07 May 2017

ගෝල්ෆේස් එකට අාවෙ බත් පැකට් එකට වැඩකරන හාදයෝ..!



ඔබවත් යොදාගෙන ආණ්ඩුවෙන් හදන්න යන මේ බලකාය මොකක්ද?
ඉස්සෙල්ල කියන්න ඕන මේක බලකායක් නෙවෙයි. දේශපාලන අරමුණු ඇතිව වෘත්තිය සමිති හරි වෙනත් සංවිධාන හරි රටේ අත්‍යවශ්‍ය සේවා අඩාල කරනවා නම් එතකොට ඔය ඒකාබද්ධ මළබද්දය කියලා තියෙන්නේ අන්න එයාලා මේ රටේ ජනජීවිතය අඩාල කරනවා නම් ඇත්තටම එයාලා හදන්නේ මේ රට ගැන සමාජයට ලෝකයට වැරදි චිත්‍රයක් මවන්න. එහෙම දේවල් වෙනකොට අපිට මේ ප්‍රශ්න විසඳන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් රාජපක්ෂ ක්‍රමය. ඒ කියන්නේ ගහනවා, වෙඩි තියනවා, උස්සනවා, තර්ජනය කරනවා වගේ වැඩ. දෙවැනි ක්‍රමය තමයි සාකච්ඡා ක්‍රමය, ඒ කියන්නේ ඇමැතිවරු සමඟ එකතු වෙලා සාකච්ඡා කරන එක. තුන්වැනි ක්‍රමය තමයි උද්ඝෝෂණ සහ වැඩවර්ජන වලට මුහුණ දීම, අන්න ඔය කියන දෙවන සහ තුන්වන ක්‍රමවේද වලට මුහුණ දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් හදන එක ගැන තමයි අපි කතා කළේ.

ඒ යාන්ත්‍රණය ගොඩනැගෙන්නේ කොහොමද?
එතැනදී ඒ යාන්ත්‍රණය ඇමැතිවරු ලේකම්වරැ ත්‍රිවිධ හමුදාපතිවරු වගේ අය එකතුවෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන එක තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් බලන්න බවුසර් ඩ්‍රයිවර්ලා වැඩවර්ජනය කරනවා. එතකොට අපිට පුළුවන් යුද හමුදාවේ රියදුරන් දාලා ප්‍රශ්නයට මුහුණ දෙන්න. එහෙම නැතුව රාජපක්ෂලා වගේ වෙඩි තියන්න නෙවෙයි. ඒ වගේම තමයි යම් කණ්ඩායමක් රාජ්‍ය දේපළ විනාශ කරලා, හමුදාවට පහරදෙනවා නම් යුධ හමුදාවට හැකියාවක් තියෙනවා ඒවා නවත්වන්න. ඒකට ඔවුන්ට බලය තියෙනවා ඔන්න ඔය කාරණාවලට මුහුණ දෙන්න තමයි අපි මේ ගැන කතා කළේ.

ඒ කියන්නේ මේක හදන්නේ යුද හමුදාව යොදවලද?
රටේ අත්‍යවශ්‍ය සේවා රැකගන්න යුද හමුදාවටත්, පොලිසියටත් වගකීමක් පැවරෙනවා. අනිවාර්යෙන්ම පොලීසිය ඉන්න ඕන. මොකද මේක යුද්ධයක් නෙමෙයිනේ. ඒ විතරක් නෙවෙයි නීති ක්ෂේත්‍රෙය කට්ටියත් ඕන. මේ කරන්නේ ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා කරන්න.

