්ක මම එකඟ වෙනවා. ආණ්ඩුව එතනදී දුර්වලතාවයක් පෙන්නලා තියෙනවා. අපි පොරොන්දුවකුත් දුන්නා. යහපාලනය කියලා පොඩි වෙනස්කම් කිහිපයක් කළා. ඒකෙන් වුණේ රාජපක්ෂලා නීති ක්ෂේත්‍රයට ඇතුළු කළ නිලධාරින් තවම ඒ ක්ෂේත්‍රවල රැඳී ඉන්නවා. එවැනි බාධක ගොඩක් දැන් තියෙනවා. කොහොම වුණත් අපි ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ඨ නොකළොත් රජයක් හැටියට ඒ වගකීම බාරගන්න වෙනවා. එතනදී ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ජනතාව අත දික් කරයි. අපි ඒ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරලත් තියෙනවා. ඒ නිසා අපි ඒ පොරොන්දුව ඉෂ්ඨ කළ යුතුයි.

ඔබ ආණ්ඩුවේ අයෙක් හැටියට ඒ පොරොන්දු ඉෂ්ඨ කරගන්න බාධාවක් වුණේ කොතැන කියලද හිතන්නේ?
ඉස්සෙල්ලා කිව්වා වගේ යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි අධිකරණයට අත ගහන්නේ නෑ කියලා ස්වාධීන කොමිෂන් පත්කළා. ඒ අයට නිදහසක් ආවා. ඒ නිසා මේ වැඩකරගන්න බාධාවක් වුණා. මම හොඳටම දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ ඉන්න කිහිප දෙනෙක් මහින්ද රාජපක්ෂලා එක්ක තවම ගනුදෙනු කරන වග. පොලිසියෙත් ඇති. රාජපක්ෂලා අධිකරණ ක්ෂේත්‍රයට ගෙනත් දාපු අය තවම ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ ඔබලා ඔක්කොම එකතුවෙලා ඩීල් දාලා රඟපෑමක් කරන්නේ කියලා?
මම හිතන්නේ නෑ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඩීල් දාගෙන ඉන්නවා කියලා. හැබැයි ඩීල් දාගෙන ඉන්න අයත් ඉන්නවා ආණ්ඩුවේ.

කවුද කියලා කියන්න පුළුවන්ද?
බෑ.. අපිත් එක්ක වෛරයෙන් ඉන්න අයත් ඉන්නවා.

එජාපයෙ සමහරු මට තනතුරු දෙනවට විරුද්ධ වෙලා
ආණ්ඩුවෙන් ගහන්න පුළුවන් හැමදේම දාලා රාජපක්ෂලාට ගැහුවත් මැයි දිනයේදී විශාල සෙනඟක් ගොල්ෆේස් එකට ආවා. තවම රාජපක්ෂලාව ජනතාව පිළිගන්නවා නේද?
ගෝල්ෆේස් එකේ වේදිකාව ගහලා තිබ්බේ විශාල ප්‍රදේශයක් අත ඇරලා. එතන කැම්බල් පාර්ක් එකවගේ හතර ගුණයක් ලොකුයි. වේදිකාවයි ඉස්සරහා තියෙන වැටයි ගත්තහම තවත් කැම්බල් පාර්ක් එක වගේ ප්‍රදේශයක් අත්ඇරලා එතනින් එහාට ගොල්ෆේස් එකේ තනි තීරුවක්නේ තියෙන්නේ. ඒකේ 50,000ක් විතර හිටියා. ඒක පිළිගන්නවා. පනස්දහසක් ගේන්න බැරි නෑ. එගොල්ලන්ගේ බඩගෝස්තරවාදී පළාත් සභා පළාත් පාලන මට්ටමේ අනෙක් දූෂිත බත්පැකට් එකට වැඩකරන පිරිසක් ඉන්නවා. ඒ නිසයි ඔය පක්ෂ හදන්නේ. දැන් එයාලට තිබ්බ සුඛෝපභෝගි ජීවිත නැතිවෙච්ච නිසයි මේ. ඒ නිසා අපි රාජපක්ෂ ප්‍රබලයෙක් කියලා හිතන්නේ නෑ.

