11 May 2017

ගවයන් සහ සුනඛයන් ඇල්ලීමේ තනතුරු සදහා – ඉංග‍්‍රීසි බසින්ම පුවත්පත් දැන්වීම් පළ කිරීම




කොළඹ මහ නගර සභා සීමාව තුළ ගවයන් සහ සුනඛයන් ඇල්ලීමේ තනතුරුවලට බඳවා ගැනීම පිළිබඳ රැකියා ඇබෑර්තු දැන්වීමක් කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් පසුගිය මැයි 08 වන දා ඬේලි නිව්ස් පුවත්පතේ පළ කර තිබීම නිසා සත්ත්ව ලෝලීන් සහ සත්ත්ව හිමිකම් ක‍්‍රියාධරයන් මහත් විස්මයටත් කම්පාවටත් පත් වී ඇත.

ලෝකයේ දියුණු රටවල සතුන්ගේ ජීවත් වීමේ අයිතිය මුල්කොට ගත් සත්ත්ව හිමිකම් තහවුරු වෙමින් පවතින යුගයක ගවයන් සහ සුනඛයන් ඇල්ලීම පිළිබඳ පුරප්පාඩු කොළඹ මහ නගර සභාව මගින් ඉංග‍්‍රීසි බසින්ම ප‍්‍රකාශයට පත් කිරීම ශ‍්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ගෙනදෙන කරුණකැයි ඔවුහු කියා සිටිති. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල මෙහි පැවැත්වෙන සමයක රජය මඟින් වෙසක් සතියක් ප‍්‍රකාශයට පත් කළ දිනට පසු දිනම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම මහ නගර සභාව විසින් සත්ත්ව හිංසනය සම්බන්ධ රැකියා ඇබෑර්තු මෙලෙස ඉංග‍්‍රීසි බසින් ප‍්‍රසිද්ධ කරවීම ශ‍්‍රී ලංකාව වැනි සත්ත්ව අවිහිංසාව ප‍්‍රමුඛත්වයෙහි ලා සලකන බුදු දහම පවතින රටක් වශයෙන් හිමි කරගෙන ඇති කීර්ති නාමය බලවත් සේ පළුදු කරවන්නකැයි යන්න බොහෝ දෙනෙකුගේ අදහසයි.

අ.පො.ස. (සා.පෙළ.) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනක දී විෂයයන් 2 කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6 ක් සමත් වීම සුදුසුකමක් සේ දක්වා ඇති මෙම ගවයන් සහ සුනඛයන් අල්ලන්නන්ගේ තනතුර සඳහා වන අයදුම්පත් මේ මස 25 ට පෙර යොමු කළ යුතු බව එම දැන්වීමේ සඳහන් කොට තිබේ.

අගනුවර ජීවත් වන සුනඛයන් පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් සත්ත්ව සුබසාධන කමිටු සාමාජිකයන් පසුගිය 28 වන දා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමු වී මතු දැක්වෙන කරුණු 4 පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත.

1 කොළඹ මහ නගර සභා සීමාව තුළ සුනඛයන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම
2 සංශෝධිත සුනඛ ලියාපදිංචි පනතට කැබිනට් අනුමැතිය ලබා ගැනීම
3 කොළඹ නගරයේ නිවාස අහිමි සුනඛයන්ට රක්ෂාවරණ ස්ථානයක් සඳහා ඉඩමක් ලබා ගැනීම
4 දකුණු සහ වයඹ පළාත් සභා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහනට මාර්ගෝපදේශනය සැපයීම

මෙවන් පසුබිමක් යටතේ ලොව අබෞද්ධ රටවල් පවා මේ වන විට මුළුමනින් තහනම් කොට ඇති සත්ත්ව හිංසනය මුල්කොට ගත් දියුණු සමාජය පිළිකුළට ලක් කරන මෙම පැරණි වෘත්තිය නැවත ස්ථාපනය කිරීම සඳහා ඉංග‍්‍රීසි බසින්ම පුවත්පත් දැන්වීම් පළ කිරීමත් ගැඹුරින් විමසා බැලිය යුත්තක් බව සත්ත්ව වේදීහු කියති.

එමෙන්ම වෙසක් සමය තුළ කොළඹ මහ නගර සභාව විසින් මුල පුරන මෙම සත්ත්ව හිංසනයට මුළුමනින් විරුද්ධත්වය පළ කරන අතර වර්තමානයේ පවතින ජලභීතිකා රෝගය මර්දනය කිරීම සඳහා සත්ත්ව ඝාතනයෙන් තොර නවීන ලෝකයා පිළිගත් අවිහිංසාවාදී මානුෂික ක‍්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අදාල බලධාරින්ගේ අවධානය යොමුකරවීම මේ වෙසක් සමයේ මෙරට බෞද්ධයන් විසින් කළ යුතු ප‍්‍රමුඛතම කටයුත්තක් බව ද සත්ව ලෝලීහු සහ සත්ත්ව හිමිකම් ක‍්‍රියාධරයෝ පෙන්වා දෙති.

පහත දක්වා ඇත්තේ කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා විසින් පසුගිය මැයි 08 වන දා ඬේලි නිව්ස් පුවත්පතේ පළකල දැන්වීම



No comments:

Post a Comment