11 May 2017

පාර්ලිමේන්තුව තුළ තම දරුවාට මව්කිරි දීමෙන් ඉතිහාසගත වූ අම්මා



ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී තම දරුවාට මව්කිරි දුන් පළමු මන්ත්‍රීවරිය ලෙස සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඉතිහාසගතව තිබේ.

මාස දෙකක් වයසැති තම දියණියට, ඇය මව්කිරි පොවමින් සිටියේ පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුවෙමින් පැවති අවස්ථාවකදී යි. සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඕස්ට්‍රේලියාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන හරිත පක්‍ෂය නියෝජනය කරන්නියක් වේ.

පසුගිය වසරේ පටන්, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ තම දරුවන්ට මව්කිරි දීම සඳහා ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරියන්ට නීතියෙන් අවසර ලැබී තිබුනත් මේ දක්වා කිසිවෙකු එය ක්‍රියාවට නංවා තිබුනේ නැහැ. ඒ සඳහා නව නීති සම්පාදනය වූයේ 2015 වසරේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමකින් අනතුරුවයි.

ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ අමාත්‍යවරියක වූ කෙලි ඕ ඩිවයර් 2015 වසරේදී මවක් වූ අතර තම බිළිඳාට මවුකිරී දීමට සිදුවීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමට නොහැකි විය.

ඒ අනුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සිටින මවුවරුන් වන මන්ත්‍රීවරියන්ට තම බිළිඳන්ට මව්කිරි හෝ ආහාර දීම අනුමත කරමින් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව පසුගිය වසරේදී නව පනතක් සම්මත කරගත්තා.

තෝර තෝරා පසාරු කළ වෙඩි උණ්ඩයේ නියම වැරදිකරුවන් කොහිද ? (වැලිකඩ ඝාතනය ගැන පසුවිපරමක්)



2012 වසරේ නොවැම්බර් 9,10  යන දෙදින දින වැලිකඩ බන්ධනාගාරය උදාවූ මූසල රාත්‍රිය ගැන විටින් විට කතා විය. නමුත් තාමත් මේවාට යුක්තියක් ඉටු වුණාද යන්න අදටද ගැටළුවකි.

ගෙවී ගිය කාලයේදී මෙවන් මූසල සංධිස්ථාන බොහෝය. කිසිවෙකු එදා නිකරුණේ මිය ගියේ නැත. එදා එකිනෙකා තෝර තෝරා මැරුවේය. එය ගැටලුවකි. සිදුවීම වූ දින මධ්‍යම රාත්‍රියේදී කළු තුෂාර, කපිල, ලලිත් රෝහණ නොහොත් ගුණ්ඩු, මාලන්, අතපත්තු, අමිල, සුසන්ත, මංජු ශ්‍රී යන පිරිස් තෝරා බේරාගෙන වෙඩි තැබූ බවට නන්දිමාල් එදා සිටම මෙම නඩුවට සාක්කි සටහන් කරමින් පැවසීය.

"එදා රෑ 12 පස්සේ පාන්දර 4 ට වගේ කවුද කළු තුෂාර කියාගෙන ආවේ. තුෂාර මගේ ලඟ නිදාගෙන හිටියේ. එ්ත් කවුරුත් කිවුවේ නැහැ. බන්ධනාගර රාළහාමි කෙනෙක් පස්සේ උබලටත් මේක ප්‍රශ්නයක් වෙයි ඒ නිසා කියනවා කියලා එයා තුෂාරව පෙන්නුවා. අනේ මාව මරන්න එපා සර්  කියද්දී තුෂාරට පයින් ගහලා කර්මාන්ත ශාලා කාර්යාලය පැත්තට ඇදගෙන යනවා මන් බලාගෙන හිටියේ. මට පෙනුනා එතන මුල්ලේ ඔහුව දණ ගස්සලා ඔහුට වෙඩි තියෙනවා. මංජු ශ්‍රී පිළිබඳව ද එසේ එදා අහගෙන එන්නේය. ඒ 'කවුද කෝට්ටේ හාමුදුරුවන්ව මරපු එකා' කියාය. නන්දිමාල් සිල්වාගේ දැකීම ඒසේය.