එස්.බී. ඇමැතිවරයා කිව්වේ ඔබයි රාජිත අමාත්‍යවරයයි කියන ප්‍රකාශ නිසා මිනිස්සු ගෝල්ෆේස් ගියේ කියලා?
එස්.බී. දිසානායක කියන පුද්ගලයා එහෙම කිව්වා නම් ඔහුට ප්‍රශ්නයක් තියෙනවා. කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කවුරු අහන්න කැමති දේවල්ද කියන්නේ කියලා සැකයක් තියෙනවා. එයා අමුතු චරිතයක්. එයාගේ ඉතිහාසය රටේ අය දන්නවා. එහෙම කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. වෙස් මුහුණු බැඳන් නැටුවට කවදා හරි ගලවන්න වෙනවා.

ඇයි මේ ආණ්ඩුවට තවම ආර්ථික ගැටලුව විසඳන්න බැරි?
කවද්ද ආර්ථික ගැටලුවක් නැති වුණේ කියන්න. දැන් බලන්න කුණුගොඩ. ඔය ප්‍රශ්න තිබ්බේ නැද්ද රාජපක්ෂ කාලේ. සයිටම් ගැටලුව ඇතිකරේ කවුද? දැන් ඔය සයිටම් එකට බැන්නා. වරාය ගැටලු, මත්තල ගැටලුව ඇතිකළේ රාජපක්ෂලා. අපි දැන් ඒ දේවල්වලට විසඳුම් සොයගෙන යනවා. ඔය ආර්ථික ගැටලුවත් එහෙමයි. රාජපක්ෂලා කලින් ඡන්දය තිබ්බේ එයා දැනගත්තා තවත් යන්න බෑ කියලා.

දැන් අවුරුදු දෙකක් ගිහිල්ලත් ඔය ගැන චෝදනා කරන එක සාධාරණ නෑ නේද?
චෝදනා කරන්නේ අපි නෙමෙයිනේ. චෝදනා කරන්නේ ඒ අය. එතකොට අපිට උත්තර දෙන්න වෙනවා. ජනතාව නොමඟ යවන්න හදනකොට ජනතාවට පැහැදිලි කරන්න වෙනවා. අපිට චෝදනා කරන්න අවශ්‍ය නෑ. ඒත් අපි අතීතය මතක් කරලා දෙන්න ඕන.

ගයාන් ගාල්ලගේ
සේයාරුව ල් සුමුදු හේවාපතිරණ

මට වඩා මහින්දට ආරක්ෂාවක් අවශ්‍ය ඇයි? – චන්ද්‍රිකා



එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්ෂ පරිපාලනය 2007 දී මාසයේ සිය ආරක්ෂාව. සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

හිටපු ජනපතිනිය ඒ බව පවසන්නේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මතුකරන විරෝධය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

2005 නොවැම්බර් මාසයේ තමන් පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ තමන්ට ආරක්ෂක භටයන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ සපයන මෙන් ආරක්ෂක මණ්ඩලය නිර්දේශ කළ නමුත් තමන් එම ප්‍රමාණය ආරක්ෂා භටයන් 150 ක් දක්වා අඩු කළ බවද හිටපු ජනපතිනිය සඳහන් කරයි.

එහෙත් රාජපක්ෂ පරිපාලනය 2007 සැප්තැම්බර් මාසයේදී එම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්ෂාවක් නොතිබුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්ෂ පරිපාලනය තමන්ට ආරක්ෂක භටයන් 40 ක් සහ ඉතා අයහපත් තත්වයේ පැවති ආරක්ෂක රථ පහක් ලබා දුන් අතර තවමත් තමන්ට ලබා දී තිබෙන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් බවත් හිටපු ජනපතිවරිය පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය ආරක්ෂක භටයන් සමග
වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොපවතින අතර, යහපත් ආරක්ෂක තත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට තමන්ට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් හිටපු ජනපතිවරියගේ නිවේදනයේ දැක්වේ.

සාර්ථක මැයි දිනයක් පැවැත්වීමෙන් අනතුරුව “දේශපාලන පලිගැනීමක් වශයෙන්” හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කර ඇති බව ඔහුගේ මාධ්‍ය අංශය චෝදනා කර තිබුණි.

මැයි දිනය මත පදනම්ව එසේ ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එහෙත් හිටපු ජනාධිපතිවරයාට තවමත් පොලිස් නිලධාරීන් 187 දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේද හමුවේ පැවසීය.

ප්‍රංශයේ මීළඟ ජනපති තොරණ ඡන්දය අදයි



ප්‍රංශ ජනාධිපතිවරණය අද (07දා) ආරම්භ වන අතර මෙවර ජනාධිපතිවරණයේ වඩාත් බලාපොරොත්තු සහගත අපේක්ෂකයා ලෙස එමානුවෙල් මැක්‍රෝන් සැලකෙයි.

