07 May 2017

ප්‍රංශයේ මීළඟ ජනපති තොරණ ඡන්දය අදයි



ප්‍රංශ ජනාධිපතිවරණය අද (07දා) ආරම්භ වන අතර මෙවර ජනාධිපතිවරණයේ වඩාත් බලාපොරොත්තු සහගත අපේක්ෂකයා ලෙස එමානුවෙල් මැක්‍රෝන් සැලකෙයි.

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පසු අද පැවැත්වෙන දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූවන් දෙදෙනෙකි. ඒ, අනුව, මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග බිමේ සිටිති.

කෙසේ වෙතත්, මැතිවරණයට දින දෙකක් තිබියදී මැක්‍රෝන්ගේ ඡන්ද ව්‍යාපාරයේ රහසිගත ලිපිගොනු රැසක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරමින්, ඒ ලිපිගොනු සමග ව්‍යාජ ලිපිගොනුද කලවම් කර සිය අපේක්ෂකයාගේ ජනප්‍රියත්වයට හානියක් සිදුකිරීමට හැකර්වරුන් කටයුතු කර ඇති බවට චෝදනාවක් නැගුණි.

කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසන් වනතුරු මෙම අපේක්ෂකයන් දෙදෙනාටම බලපැවැත්වෙන මැතිවරණ නීති සමුදායක් පවතින නිසා මැක්‍රෝන්ට මාධ්‍ය ඔස්සේ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කිරීමේ අවසරයක් නොමැත.

පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව මැක්‍රෝන්, ප්‍රතිවාදී අපේක්ෂිකා ල-පෙන්ට වඩා 20%ක් පමණ ඉදිරියෙන් සිටින බව පැවසෙයි.

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන එම්මානුවෙල් මැක්‍රෝන් තරග වදින්නේ යුරෝපා සංගමයේ න්‍යාය පත්‍රයට හිතවාදී ලිබරල් මතවාදයට නැඹුරු 'එන් මාර්ෂ්' නමැති තමන්ගේම පක්ෂයකිනි.

ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන මරීන් ල-පෙන්ගේ ජාතික පෙරමුණේ මතය වී ඇත්තේ යුරෝපය සමග ප්‍රංශය සතු සබඳතා වෙනසකට ලක්කළ යුතු බවය.

සංක්‍රමණිකයන් සහ නිදහස් වෙළෙඳාම සම්බන්ධයෙන්ද ඇය සිටින්නේ දැඩි ස්ථාවරයකය.

මෙවර ජනාධිපතිවරණයේදී මෑත කාලයේදී ප්‍රංශයට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ අන්තවාදී ප්‍රහාරයන්ද වඩාත් ප්‍රබල සාධකයන් වනු ඇති අතර, එයද ඡන්ද ප්‍රතිඵලවලට බලපෑමක් කරනු ඇති බව කියැවෙයි.

No comments:

Post a Comment