2008 දී මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ගෙන සිදු කළේය. "දවල් 12 ට ආමි එකෙන් සැකකරුවන් ඉන්න මැදිරියට ඇවිල්ලා ගැහුවා. ඊට පස්සේ දීර්ඝකාලින සිරකරුවන් ඉන්න මැදිරියට ගියාම අපිට ඇහුනා මෙන්න අපිව මරනවෝ කියලා කෑ ගහනවා. එදා මෙම සිදුවීමේ එම කතාවේ ආරම්භය සිදුවූ අයුරු නන්දිමාල් තම මතකය අවදි කරමින් එකේ කියාගෙන ගියේ තවත් තොරතුරු සමගිනි.

පසුදා පාන්දර වනවිට 27 දෙනෙකු මිය ගියේය. හිත්පිත් නොවූ දේශපාලනඥයන්ගේ ඉලක්කයට කොකා ගස්සන්නට තරම් බලයට වැනුණු නීතියට සාධාරණයක් කර එකී වැරදිකරුවන්ට දඩුවම් දෙන්නැයි අදටත් මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන් මොර දෙති. ඊට විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පසුගිය මාසයේදී රිට් පෙත්සමක් මෙම සිද්ධියේ ඇසින් දුටු එකම සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් සිල්වා විසින් ගොනු කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වග උත්තරකරුවන් කර ලෙස නම් කෙරූ බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නිතිඥ සේනක පෙරේරා පවසයි. ඒ අනුව මෙම ඝාතන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ. සිරකුටියේ පිස්සු හැදුණු බල්ලෝ බළලුන් සිටියේ නැත. එදා එලෙස සිටියවුන් සුදු චරිත බව අපි නොකියමු. උත්තරීතර අධිකරණයේ තීන්දුවලට අප හිස නම ආචාර කරන්නෙමු. නමුත් අපරාධකරුවන් ශෝධනය කරන බන්ධනාගාරය තුළ සිදුවූ මෙම සිදුවීමෙන් අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් නියතයෙන්ම අවශ්‍යය. ඒ නිදැල්ලේ සිටින අපරාධකරුවන් අල්ලා ගත යුතු නිසාය.  

සිද්ධිය සම්බන්ධව සොයා බැලීම සඳහා යහපාලන රජය විසින් පත් කරන ලද විමර්ශන කමිටු වාර්තාව විශ්‍රාම ලත් විනිසුරු නිමල් නම්බුවසම් මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපිටදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජුනි මාසයේදී වන අතර එය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත. මේ පිලිබඳව අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ පසුගිය රජය සමයේ සිදුකළ කමිටු වාර්තාවන්ගෙන් ගත යුතු හරයක් නොමැති නිසා ඔහු විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයකු සහිත ත්‍රිපුද්ගල කමිටුවක් මේ සඳහා පත්කළ බවය. එම වාර්තාවට අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමට පොලිස්පතිට දන්වා යවා ඇති බවත් ඒ පිලිබඳව සිහි කැඳවීමක්ද ඔහුට කර ඇති බව ද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම සිදුවීමේදී සැඟවීමට කිසිදු කරුණක් නොමැති බව පවසන අධිකරණ ඇමති මෙම වාර්තා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉරිදිපත් කරන බවත් මෙහි ඉදිරි වැඩ කටයුතු ඇමති ස්වාමිනාදන් මහතා සිදු කරන බවද වැඩි දුරටත් කීවේය. මෙම සිදුවීමෙන් මිය ගිය පිරිසට වන්දි ලබාදීමට තීරණය වූ අතර එලෙස වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කරමින් එයට කැබිනට් අනුමැතියද ලැබිණි. අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසු ආකාරයට එම වාර්තා අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාට යොමුකර ඇත. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා මියගිය පුද්ගලයන් 16 කට රුපියල් මිලියන දෙක බැගින් සහ තුවාල ලැබූ සිරකරුවන් සහ බන්ධනාගාර නිළධාරියාට ලක්ෂ 5 බැගින් වන්දි ලබාදීමට තීරණය කළේය. වන්දි ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් ප්‍රකාශ කරන්නේ එම මිය ගිය පිරිස් සම්බන්ධයෙන් බොහොමයක් දෙනා ලබා දී ඇති ලිපිනයන් වැරදි බවත් වන්දිලාභීන්ගේ නිවැරදි තොරතුරු සෙවීම් මේ දිනවලද නිලධාරීන් සිදු කරන බවත්ය. ඒ අනුව භාරකරුවන් තහවුරු කර ගැනීමටද සිදුවී ඇත්තේ ඔවුන්ගේ නිවැරදි දත්ත නොමැති නිසාය. මේ හේතුව නිසා වන්දි ලබා දීම මෙලෙස ප්‍රමාද වී තිබේ. පුද්ගලයන්ගේ සත්‍ය තොරතුරු තහවුරු වූ විගස අදාල භාරකරුවන්ට හෝ ලඟම ඥාතියෙකුට  අදාල වන්දි ලබාදීමට රජය සුදානම්ය. 