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පසු අද පැවැත්වෙන දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූවන් දෙදෙනෙකි. ඒ, අනුව, මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග බිමේ සිටිති.

කෙසේ වෙතත්, මැතිවරණයට දින දෙකක් තිබියදී මැක්‍රෝන්ගේ ඡන්ද ව්‍යාපාරයේ රහසිගත ලිපිගොනු රැසක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරමින්, ඒ ලිපිගොනු සමග ව්‍යාජ ලිපිගොනුද කලවම් කර සිය අපේක්ෂකයාගේ ජනප්‍රියත්වයට හානියක් සිදුකිරීමට හැකර්වරුන් කටයුතු කර ඇති බවට චෝදනාවක් නැගුණි.

කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසන් වනතුරු මෙම අපේක්ෂකයන් දෙදෙනාටම බලපැවැත්වෙන මැතිවරණ නීති සමුදායක් පවතින නිසා මැක්‍රෝන්ට මාධ්‍ය ඔස්සේ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කිරීමේ අවසරයක් නොමැත.

පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව මැක්‍රෝන්, ප්‍රතිවාදී අපේක්ෂිකා ල-පෙන්ට වඩා 20%ක් පමණ ඉදිරියෙන් සිටින බව පැවසෙයි.

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන එම්මානුවෙල් මැක්‍රෝන් තරග වදින්නේ යුරෝපා සංගමයේ න්‍යාය පත්‍රයට හිතවාදී ලිබරල් මතවාදයට නැඹුරු 'එන් මාර්ෂ්' නමැති තමන්ගේම පක්ෂයකිනි.

ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන මරීන් ල-පෙන්ගේ ජාතික පෙරමුණේ මතය වී ඇත්තේ යුරෝපය සමග ප්‍රංශය සතු සබඳතා වෙනසකට ලක්කළ යුතු බවය.

සංක්‍රමණිකයන් සහ නිදහස් වෙළෙඳාම සම්බන්ධයෙන්ද ඇය සිටින්නේ දැඩි ස්ථාවරයකය.

මෙවර ජනාධිපතිවරණයේදී මෑත කාලයේදී ප්‍රංශයට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ අන්තවාදී ප්‍රහාරයන්ද වඩාත් ප්‍රබල සාධකයන් වනු ඇති අතර, එයද ඡන්ද ප්‍රතිඵලවලට බලපෑමක් කරනු ඇති බව කියැවෙයි.

විරහ ගීත රැසක් බිහි වූ , නවලෝක මුදලාලි එරෙහි වූ මිල්ටන් මල්ලවආරච්චිගේ ආදර කතාව



අපි රස විදින ගීත පිටිපස්සේ ගොඩක් ලස්සන, දුක්බර කතා තියෙනවා. බොහෝ දුරට නිර්මාණකරුවාගේ ජීවිතේ ඒ සුන්දර අත්දැකීම් තමා ගීතයක්, නවකතාවක්, නාට්‍යයක්, චිත්‍රපටියක් වගේ විවධ මාධ්‍ය ඔස්සේ එළි දකින්නේ.අපි කවුරුත් දන්නවනේ “මිල්ටන් මල්ලවආරච්චි” කියන ගායකයා ගැන. මේ ගායකයා මෙච්චර සුන්දර විරහ ගීත ගයන්නට හේතු වූ පසුබිම් කතාව තමයි මේ.

කවුරුත් දන්නවනේ නවලෝක සමුහ ව්‍යාපාරය ගැන. එකේ ආරම්භකයා තමා දේශමාන්‍ය එච්.කේ.ධර්මදාස මහතා. සාමාන්‍යයෙන් මිනිස්සු කිව්වේ “නවලෝක මුදලාලි” කියලා. ඉතා දුගී තත්වයේ හිටිය මුදලාලි බොහොම අමාරුවෙන් ව්‍යාපාර කරලා දැන් ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක් වෙලා. කොච්චර ලොකු දැවැන්තයෙක් උනත් මුදලාලිට තිබ්බා අමුතු පුරුද්දක්. ඒ තමා සතියකට සැරයක් දෙසැරයක් වගේ සංගීත කණ්ඩායම් නිවසට ගෙනල්ල පොඩි සාජ්ජයක් දාන එක. මුදලාලි සංගීතයට ගොඩක් ඇලුම් කරපු කෙනෙක්.

