11 May 2017

පාර්ලිමේන්තුව තුළ තම දරුවාට මව්කිරි දීමෙන් ඉතිහාසගත වූ අම්මා



ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී තම දරුවාට මව්කිරි දුන් පළමු මන්ත්‍රීවරිය ලෙස සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඉතිහාසගතව තිබේ.

මාස දෙකක් වයසැති තම දියණියට, ඇය මව්කිරි පොවමින් සිටියේ පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුවෙමින් පැවති අවස්ථාවකදී යි. සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඕස්ට්‍රේලියාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන හරිත පක්‍ෂය නියෝජනය කරන්නියක් වේ.

පසුගිය වසරේ පටන්, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ තම දරුවන්ට මව්කිරි දීම සඳහා ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරියන්ට නීතියෙන් අවසර ලැබී තිබුනත් මේ දක්වා කිසිවෙකු එය ක්‍රියාවට නංවා තිබුනේ නැහැ. ඒ සඳහා නව නීති සම්පාදනය වූයේ 2015 වසරේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමකින් අනතුරුවයි.

ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ අමාත්‍යවරියක වූ කෙලි ඕ ඩිවයර් 2015 වසරේදී මවක් වූ අතර තම බිළිඳාට මවුකිරී දීමට සිදුවීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමට නොහැකි විය.

ඒ අනුව ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සිටින මවුවරුන් වන මන්ත්‍රීවරියන්ට තම බිළිඳන්ට මව්කිරි හෝ ආහාර දීම අනුමත කරමින් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව පසුගිය වසරේදී නව පනතක් සම්මත කරගත්තා.

No comments:

Post a Comment