මෙම සිදුවීමේදී මියගියවුන් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයන් සිංහල කොටි බව පවසමින් ප්‍රචාරයක් ගෙන යයි. සියල්ලට අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා මහතා අදහස් දක්වමින් , "කතා නම් කියනවා. මේකට අපි සාධාරණයක් හොයනකොට දැන් වෙලා තියෙන්නේ මේක දේශපාලන ගනුදෙනුවක්, දේශපාලන කෙවිටක් කර ගෙන තියෙන එක. ආරක්ෂක අංශ, නැත්නම් රට බේරා ගත් දේශප්‍රේමීන්ට දඬුවම් ලබා දෙන්න බැහැ කියලා කියනවා.  නිලධාරීන්ට අණ දුන් අය ඉන්නවනේ. වන්දි දුන්නා කියලා මේ නැතිවූ ජීවිතවලට වටිනාකම් දෙන්න පුලුවන්ද ? මානුෂිය ප්‍රේමනීය බැදීම්. අපේ රටේ  අපරාධකරුවෙක් නැත්නම් සිරගතවූවෙක් කිවුවම තියෙන්නේ එවන් මිනිසුන් ගැන සෘනාත්මක අදහසක්. භාන්ධනාගාරගතවූවන්, අපරාධ, සැකකරුවන් ගැන කතා කරන එකත් වැරද්දක් වගේ මේ සමාජේ දකින්නේ. අනිත් ප්‍රශ්නේ වින්දිතයන් ආරක්ෂා කර ගැනීම. එයට පනතක් පවා තිබ්බට  සාක්කි ලබා දෙන්නන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රමයක් නැහැ .සාක්කිකරුවන් තවම අවදානමේ ඉන්නේ."

ලංකා නිවුස් වෙබ් අප පතන්නේ සැමට සාධාරණ වූ සමාජයකි. සාධාරණ වාර්තාකරණයක් උදෙසා අප සියල්ලන්ගේම අදහස් මෙලෙස ඇතුලත් කළේ කියවන ඔබට ඒ හරහා සාධාරණ විනිශ්චයක් ලබා ගැනීමට හැකි වනු පිණිසය. උපතින් කිසිවකු අපරාධකරුවකු වන්නේ නැත. වැඩෙන සමාජ වටපිටාව ඔහු හෝ ඇය කවුරුන් බවට පත් කරනවාද යන්නට පෝෂණය සපයනේය. සිරකරුවෝද මනුශ්ෂයෝ නම් සාධාරණ පරීක්ෂණයක විනිශ්චයක් මේ සඳහා අවශ්‍යව ඇත.

අශ් වරු


ගවයන් සහ සුනඛයන් ඇල්ලීමේ තනතුරු සදහා – ඉංග‍්‍රීසි බසින්ම පුවත්පත් දැන්වීම් පළ කිරීම




කොළඹ මහ නගර සභා සීමාව තුළ ගවයන් සහ සුනඛයන් ඇල්ලීමේ තනතුරුවලට බඳවා ගැනීම පිළිබඳ රැකියා ඇබෑර්තු දැන්වීමක් කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් පසුගිය මැයි 08 වන දා ඬේලි නිව්ස් පුවත්පතේ පළ කර තිබීම නිසා සත්ත්ව ලෝලීන් සහ සත්ත්ව හිමිකම් ක‍්‍රියාධරයන් මහත් විස්මයටත් කම්පාවටත් පත් වී ඇත.