දවසක් මුදලාලි වාහනෙන් යනකොට පොඩි ගිටාර් කෑල්ලකුත් වාදනය කරන ගමන් ලස්සනට සින්දු කියන තරුණයෙක් ඉන්නවා දකිනවා පාර අයිනේ. මුදලාලි වාහනේ නතර කරලා මේ තරුණයට ඇරයුම් කරනවා තම නිවසේ තියෙන සාජ්ජයකට සහභාගී වෙන්න කියල. තරුණයත් බොහොම සතුටින් ඒ ඇරයුම බාර ගන්නවා. ඔහු දැන් මුදලාලිගේ නිවස හොයාගෙන යනවා. මුළු පලාතක්ම එලිය කරන සුවිසල් මන්දිරක් වෙත මේ තරුණයා පිය නගනවා. තරුණයාව දැකපු මුදලාලිත් මේ තරුණයාව පිලි අරගෙන ගීත ගයන්න ආරාධනා කරනවා.

මුදලාලිට ලස්සන දූ පොඩිත්තකුත් ඉන්නවා. මුදලාලිගේ දුව තාත්තගේ මේ සාජ්ජ වලට වැඩි කැමැත්තක් නෑ. එයා උඩු මහලට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. සංගීතයට වැඩි කැමැත්තකුත් නෑ. නමුත් අපේ මේ තරුණයාගේ කට හඩට මුදලාලිගේ දුවට ආසාවක් ඇති වුනා. දවස් කීපයක් මෙලෙස තරුණයා ගීත ගයන්න මුදලාලිගේ නිවසට ගියා. මුදලාලිටත් මේ තරුණයාව හිතට ඇල්ලුවා. ඒ තරම්ම ඒ කටහඬ ලස්සනයි. වෙනදා එක සින්දුවක්වත් අහන්නේ නැති මුදලාලිගේ දුවත් දැන් හරි හරියට මේ තරුණයාගේ ගීත අහනවා. මේ තරුණිය තරුණයා ගීත ගයන වෙලාවට සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවෙලා හිටියා. හැබැයි කවදාවත් මුදලාලිගේ දුව මේ තරුණයාව දැකල නෑ. කටහඬ විතරයි අහල තියෙන්නේ.

දවසක් මේ තරුණියට මෙතරම් සුන්දර ලයාන්විත කටහඩක් තියෙන තරුණයාව දකින්න ආසාවක් ඇති වෙනවා. කොහොම හරි මේ තරුණිය හිමීට එබිකම් කරලා බලනවා මේ ගීත ගයන්නේ කවුද කියලා. දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන කොණ්ඩය පොකුටු, සුදු, උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි වෙනවා. එදා ඉදන් මේ තරුණිය මේ තරුණයාගේ කටහඬට මෙන්ම මේ තරුනයාටද හිතින් ආදරය කරන්න පෙලබෙනවා. එතැන් පටන් මුදලාලිගේ දුව මෙම තරුණයා ගී ගයන හැම දවසකම මේ තරුණයා දිහා බලාගෙන ඉන්නවා.

දවසක් අහම්බෙන් වගේ තමන් දිහා බලාගෙන ඉන්න මේ තරුණියව ඔහු දකිනවා. තමන් දිහා මහත් ඕනෑකමින් බලාගෙන ඉන්න මේ රුවැත්තිය දිහා ඔහුත් බලනවා. දෙදෙනාගේ දෙනෙත් එකිනෙකට යා වෙනවා. ඇය ඔහුට සුන්දර සිනහවකින් සංග්‍රහ කරනවා. ඔහුත් ඇයට සිහින් සිනහවක් පානවා. නමුත් තවමත් ඇය කාගේ කවුද කියලා මේ තරුණයා දන්නේ නෑ.

“ඒ වගේ දිනක් නෑ එන්නේ – ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ – පෑ රිදී සිනා කැන් ඒ දෑසේ – මා සිතින් මැකිලා යා නොවේ..”  එදා පටන් ඔවුන් දෙදෙනා නෙත් වලින් කතා කළා. දෙදෙනාම සිතින් එකිනෙකාට ආදරේ කරා.