හමුදාව පාලනය කළ මට රටේ විනය හදන එක මොකක්ද?
මේ යෝජනාවේදී සරත් ෆොන්සේකාගේ නම එන්නේ කොහොමද?
ජනාධිපතිතුමා හිතන්න ඇති යුද හමුදාව මෙහෙයවලා පළපුරුද්ද තියෙනවා. නීතිය ගැන අවබෝධයක් තියෙනවා. විනය පවත්වා ගැනීම ගැනත් මේ කතාවේදී ජනාධිපතිතුමාට කියවුණා. ඒ නිසා විනය පවත්වා ගැනීමේදී ඒ අයට මා ගැන යම් විශ්වාසයක් තියෙනවා. මොකද මම විනයගරුක නිලධාරියෙක් හැටියට වසර 40ක් සේවය කළා. එවැනි මත නිසා ජනාධිපතිතුමාට මාව මතක් වෙන්න ඇත.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් චෝදනා කරන්නේ නම් මේ ජනතා හඬ මර්දන වැඩපිළිවෙළක් කියලා?
ඒක තමා මම මුලදි විස්තර කළේ. ඒ තමයි අපි දන්න ඇත්ත තත්ත්වේ. එක එක්කෙනාට විවිධ කතා මවන්න පුළුවන්. ජනතාව නොමඟ යවන්න පුළුවන් බයකරන්න. ඔය ඒ අය කියන්නේ රාජපක්ෂ ක්‍රමය. අපි එතනට යන්නේ නෑ.

ඔබ ඔය ගැන ඔහොම හිතුවත් එස්.බී. අමාත්‍යවරයා නම් කිව්වේ මේක මේ විහිළුවට කිව්ව කතාවක් කියලා?
එතුමගේ දේශපාලන ජීවිතයත් බොහොම විහිළුවෙන් තහළුවෙන් පිරිච්ච ජීවිතයක්නේ. ඒ නිසා හැමදේම විහිළු කියලා හිතනවා ඇති. මේක විහිළුවක් වෙන්නේ කොහොමද රටේ වගකිවයුතු රජයක් හැටියට අපිට දැනිලා තියෙනවා. මේක වැදගත් අවධානය යොමු කළ යුතු වැඩක් කියලා. ඒ නිසා එතුමට මේක විහිළුවක් හැටියට පේනවා ඇති. ගැඹුරින් යමක් බලන්න බැරි අයට මේක විහිළුවක් හැටියට පේනවා ඇති.

ඔබ මේ තනතුර බාරගනිද්දී දේශපාලනයෙන් ඉවත් වෙනවද?
නෑ.. එහෙම අයින් වෙලා බාරගන්න ඕන දෙයක් නෙවෙයි මේක. ඇමැති කෙනෙකුට මෙහෙයවන්න පුළුවන් වගකීමක්. ඒක ජනාධිපතිතුමා තීරණය කරයි මොනවගේ යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. ඒ වගේම ඒකට මාව ගාව ගන්නේ කොහොමද කියලා එතුමා හිතයි.

කකුල් දෙකෙන් එල්ලන්න ඕන කියලයි මම කීවෙ
මේ උද්ඝෝෂණ විසඳන්න පුළුවන් රේඛීය අමාත්‍යංශ තියෙනවා. ඒත් මේ ක්‍රමවේදේ භාවිතා කිරීම මඟින් ඒ අමාත්‍යවරුන්ගේ බලතලවලට හානියක් වෙන්න පුළුවන් නේද?
නෑ යම් දෙයක් වෙනකොට කඩාකප්පල් වෙනකොට ඒක විසඳගන්න ඒ අමාත්‍යවරුන්ට සම්පත් නෑනේ. එතකොට බාහිර සහාය ලබාගන්න වෙනවා. කොහොමත් එහෙම විසඳන්න පුළුවන් ඒවා තියෙනවා නම් අමාත්‍යවරු ඒවා විසඳයි.

ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම පිහිටුවනවද?
ඔව්. පිහිටුවනවා කියන අදහසේ තමයි ජනාධිපතිතුමා පස්සේ දවසක හමුවුණාමත් කතා වුණේ. ඒ මතය වෙනස් කරා, වෙනස් කරන්න ඕන කියන මතයේ කවුරුත් නෑ. ඒක කරන්න ඕන කියන තැන තමයි හැමෝම ඉන්නේ.

මෙච්චර තීන්දුවක් ඇයි මේ කැබිනෙට්ටුවෙන් එළියට එනකොට විහිළුවක් වෙන්නේ. කැබිනෙට්ටුවේ තීන්දු විහිළුද?
ඔව්. එහෙම කරන එක වැරදියි.