ලෝකයේ දියුණු රටවල සතුන්ගේ ජීවත් වීමේ අයිතිය මුල්කොට ගත් සත්ත්ව හිමිකම් තහවුරු වෙමින් පවතින යුගයක ගවයන් සහ සුනඛයන් ඇල්ලීම පිළිබඳ පුරප්පාඩු කොළඹ මහ නගර සභාව මගින් ඉංග‍්‍රීසි බසින්ම ප‍්‍රකාශයට පත් කිරීම ශ‍්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ගෙනදෙන කරුණකැයි ඔවුහු කියා සිටිති. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල මෙහි පැවැත්වෙන සමයක රජය මඟින් වෙසක් සතියක් ප‍්‍රකාශයට පත් කළ දිනට පසු දිනම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම මහ නගර සභාව විසින් සත්ත්ව හිංසනය සම්බන්ධ රැකියා ඇබෑර්තු මෙලෙස ඉංග‍්‍රීසි බසින් ප‍්‍රසිද්ධ කරවීම ශ‍්‍රී ලංකාව වැනි සත්ත්ව අවිහිංසාව ප‍්‍රමුඛත්වයෙහි ලා සලකන බුදු දහම පවතින රටක් වශයෙන් හිමි කරගෙන ඇති කීර්ති නාමය බලවත් සේ පළුදු කරවන්නකැයි යන්න බොහෝ දෙනෙකුගේ අදහසයි.

අ.පො.ස. (සා.පෙළ.) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනක දී විෂයයන් 2 කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6 ක් සමත් වීම සුදුසුකමක් සේ දක්වා ඇති මෙම ගවයන් සහ සුනඛයන් අල්ලන්නන්ගේ තනතුර සඳහා වන අයදුම්පත් මේ මස 25 ට පෙර යොමු කළ යුතු බව එම දැන්වීමේ සඳහන් කොට තිබේ.

අගනුවර ජීවත් වන සුනඛයන් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් සත්ත්ව සුබසාධන කමිටු සාමාජිකයන් පසුගිය 28 වන දා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමු වී මතු දැක්වෙන කරුණු 4 පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත.

1 කොළඹ මහ නගර සභා සීමාව තුළ සුනඛයන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම
2 සංශෝධිත සුනඛ ලියාපදිංචි පනතට කැබිනට් අනුමැතිය ලබා ගැනීම
3 කොළඹ නගරයේ නිවාස අහිමි සුනඛයන්ට රක්ෂාවරණ ස්ථානයක් සඳහා ඉඩමක් ලබා ගැනීම
4 දකුණු සහ වයඹ පළාත් සභා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට මාර්ගෝපදේශනය සැපයීම

මෙවන් පසුබිමක් යටතේ ලොව අබෞද්ධ රටවල් පවා මේ වන විට මුළුමනින් තහනම් කොට ඇති සත්ත්ව හිංසනය මුල්කොට ගත් දියුණු සමාජය පිළිකුළට ලක් කරන මෙම පැරණි වෘත්තිය නැවත ස්ථාපනය කිරීම සඳහා ඉංග‍්‍රීසි බසින්ම පුවත්පත් දැන්වීම් පළ කිරීමත් ගැඹුරින් විමසා බැලිය යුත්තක් බව සත්ත්ව වේදීහු කියති.

එමෙන්ම වෙසක් සමය තුළ කොළඹ මහ නගර සභාව විසින් මුල පුරන මෙම සත්ත්ව හිංසනයට මුළුමනින් විරුද්ධත්වය පළ කරන අතර වර්තමානයේ පවතින ජලභීතිකා රෝගය මර්දනය කිරීම සඳහා සත්ත්ව ඝාතනයෙන් තොර නවීන ලෝකයා පිළිගත් අවිහිංසාවාදී මානුෂික ක‍්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අදාල බලධාරින්ගේ අවධානය යොමුකරවීම මේ වෙසක් සමයේ මෙරට බෞද්ධයන් විසින් කළ යුතු ප‍්‍රමුඛතම කටයුත්තක් බව ද සත්ව ලෝලීහු සහ සත්ත්ව හිමිකම් ක‍්‍රියාධරයෝ පෙන්වා දෙති.

පහත දක්වා ඇත්තේ කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් පසුගිය මැයි 08 වන දා ඬේලි නිව්ස් පුවත්පතේ පළකල දැන්වීම



ඩෙංගු රෝගය භයානක මට්ටමකට හිස ඔසවයි

ඩෙංගු රෝගයේ කාණ්ඩ හතරෙන් දෙවැනි කාණ්ඩය මේ වසර මුල සිට සක්‍රිය වීම භයානක තත්ත්වයක් වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.

ඩෙංගු රෝගයේ කාණ්ඩ හතරෙන් 2016 අවසානය දක්වා සක්‍රිය වූයේ එක හා හතර යන කාණ්ඩ දෙක පමණක් බවත් මේ වනවිට එම කාණ්ඩ දෙකේ රෝගය වැලඳීම අඩුවී දෙවැනි කාණ්ඩය ක්‍රියාත්මක වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරසිංහ සඳහන් කරයි.