“කවුරුද පාවී පාවී තුරුළු වුනා  – අදර හැගුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා – සිහිනෙන් මල් පිපුනා
මා නෙතේ සැතපිලා – මා පතා නැවතිලා
ලැගුම් සොයාලා – ඉන්න සැනහී ආරාධනා…”

තවත් මෙය සිත තුල සිරකර ගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දන්වනවා. තරුණිය කාගේ කවුද කියා දැනගත් තරුණයා එය පිළිගැනීමට තරමක් බිය වෙනවා. එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය. තමා වැනි දුප්පත් තරුණයෙකුට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.

එහෙත් අවසානයේ ඇය ජය ගන්නවා. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට මෙම තරුණයාට සිදු වෙනවා. කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු වෙනවා. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු වෙනවා.
“දිනක රන්සළු පලදා සද නැගී වේලාවෙන් – පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්…”

“සිහිනෙන් ඔබ මට පෙනෙනවනම් – අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ ඇත නොලැබේ නම් – සැමදා තනිවෙන්නම්…”  දිනෙන් දින ක්‍රමයෙන් දෙදෙනාගේම ප්‍රේමය ලොවට හොර රහසෙන්ම දළුලා වැඩුනා. නමුත් වැඩි කාලයක් මෙමෙ පෙම් පලහිලව්ව රහසේ තබාගන්නට දෙදෙනා අපොහොසත් වෙනවා. ආදරයයි කැස්සයි වසන් කරන්න බෑ කියන කියමන සත්‍යයක් බවට පත් කරමින් මුදලාලිට මේ ගැන ආරංචි වෙනවා. මේක දැනගත්ත මුදලාලි යක්ෂාවේශ වෙනවා. දෙන්නටම තදින් අවවාද කරනවා මේ සම්බන්ධය නවත්වන්න කියලා. එය අසාර්ථක වූ තැන මේක නවත්වන්න පුළුවන් හැම දෙයක්ම මුදලාලි කරනවා. මේ තරුණියට නිවසින් පිට යාම පවා තහනම් කරනවා. මේ මොන කරත් මේ දෙන්නගේ ප්‍රේමය සිත්වල තව තවත් වැඩි වුනා.

“තනිවී සිටින්නයි මා අදහස් කලේ – ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමු කලේ – වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා – සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා – මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා…” මේ කිසිදෙයක් කරත් හරියන්නේ නැති නිසා මුදලාලි අන්තිමට තීරණය කරනවා නිවසේ කරන සාජ්ජ සියල්ල නවත්තලා මේ සංගීත කණ්ඩායම් එක්ක එන තරුනයාටත් ඒ සුවිසල් මන්දිරය එතැන් පටන් තහනම් වෙනවා. ඔහුට මැදුරේ දොරගුළු වැහෙනවා.
“මැදුරේ දොරගුළු ලු නියා – අදුරේ මා තනිවූ නියා
මට සිහිවෙනවා – මේ දැන් වාගේ – නෑ මා හැඩුවේ එදා
රන්මසු නැහැ කියා- මා දිලිදුයි කියා  – කිවා මට තව මතකයි ඒවා…”
මුදලිගේ එක් උත්සහයකින්වත් දෙදෙනා වෙන් කිරීමට නොහැකි විය. අවසානයේ මුදලාලි තමන්ගේ තුරුම්පුව සොයා ගත්තේය. අමුතුම උපායක් මුදලාලිට සිහි විය. එතැන් පටන් මුදලාලි ක්‍රියා කලේ සම්පුර්ණයෙන්ම කන පිටටය. නැවතත් මෙම තරුණයාට සංගීත කණ්ඩායම සමග සජ්ජයේ ගීත ගැයීමට හැකි විය. ඉන් ඵල නෙලා ගත් පෙම් යුවල නැවතත් ප්‍රේමයෙන් වේලෙන්නට පටන් ගත්තේය. තමන්ට සිටි එකම බාධකය වූ මුදලාලි දැන් වැඩි අකමැත්තක් නොපෙන්වන නිසා කිසිදු බියක් දෙදෙනා තුල නොවීය.

නමුදු මුදලාලි සුදුසු තැන බලා ඇණය ගැසුවේය. මෙම දෙදෙනාගේ සම්බන්ධයට කැමති වීමට නම් මෙම තරුනයාද තමන් තරමට පොහොසතෙකු විය යුතු බව ප්‍රකාශ කල මුදලාලි ඔහුට එතෙර රැකියාවක් සොයා දී පිට මන් කළේය. එහිදී මේ තරුණයා ගුවන් තොටුපොලෙන් පිටවී යන අවස්ථාවට සහභාගී වීමටවත් තරුණියට අවසර ලැබුනේ නැත.