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා නම් කියන්නේ ඔබ මේක ඇන ගනී කියලා?
ඔහු කැබිනට් මණ්ඩලයේ නෑ. එයා ප්‍රධාන පක්ෂයක මාධ්‍ය ප්‍රකාශක. එයාව දැක්කමත් මට හිනා යනවා. එයා කියලා තියෙනවා යුද හමුදා නිලධාරින් යන යන තැන ඇන ගන්නවා කියලා. ඒත් ඒ අමාත්‍යවරයා දන්නේ නෑ මේ රටේ ජනතාව නිදහසෙන් ඉන්නේ හමුදාව නිසා කියලා. එවැනි හමුදාවක නිලධාරින්ට අපහාස කරන්න ඒ පුද්ගලයා කරපු දෙයක් නෑ. එවැනි අවලාද කතා කියන අය දේශපාලනයේ ඉන්න එක ප්‍රශ්නයක් තමයි.

රාජපක්ෂලාට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරිවීම දුර්වලකමක්
ඔබව දන්නා හඳුනන ජනතා විමුක්ති පෙරමුණත් කියන්නේ මේක ඔබට දීමෙන් මිලිටරිකරණයක් ඇති කරන්න යන්නේ කියලා?
මට ජේ.වී.පී. එකත් බාර දුන්නනේ එක පාරක්. මාව නායකයා හැටියට පිළිගත්තනේ. එක මැතිවරණයකදී. එතකොට ජේ.වී.පී. එක මිලිටරි කරන්නද මට නායකත්වය දුන්නේ. ඔය නායකයෝ ටික ඔක්කොම පාර්ලිමේන්තු ගියෙත් මගේ නායකත්වයෙන් එදා. මම එයාලට ගෞරව කළා. කෙළින් කතා කරන අය හැටියට. හැබැයි මෙවැනි දේවල් කියනකොට අනෙක් දේශපාලන පක්ෂ සමඟ වෙනසක් නෑනේ ඒ අය. ඔයිට වඩා වගකීම් සහගත වෙන්න ඕන.

එජාපයේ ඉහළ තනතුරක් දෙන්න යනවා ඔබට. ඒත් එජාපයේ ජ්‍යෙෂ්ඨයෝ කැමති නෑ ඒකට. ඇයි මේ?
මට උපනායක තනතුරක් දෙන්න තමයි යෝජනාවක් ඇවිත් තියෙන්නේ. මම විතරක් නෙවෙයි තව ජ්‍යෙෂ්ඨයෝ කීපදෙනෙක් ඉන්නවා. එතැනදී එක එක අසහනයෙන් ජීවත්වෙන දේශපාලනඥයෝ ඉන්නවානේ. එවැනි අය විරුද්ධ වෙලා තියෙනවා. මම දන්නවා විරුද්ධ වෙච්ච වග. මට ඒක අදාළ නෑ. පක්ෂ නායකතුමා පක්ෂය ගැන හිතලා ගන්න තීන්දු තීරණයක්නේ.

ඇත්තද විජේදාස රාජපක්ෂ මහත්තයා ඔබට ඒ තනතුර දුන්නොත් පක්ෂයෙනුත් අමාත්‍යකමිනුත් ඉවත් වෙන්න තීරණය කළා කියන්නේ?
කොතනදිද එෙහම ප්‍රකාශයක් කරලා තියෙන්නේ කියලා මම දන්නේ නෑ. මම මන්ත්‍රීකමක් කරලා ඇමතිධූරයක් දරනවා කිව්වමත් එයා එවැනි ප්‍රකාශයක් කළා. නමුත් නායකතුමා ඒවා ගණන් ගත්තේ නෑ. ඒ වෙලාවෙදි කිව්වා එතුමාට ඔබතුමාගේ දේශපාලන ගමන ගැන ඔබතුමා තීරණයක් ගන්න කියලා. එහෙම කියලා තියෙනවා නම් මේ පාරත් ඒ උත්තරයම දේවී.

ජවිපෙ නායකයෝ එදා මට නායකත්වය දුන්නේ ජේ.වී.පී. එක මිලිටරි කරන්නද?
ඔබ මැයි 1 වැනිදා කැම්බල් පිටියේදී කිව්වා මහින්ද රාජපක්ෂව සාටකයෙන් එල්ලන්න ඕන පණයනකල් කියලා. ඇයි එහෙම කිව්වේ?
පණ යනකන් කිව්වේ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මම කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා.