එය වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය බලධාරීනට වැළැක්වීමට නොහැකි තත්ත්වයක් යැයිද ඇය අවධාරණය කරයි.

වසංගත රෝග මර්දන ඒකකයේ සංඛ්‍යා ලේඛන අනුව ඉකුත් 08 වැනිදා වනවිට රට පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 43,530කි.

2009 සිට මේ වනතුරු පැවති රෝග කාණ්ඩ 1 හා 4ට හැඩගැසීමක් පැවැතියද 2වන කාණ්ඩයට එසේ නොවීම නිසා රෝගීන් වැඩිවන බවත් 1 කාණ්ඩයේ ඩෙංගු රෝගය වැලඳුණු අයකුට 2 කාණ්ඩය වැලඳුණහොත් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

ඩෙංගු 1 කාණ්ඩයේ රෝගීන් මියයෑම 80%ක්ද 4 කාණ්ඩයේ රෝගීන් 20%ක්ද මීට පෙර වාර්තා වූවත් දැන් රෝගීන්ගෙන් 90%ක්ම 2 කාණ්ඩයේ අය බවද වෛද්‍යවරිය ප්‍රකාශ කරයි.

ලෝක කාලගුණය ඉදිරි වසර 15දි ලොකු වෙනසකට ලක් වෙන බව හෙළි වෙයි



ඉදිරි වසර 15 ක කාලය තුළ එනම්, 2025 වනවිට මිහිතලයේ උණුසුම කාර්මිකකරණයට  පෙර පැවති උෂ්ණත්වයට වඩා සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 කින් ඉහළ යනු ඇති බව නව විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

එය පැරිස් කාලගුණ සම්මුතිය මගින් පෙන්වා දී ඇති අනතුරුදායක මට්ටමේ කාලගුණ වෙනසක් ලෙසයි සැළකෙන්නේ.

මෙම වාර්තාව ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් පැරිස් කාලගුණ සම්මුතිය සළකා බලමින් සිටින අවස්ථාවක නිකුත් කිරීමද විශේෂත්වයක්.

සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1.5 කින් උෂ්ණත්වය ඉහළ යාම ලෝකයේ සාමාන්‍ය කාලගුණය නැවතත් යථා තත්ත්වයට පත් නොවීමේ සළකුණක් ලෙස ද විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

වේදනා නාශක ඖෂධ හෘදයාබාධවලට හේතුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

ප්‍රතිපදාහ වේදනා නාශක ඉහළ මාත්‍රාවකින් ලබා ගැනීම හෘදයාබාද ඇති වීමට හේතුවක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිඛෙනවා.

මෙම වේදනා නාශක ලබා ගන්නා පළමු දින 30 ඇතුළත එම අවදානම වැඩි බවයි අනාවරණවී ඇත්තේ.
කෙසේ වෙතත් විද්‍යාඥයින් පවසන්නේ මෙම සොයා ගැනීම සියයට සියක් නිවැරදි නොවිය හැකි බවයි.

වේදනා නාශකවලට අමතරව තවත් සාධක ද මීට හේතුවිය හැකි බව ඔවුන් පවසනවා.

ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෙම අධයයන සිදු කර තිඛෙනවා. ඒ සදහා හාරලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසක් යොදා ගෙන ඇති බව සදහන්.

HIV ආසාදිතයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ නංවාගන්න පුළුවන්



මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV වෛරසය ආසාදිතයින්ට සාමාන්‍ය ආයු අපේක්ෂාව පවත්වාගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ HIV ආසාදිතයින් සඳහා සිදුකරන ප්‍රතිකාර වල දියුණුව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි.

ඒ අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් HIV ආසාදිතයින්ගේ ආයු අපේක්ෂාව, මීට පෙර පැවති තත්වයට වඩා වසර 10කින් පමණ ඉහළ නංවාගැනීමට හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

එහෙත් එන්නත් මාර්ගයෙන් ඖෂධ ලබාගත් පිරිස් වෙත මෙතෙක් එම ආයු අපේක්ෂාව ඉහළ නංවාගැනීමට හැකි වී නොමැති බව අනාවරණය වී තිබේ.

අධ්‍යයන කණ්ඩායම පෙන්වාදෙන්නේ මෙම තත්වය පසුගිය වසර 40 තුළ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ලබා ඇති ඉහළම සාර්ථකත්වය බවයි.