“ඒදා රැ ගුවන්තොටුපොලේදි මා – වෙන්වී ගියේ – සිතකින් නොවේ
නෑ සිය මිතුරන් පැමිණීලා – ආසිරි සුභ පැතුම් පැතුවා – ඔබ නාවේ ඇයි මිහිරියේ…” දුරු රටක තනී වී දුක් මහන්සියෙන් හරි හම්බ කලත් එය ඔහු විද දරා ගත්තේ සතුටිනි. ඒ මේ සියල්ලම ඇය වෙනුවෙනි කියා සිතමිනි. එකල පණිවුඩ හුවමාරු කිරීමේ ප්‍රධානම ක්‍රමය වූ ලිපි මගින් මෙම දෙදෙනා තම අදහස් හුවමාරු කර ගැනීමට වෙර දැරීය. හැකි සෑම විටම ඔහු ඇය වෙත ලිපි ලිවීමට පුරුදු වී සිටියේය. එය ඔහුගේ එකම සතුට බවට පත් විය.

“මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි – ඔබ සිහි කර කර ඔබට ලියන ඒක මට ඇති එක සතුටයි…” එහෙත් වැඩි කලක් මෙලෙස ඔවුනට ලිපි හුවමාරු කර ගැනීමට නොහැකි විය. මුදලාලි ඊට හරස් විය. ඔහු විසින් එවන ලිපි දියණියට හමු වීම වැලක්වූ මුදලාලි තරුණිය ඔහුට යැවූ ලිපිද තම සබදතා සහ බල පුළුවන්කාරකම ප්‍රයෝජනයට ගෙන ඔහුට ලැබීම අවහිර කළේය.
මෙලෙස දෙදෙනා අතර ලිපි මගින් තිබු සබදතාවය පවා නැවත්වූ මුදලාලි කෙමෙන් කෙමෙන් තම දියණියගේ ඔලුවට විෂ බීජ ඇතුළු කිරීමට සමත් විය. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය. දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගත් පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය. මහත් කලකිරීමට සහ ඉච්චාභංගත්වයට පත්ව සිටි තරුනියද එම යෝජනාවට කැමැත්ත පල කළේය.

මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බලා යාමටද ඔහුට හැකියාවක් නොමැත. ඉතාමත් අසරණ වූ තරුණයාට කළහැකි එකම දේ සිතින් ඇයට සුභ පැතීම පමණි.

“අද හෙට ඔබ මා අතහැර යන බව – දැනගන්නට ලැබුනා – රහසින් මට ඇසුණා
ඔබ රවටා නැත- ඔබ හඩවා නැත – දැන දැන මා නම් වැරදි කරේ නැත – ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි…”
“ඉවුරු තලා ගංගා බැස යනවා – මහද සලා ඔබ ඈතට යනවා…”
“දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණ ගැසෙනා
කඳුලක් තියේවි මා ළඟ ඒ දිනේ ඔබේ නමින් දරනා…”
“ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා – යලි ඔබ සවනේ නොරැදී නොගැටී – සුළගේ මිලින වුනාවේ…”

ඉන් ටික කලකට පසු මෙම තරුණයා ලංකාවට එනවා. නමුත් ඒ වෙනකොට තරුණිය වෙනත් අයෙකු සමග විවාහ වෙලා. දිනක් දෙදෙනා අහම්බෙන් හමු වෙලා කතා කරන කොට තමා දැන ගන්නේ මුදලාලි මේ දෙන්නව මුලාවට පත් කරලා කියලා. ඒත් එතකොට දෙන්නම පරක්කුයි. තරුණිය විවාහ වෙලා.

“අවසර නැත මට ඔබේ අත ගන්නට – බැමි බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම – මම ඔබ හිමිකර ගනිමි ලදේ…”
“අන්සතු වී ඇත- මා සතු ඒ සිත – ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත – හැම මොහොතකදීම – මා ලගමය රැදුනේ…”
පසුව මේ තරුණයා අපේ රටේ ඉතා ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවා. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා. ඔහුගේ සෑම ගීතයකම පාහේ මෙම ජීවිත අත්දැකීම සුන්දර ලෙස විරහවත් සමග සටහන් වෙනවා.