නමුත් ඔබ හුස්ම යනකන් කියන වචන භාවිත කරනවා වීඩීයෝවල තියෙනවා?
නෑ… නෑ… හුස්ම යනකන් කිව්වේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කිව්වේ.

මොකක්ද මේ රාජපක්ෂලා එක්ක තියෙන ඉවරයක් වෙන්නේ නැති වෛරය?
එයා කරපු වැඩ, ප්‍රකාශ දැන් කරන ඒවා අනුව මට හිතෙනවා ඔහු අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙක්. එල්.ටී.ටී.ඊට මිලියන ගණන් දුන්නා. එයාගේ මල්ලි බැසිල් රාජපක්ෂ මට කිව්වේ. විදෙස් රටකින් හම්බුණ ඩොලර් මිලියන 02ක් එහෙමම ප්‍රභාකරන්ට දුන්නා කියලා දෙමළ ජනතාවගේ ඡන්ද දාන්න කියලා. ඒවා අනිවාර්යෙන් දැඩි දඬුවම් දියයුතු වරදවල්. කකුල් දෙකෙන් එල්ලලා තියෙනවා කියන එක නීති පොතේ නෑනේ. ඒවා තියෙන්නේ සිංහල රජකාලේ නීති. මම විශ්වාස කරනවා සිංහල රජ දවසේ දඬුවම් තමයි ලැබිය යුත්තේ කියලා. සමහර අය කියන්න් මඩුවලිගෙන් තලන්න ඕන කියලා. පුවක් ගහේ බඳින්න ඕන කියනවා.

එස්.බී.ගෙ ඉතිහාසෙ රටම දන්නවා
ඔය කියන චෝදනා එකක්වත් තවම ඔප්පු කරලා නෑනෙ?
ඒක ගැන ඔබත් එක්ක මම එකඟ වෙනවා. ආණ්ඩුව එතනදී දුර්වලතාවයක් පෙන්නලා තියෙනවා. අපි පොරොන්දුවකුත් දුන්නා. යහපාලනය කියලා පොඩි වෙනස්කම් කිහිපයක් කළා. ඒකෙන් වුණේ රාජපක්ෂලා නීති ක්ෂේත්‍රයට ඇතුළු කළ නිලධාරින් තවම ඒ ක්ෂේත්‍රවල රැඳී ඉන්නවා. එවැනි බාධක ගොඩක් දැන් තියෙනවා. කොහොම වුණත් අපි ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ඨ නොකළොත් රජයක් හැටියට ඒ වගකීම බාරගන්න වෙනවා. එතනදී ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ජනතාව අත දික් කරයි. අපි ඒ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරලත් තියෙනවා. ඒ නිසා අපි ඒ පොරොන්දුව ඉෂ්ඨ කළ යුතුයි.

ඔබ ආණ්ඩුවේ අයෙක් හැටියට ඒ පොරොන්දු ඉෂ්ඨ කරගන්න බාධාවක් වුණේ කොතැන කියලද හිතන්නේ?
ඉස්සෙල්ලා කිව්වා වගේ යාන්ත්‍රණයේ ප්‍රශ්නයක් තියෙන්නේ. අපි අධිකරණයට අත ගහන්නේ නෑ කියලා ස්වාධීන කොමිෂන් පත්කළා. ඒ අයට නිදහසක් ආවා. ඒ නිසා මේ වැඩකරගන්න බාධාවක් වුණා. මම හොඳටම දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ ඉන්න කිහිප දෙනෙක් මහින්ද රාජපක්ෂලා එක්ක තවම ගනුදෙනු කරන වග. පොලිසියෙත් ඇති. රාජපක්ෂලා අධිකරණ ක්ෂේත්‍රයට ගෙනත් දාපු අය තවම ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ ඔබලා ඔක්කොම එකතුවෙලා ඩීල් දාලා රඟපෑමක් කරන්නේ කියලා?
මම හිතන්නේ නෑ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඩීල් දාගෙන ඉන්නවා කියලා. හැබැයි ඩීල් දාගෙන ඉන්න අයත් ඉන්නවා ආණ්ඩුවේ.

කවුද කියලා කියන්න පුළුවන්ද?
බෑ.. අපිත් එක්ක වෛරයෙන් ඉන්න අයත් ඉන්නවා.

