11 May 2017

තෝර තෝරා පසාරු කළ වෙඩි උණ්ඩයේ නියම වැරදිකරුවන් කොහිද ? (වැලිකඩ ඝාතනය ගැන පසුවිපරමක්)



2012 වසරේ නොවැම්බර් 9,10  යන දෙදින දින වැලිකඩ බන්ධනාගාරය උදාවූ මූසල රාත්‍රිය ගැන විටින් විට කතා විය. නමුත් තාමත් මේවාට යුක්තියක් ඉටු වුණාද යන්න අදටද ගැටළුවකි.

ගෙවී ගිය කාලයේදී මෙවන් මූසල සංධිස්ථාන බොහෝය. කිසිවෙකු එදා නිකරුණේ මිය ගියේ නැත. එදා එකිනෙකා තෝර තෝරා මැරුවේය. එය ගැටලුවකි. සිදුවීම වූ දින මධ්‍යම රාත්‍රියේදී කළු තුෂාර, කපිල, ලලිත් රෝහණ නොහොත් ගුණ්ඩු, මාලන්, අතපත්තු, අමිල, සුසන්ත, මංජු ශ්‍රී යන පිරිස් තෝරා බේරාගෙන වෙඩි තැබූ බවට නන්දිමාල් එදා සිටම මෙම නඩුවට සාක්කි සටහන් කරමින් පැවසීය.

"එදා රෑ 12 පස්සේ පාන්දර 4 ට වගේ කවුද කළු තුෂාර කියාගෙන ආවේ. තුෂාර මගේ ලඟ නිදාගෙන හිටියේ. එ්ත් කවුරුත් කිවුවේ නැහැ. බන්ධනාගර රාළහාමි කෙනෙක් පස්සේ උබලටත් මේක ප්‍රශ්නයක් වෙයි ඒ නිසා කියනවා කියලා එයා තුෂාරව පෙන්නුවා. අනේ මාව මරන්න එපා සර්  කියද්දී තුෂාරට පයින් ගහලා කර්මාන්ත ශාලා කාර්යාලය පැත්තට ඇදගෙන යනවා මන් බලාගෙන හිටියේ. මට පෙනුනා එතන මුල්ලේ ඔහුව දණ ගස්සලා ඔහුට වෙඩි තියෙනවා. මංජු ශ්‍රී පිළිබඳව ද එසේ එදා අහගෙන එන්නේය. ඒ 'කවුද කෝට්ටේ හාමුදුරුවන්ව මරපු එකා' කියාය. නන්දිමාල් සිල්වාගේ දැකීම ඒසේය.

2008 දී මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ගෙන සිදු කළේය. "දවල් 12 ට ආමි එකෙන් සැකකරුවන් ඉන්න මැදිරියට ඇවිල්ලා ගැහුවා. ඊට පස්සේ දීර්ඝකාලින සිරකරුවන් ඉන්න මැදිරියට ගියාම අපිට ඇහුනා මෙන්න අපිව මරනවෝ කියලා කෑ ගහනවා. එදා මෙම සිදුවීමේ එම කතාවේ ආරම්භය සිදුවූ අයුරු නන්දිමාල් තම මතකය අවදි කරමින් එකේ කියාගෙන ගියේ තවත් තොරතුරු සමගිනි.

පසුදා පාන්දර වනවිට 27 දෙනෙකු මිය ගියේය. හිත්පිත් නොවූ දේශපාලනඥයන්ගේ ඉලක්කයට කොකා ගස්සන්නට තරම් බලයට වැනුණු නීතියට සාධාරණයක් කර එකී වැරදිකරුවන්ට දඩුවම් දෙන්නැයි අදටත් මියගියවුන්ගේ පවුල්වල සාමාජිකයන් මොර දෙති. ඊට විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පසුගිය මාසයේදී රිට් පෙත්සමක් මෙම සිද්ධියේ ඇසින් දුටු එකම සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් සිල්වා විසින් ගොනු කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වග උත්තරකරුවන් කර ලෙස නම් කෙරූ බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නිතිඥ සේනක පෙරේරා පවසයි. ඒ අනුව මෙම ඝාතන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ. සිරකුටියේ පිස්සු හැදුණු බල්ලෝ බළලුන් සිටියේ නැත. එදා එලෙස සිටියවුන් සුදු චරිත බව අපි නොකියමු. උත්තරීතර අධිකරණයේ තීන්දුවලට අප හිස නම ආචාර කරන්නෙමු. නමුත් අපරාධකරුවන් ශෝධනය කරන බන්ධනාගාරය තුළ සිදුවූ මෙම සිදුවීමෙන් අසාධාරණයට ලක්වූවන්ට සාධාරණයක් නියතයෙන්ම අවශ්‍යය. ඒ නිදැල්ලේ සිටින අපරාධකරුවන් අල්ලා ගත යුතු නිසාය.  