අවසානයේ මේ සුන්දර ගායකයා අසනීප වී මිය යනවා. එසේ මිය යන්නෙත් අපුරු සිදුවීමක් සමගින්.
ඔහු මිය යන්නේ තමා පන මෙන් ආදරය කල එහෙත් තමන්ට හිමි කර ගැනීමට නොහැකි වූ තම පෙම්වතියට අයත් “නවලෝක” රෝහලේ කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීමයි….

මෙම තරුණයා තමයි අග්‍රගණ්‍ය ගායක “මිල්ටන් මල්ලවආරච්චි” තරුණිය නවලෝක මුදලාලිගේ දියණියයි.

supunsudaraka.blogspot.com

අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක්



ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇත.

මීට පෙරද ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ පසුගිය මාර්තුමස 7 වනදා ඉදිරිපත් කර අනුමත කරවා ගන්නා ලදී.

ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට බඩල් කැබ් රථ 25 ක්‌ සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයක්‌ සඳහා බදු කුලී වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හය කෝටි විසි දෙලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ ඉල්ලා ද එදිනම පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තුන බවත් සඳහන්.

ලෝකෙට ගෙවන්න අච්චරක, මෙච්චරක ණය තිබෙනවා යැයි වේදිකාවල මොර දෙමින් මෙවැනි ඉතාමත් අසාධාරණ ක්‍රියා සිදුකරමින් මේ යහපාලන ආණ්ඩුව ගමන් කරන්නේ තවත් ඉතිහාසයේ පැවති දුර්වලතම ආණ්ඩුවක් බවට පසක්කරමින් බවනම් ඉඳුරාම කිව හැක.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 146 ක ජයක්

ඉන්දීය ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ  දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් ලකුණු 146ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (06) සමත් වුයේය.

තරඟයේ කාසියේ වාසිය දිනු දිල්ලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවි ලකුණු 212ක් ලබාගැනීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් ලින්ඩ්ල් සිමන් ලකුණු 66ක් සහ කිරන් පොලාඩ් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට පන්දුවාර 13යි පන්දු 4ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 66ක් පමණයි.

හර්බජන් සිං සහ ඛාන් ශර්මා කඩුලු තුන බැගින් දවාගත් අතර ලසිත් මාලිංග ලකුණු 5කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

පළමු වසරට අදාළ ආදි සිසු කෝටාව සියයට 20ක් දක්වා අඩු කෙරේ?

පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේදී ආදි සිසුන්ට හිමි කෝටාව 20%ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය මේ වන විට සංශෝධනය කරමින් පවතියි.

එහිදී ආදි සිසුන්ට පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව තිබූ කෝටාව ස25% සිට 20% දක්වා අඩු කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

එම අඩු කරන ප්‍රතිශතය පදිංචි පදනමට එකතු කිරීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී පදිංචිය අනුව ලබාදෙන 50%ක කෝටාව 55%ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

එසේම ආදි සිසුන්ට 20% කෝටාව ලබාදීමේදී ඔවුන් පදිංචි දුර අනුව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්ද අනුගමනය කිරීමට අවධානය යොමුව තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තවමත් තීරණයක් ගෙන නොමැති බවද දැනගන්නට තිබේ.

වෙසක් සතිය අදින් ඇරඹේ – දන්සල්වලට චක්‍රලේඛයක්



එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සහ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් සතිය අද සිට ආරම්භ වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර පවසනවා.

ඔහු කියා සිටියේ මීට සමගාමීව වැඩසටහන් රාශියක් ද දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අද සිට ලබන 13 වනදා දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වට්ටාරම විහාරස්ථානය මුල් කරගෙන පැවැත්වෙන බවයි.

වෙසක් දන්සල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් සම්බන්ධව චක්‍රලේඛයක්ද නිකුත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර ප්‍රකාශ කළා.

එහිදී ඔහු සදහන් කළේ දන්සල් සදහා බැතිමතුන් ගෙන්වා ගැනීමට බෞද්ධ ධජය වෙනුවට කහ පැහැති කොඩියක් භාවිතා කරන ලෙසයි.

අධික උණුසම නිසා ජල ඉල්ලූම තවත් ඉහළට



පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල ඉල්ලූම සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කේ.ඒ අන්සාර් පැවසුවේ මේ නිසා ඇතැම් ප‍්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලබා දීමට සිදුව ඇති බවයි.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කරන්නැයිද ඉල්ලීමක් කෙරුණා.