ආගම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 45 දෙනෙකුට තුවාල | VIDEO



මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන්හි ඊයේ කලබලකාරී තත්වයක් ඇතිවී තිබෙනවා.

කලහකාරී ලෙස හැසිරුණු බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවූ අතර ඔවුන්ව විසුරුවා හැරීම සඳහා එරට පොලිසිය අහසට වෙඩි තබා තිබුණා.

මුස්ලිම් කණ්ඩායම වෙසෙන ප්‍රදේශය වෙත පැමිණි භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුළු බෞද්ධ කණ්ඩායම පවසන්නේ ඔවුන් මියන්මාරයේ සුළුතර ප්‍රජාවට අයත් රෝහින්ග්‍යා වැසියන් බවයි.

මේ පිරිසට මුස්ලිම්වරු විසින් අමානුෂික අන්දමින් සලකන බවත් ඔවුන් පවසා තිබුණා.

එම පිරිස නගරයේ නැගෙනහිර මින්ගලාර් තවුන්ග් නියුන්ට් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සැඟවී සිටි බවත් බෞද්ධ කණ්ඩායම පවසා තිබෙනවා.

මේ ගැටුමෙන් 45 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

ඔවුන් මේ වනවිට රෝහල්ගතාකර  සිටිනවා.

ඩොප්ලර් රේඩාර් ජාලයකට කැබිනට් අනුමැතිය



ව්‍යසනකාරි කාලගුණ සංසිද්ධීන් හදුනාගනිමින් නිවැරදි අනාවැකි ජනතාවට ඉදිරිපත් කිරිමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරිම සදහා වු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සදහා රුපියල් මිලියන 3,422ක් ප්‍රධානය කිරිමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සහය පළ කර ඇති බව සඳහන්. 

ඊට අදාළ ගිවිසුමට ඉදිරියේදී එළඹීමට නියමිතයි.

මුහුණු පොතේ කෙල්ලන් විකුණන අලුත්ම ජාවාරම මෙන්න | PHOTO



මුහුණු පොත එහෙමත් නැතිනම් Facebook මේ වන විට තරුණ තරුණියන්ට නැතුවම බැරි දෙයක් වෙලා.

Facebook හරහා විවිධ ජාවාරම් සිදු වෙන බවත් කවුරුත් දන්න දෙයක්නේ. 

එහෙම සිදුකෙරෙන අලුත්ම ජාවාරමක් තමයි "කෙල්ලන් විකිණීමට ඇත" යනුවෙන් ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටුවන් මගින් තරුණියන්ගේ ඡායාරූප අනවසරයෙන් පළකර නොයෙකුත් පුද්ගලයින් රවටමින් සිටින බව තොරතුරු වාර්තාවනවා.

ෆේස්බුක් සහ පෞද්ගලික හුවමාරූවෙන් ලබාගත් කාන්තාවන්ගේ අඩනිරුවත් ජායාරූප පළ කරමින් ඔවුන්ව ගණිකාවන් ලෙස හඳුන්වන මෙම ෆේස්බුක් පිටුව, කාන්තාවන්ගේ ජංගම දුරකතන අංකද පළ කරන අතර විවිධ පුද්ගලයින් එම අංක වලට ඇමතීම නිසා ඔවුන් දැඩි මානසික පීඩනයට ලක්වෙනවා.

අප රටේ තරුණියන්ගේ චරිත ඝාතනය කරන මෙවන් සමාජ ජාල පිටු ඉවත් කිරීම සඳහා වගකිවයුතු පුද්ගලයින් සහ අප කාගේත් යුතුකමක්.

පුහුණුකරුවෙකු වූ මහේල යළිත් පිත්ත අතට ගනී



ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එංගලන්තයේ විස්සයි-20 තරගාවලියේදී ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

‘ටී-20 බ්ලාස්ට්‘ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලිය එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියයි.

මේ වන විට 39 හැවිරිදි මහේල ජයවර්ධන 2015 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර පසුව එංගලන්තයේ සසෙක්ස් සහ සමර්සෙට් පිල වෙනුවෙන්ද ක්‍රීඩා කළා.

ටෙස්ට් තරග 149 කට ක්‍රීඩා කර ඇති මහේල ටෙස්ට් ලකුණු 12,000 කට ආසන්න ප්‍රමාණයක් රැස්කර ඇති අතර සීමිත පන්දුවාර තරගවලදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 14,000 ඉක්මවනවා.

මහේල මේ වන විට ඉන්දීය අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසටද කටයුතු කරනවා.