එජාපයෙ සමහරු මට තනතුරු දෙනවට විරුද්ධ වෙලා
ආණ්ඩුවෙන් ගහන්න පුළුවන් හැමදේම දාලා රාජපක්ෂලාට ගැහුවත් මැයි දිනයේදී විශාල සෙනඟක් ගොල්ෆේස් එකට ආවා. තවම රාජපක්ෂලාව ජනතාව පිළිගන්නවා නේද?
ගෝල්ෆේස් එකේ වේදිකාව ගහලා තිබ්බේ විශාල ප්‍රදේශයක් අත ඇරලා. එතන කැම්බල් පාර්ක් එකවගේ හතර ගුණයක් ලොකුයි. වේදිකාවයි ඉස්සරහා තියෙන වැටයි ගත්තහම තවත් කැම්බල් පාර්ක් එක වගේ ප්‍රදේශයක් අත්ඇරලා එතනින් එහාට ගොල්ෆේස් එකේ තනි තීරුවක්නේ තියෙන්නේ. ඒකේ 50,000ක් විතර හිටියා. ඒක පිළිගන්නවා. පනස්දහසක් ගේන්න බැරි නෑ. එගොල්ලන්ගේ බඩගෝස්තරවාදී පළාත් සභා පළාත් පාලන මට්ටමේ අනෙක් දූෂිත බත්පැකට් එකට වැඩකරන පිරිසක් ඉන්නවා. ඒ නිසයි ඔය පක්ෂ හදන්නේ. දැන් එයාලට තිබ්බ සුඛෝපභෝගි ජීවිත නැතිවෙච්ච නිසයි මේ. ඒ නිසා අපි රාජපක්ෂ ප්‍රබලයෙක් කියලා හිතන්නේ නෑ.

එස්.බී. ඇමැතිවරයා කිව්වේ ඔබයි රාජිත අමාත්‍යවරයයි කියන ප්‍රකාශ නිසා මිනිස්සු ගෝල්ෆේස් ගියේ කියලා?
එස්.බී. දිසානායක කියන පුද්ගලයා එහෙම කිව්වා නම් ඔහුට ප්‍රශ්නයක් තියෙනවා. කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කවුරු අහන්න කැමති දේවල්ද කියන්නේ කියලා සැකයක් තියෙනවා. එයා අමුතු චරිතයක්. එයාගේ ඉතිහාසය රටේ අය දන්නවා. එහෙම කියනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. වෙස් මුහුණු බැඳන් නැටුවට කවදා හරි ගලවන්න වෙනවා.

ඇයි මේ ආණ්ඩුවට තවම ආර්ථික ගැටලුව විසඳන්න බැරි?
කවද්ද ආර්ථික ගැටලුවක් නැති වුණේ කියන්න. දැන් බලන්න කුණුගොඩ. ඔය ප්‍රශ්න තිබ්බේ නැද්ද රාජපක්ෂ කාලේ. සයිටම් ගැටලුව ඇතිකරේ කවුද? දැන් ඔය සයිටම් එකට බැන්නා. වරාය ගැටලු, මත්තල ගැටලුව ඇතිකළේ රාජපක්ෂලා. අපි දැන් ඒ දේවල්වලට විසඳුම් සොයගෙන යනවා. ඔය ආර්ථික ගැටලුවත් එහෙමයි. රාජපක්ෂලා කලින් ඡන්දය තිබ්බේ එයා දැනගත්තා තවත් යන්න බෑ කියලා.

දැන් අවුරුදු දෙකක් ගිහිල්ලත් ඔය ගැන චෝදනා කරන එක සාධාරණ නෑ නේද?
චෝදනා කරන්නේ අපි නෙමෙයිනේ. චෝදනා කරන්නේ ඒ අය. එතකොට අපිට උත්තර දෙන්න වෙනවා. ජනතාව නොමඟ යවන්න හදනකොට ජනතාවට පැහැදිලි කරන්න වෙනවා. අපිට චෝදනා කරන්න අවශ්‍ය නෑ. ඒත් අපි අතීතය මතක් කරලා දෙන්න ඕන.

ගයාන් ගාල්ලගේ
සේයාරුව ල් සුමුදු හේවාපතිරණ

No comments:

Post a Comment