සිද්ධිය සම්බන්ධව සොයා බැලීම සඳහා යහපාලන රජය විසින් පත් කරන ලද විමර්ශන කමිටු වාර්තාව විශ්‍රාම ලත් විනිසුරු නිමල් නම්බුවසම් මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපිටදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජුනි මාසයේදී වන අතර එය මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත. මේ පිලිබඳව අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ පසුගිය රජය සමයේ සිදුකළ කමිටු වාර්තාවන්ගෙන් ගත යුතු හරයක් නොමැති නිසා ඔහු විසින් මහාධිකරණ විනිශ්චයකාරවරයකු සහිත ත්‍රිපුද්ගල කමිටුවක් මේ සඳහා පත්කළ බවය. එම වාර්තාවට අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමට පොලිස්පතිට දන්වා යවා ඇති බවත් ඒ පිලිබඳව සිහි කැඳවීමක්ද ඔහුට කර ඇති බව ද විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම සිදුවීමේදී සැඟවීමට කිසිදු කරුණක් නොමැති බව පවසන අධිකරණ ඇමති මෙම වාර්තා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉරිදිපත් කරන බවත් මෙහි ඉදිරි වැඩ කටයුතු ඇමති ස්වාමිනාදන් මහතා සිදු කරන බවද වැඩි දුරටත් කීවේය. මෙම සිදුවීමෙන් මිය ගිය පිරිසට වන්දි ලබාදීමට තීරණය වූ අතර එලෙස වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අවධාරණය කරමින් එයට කැබිනට් අනුමැතියද ලැබිණි. අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසු ආකාරයට එම වාර්තා අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාට යොමුකර ඇත. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා මියගිය පුද්ගලයන් 16 කට රුපියල් මිලියන දෙක බැගින් සහ තුවාල ලැබූ සිරකරුවන් සහ බන්ධනාගාර නිළධාරියාට ලක්ෂ 5 බැගින් වන්දි ලබාදීමට තීරණය කළේය. වන්දි ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් ප්‍රකාශ කරන්නේ එම මිය ගිය පිරිස් සම්බන්ධයෙන් බොහොමයක් දෙනා ලබා දී ඇති ලිපිනයන් වැරදි බවත් වන්දිලාභීන්ගේ නිවැරදි තොරතුරු සෙවීම් මේ දිනවලද නිලධාරීන් සිදු කරන බවත්ය. ඒ අනුව භාරකරුවන් තහවුරු කර ගැනීමටද සිදුවී ඇත්තේ ඔවුන්ගේ නිවැරදි දත්ත නොමැති නිසාය. මේ හේතුව නිසා වන්දි ලබා දීම මෙලෙස ප්‍රමාද වී තිබේ. පුද්ගලයන්ගේ සත්‍ය තොරතුරු තහවුරු වූ විගස අදාල භාරකරුවන්ට හෝ ලඟම ඥාතියෙකුට  අදාල වන්දි ලබාදීමට රජය සුදානම්ය. 

මෙම සිදුවීමේදී මියගියවුන් වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයන් සිංහල කොටි බව පවසමින් ප්‍රචාරයක් ගෙන යයි. සියල්ලට අදහස් දැක්වූ නීතිඥ සේනක පෙරේරා මහතා අදහස් දක්වමින් , "කතා නම් කියනවා. මේකට අපි සාධාරණයක් හොයනකොට දැන් වෙලා තියෙන්නේ මේක දේශපාලන ගනුදෙනුවක්, දේශපාලන කෙවිටක් කර ගෙන තියෙන එක. ආරක්ෂක අංශ, නැත්නම් රට බේරා ගත් දේශප්‍රේමීන්ට දඬුවම් ලබා දෙන්න බැහැ කියලා කියනවා.  නිලධාරීන්ට අණ දුන් අය ඉන්නවනේ. වන්දි දුන්නා කියලා මේ නැතිවූ ජීවිතවලට වටිනාකම් දෙන්න පුලුවන්ද ? මානුෂිය ප්‍රේමනීය බැදීම්. අපේ රටේ  අපරාධකරුවෙක් නැත්නම් සිරගතවූවෙක් කිවුවම තියෙන්නේ එවන් මිනිසුන් ගැන සෘනාත්මක අදහසක්. භාන්ධනාගාරගතවූවන්, අපරාධ, සැකකරුවන් ගැන කතා කරන එකත් වැරද්දක් වගේ මේ සමාජේ දකින්නේ. අනිත් ප්‍රශ්නේ වින්දිතයන් ආරක්ෂා කර ගැනීම. එයට පනතක් පවා තිබ්බට  සාක්කි ලබා දෙන්නන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රමයක් නැහැ .සාක්කිකරුවන් තවම අවදානමේ ඉන්නේ."

ලංකා නිවුස් වෙබ් අප පතන්නේ සැමට සාධාරණ වූ සමාජයකි. සාධාරණ වාර්තාකරණයක් උදෙසා අප සියල්ලන්ගේම අදහස් මෙලෙස ඇතුලත් කළේ කියවන ඔබට ඒ හරහා සාධාරණ විනිශ්චයක් ලබා ගැනීමට හැකි වනු පිණිසය. උපතින් කිසිවකු අපරාධකරුවකු වන්නේ නැත. වැඩෙන සමාජ වටපිටාව ඔහු හෝ ඇය කවුරුන් බවට පත් කරනවාද යන්නට පෝෂණය සපයනේය. සිරකරුවෝද මනුශ්ෂයෝ නම් සාධාරණ පරීක්ෂණයක විනිශ්චයක් මේ සඳහා අවශ්‍යව ඇත.

අශ් වරු


No comments:

Post a Comment