05 April 2017

ඕනෑම වෙලාවක පළාත් පාලන ඡන්දයට සූදානම්


 තමන් ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් නමුත් කොට්ඨාසවලට අයත් සීමා මොනවාද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

එසේම සීමානිර්ණ සමාලෝචන කමිටුවේ ගැසට් නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පමණක් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බවත්, එහි දෙමළ පිටපත් මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු ඊයේ (04දා) ගාල්ලේදී පැවසීය.

පළාත් පාලන ඡන්දය කල්දැමීමට හේතු කවරේදැයි මාධ්‍යව්දීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශප්‍රිය මහතා මේ බව පවසා සිටියේය.

"අපි ඕනෑම වෙලාවක පළාත් පාලන ඡන්දය තැබීමට සූදානම්. නමුත් මූලික ප්‍රශ්නය වෙලා තියෙන්නෙ පළාත් පාලන අමාත්‍යාංශයෙන් ගැසට් නිවේදනය කළ කොට්ඨාසවල සීමා මොනවාද කියන එක අපට අවශ්‍යයි. ඒ ඒ සභාවල සභික සංඛ්‍යාව, කාන්තා නියෝජනය සම්බන්ධව ගැසට් නිවේදනය අවශ්‍යයි. පනතේ තිබෙන සංශෝධන අවශ්‍යයි. මම දන්න විදියට පනතේ සංශෝධන තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ."

කරුණු තුනක් මත ආදායම් බදු සඳහා සහන


ඇතැම් ක්ෂේත්‍ර තුළ පවතින අධික  බදු සහන ඉවත් කරමින් රජයේ බදු පදනම පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ හරහා රජයේ ආදායම වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර ඉදිරියේදී ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා ආදායම් බදු සහන ලබාදීමට නියමිතය.

ඒ අනුව ආදායම් බදු සහන ලබාදීමේදී ප්‍රාග්ධන වත්කම් මත කෙරෙන ආයෝජන, රැකියා උත්පාදනය හා අයෝජනය කරන ප්‍රදේශය යන කරුණු මත පමණක් පදනම්ව බදු සහන ලබාදීමට රජයේ අවධානය යෙමුව තිබේ.

ඒ සඳහා දේශීය ආදායම් බදු පනතට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කිරිමට හා පනත කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා ඉදරිපත් කළ කැබිනට් පත්‍රිකාවට  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මැඩපවත්වන ඖෂධය හිඟයක්



රට පුරා මේ දිනවල පැතිර යන ඒඑච්වන්ඒවන් ඉන්ෆුලවන්සා වෛරසය ආසාදිත රෝගීන්ට දෙන කැමිෆ්ලු ඖෂධයේ දැඩි හිඟයක් ඇතැයි රෝහල් ආරංචි පවසයි.

මෙම ඖෂධය රෝගය ආසාදිත ගර්භණී මව්වරුන් ඇතුළු රෝගීන්ට දෙන අතර එමගින් වෛරසය මැඩපවත්වා ගැනීමටත් රෝගය දරුණු වීමේ අවදානමෙන් මිදීමටත් හැකිය. නමුත් ඖෂධය හිඟ වීම නිසා දැනට සබරගමුව රෝහල්වල ප්‍රතිකාර සඳහා එන රෝගීන් කොළඹට මාරු කර එවන තත්ත්වයක් ඇතැයි කියති.

මෙම ඖෂධය පෞද්ගලික ඔසුසල්වලද සොයාගැනීමට අපහසුවී ඇතැයි වාර්තාවේ.

සයිටම්හී තිබූ අස්ථි කොටස් තාජුඩීන්ගේද ? වාර්තාව අධිකරණයට



රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලබන 18 වනදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රසාද් සිල්වා මහතා නියෝග කර ඇති බවට වාර්තා වේ.

මාළඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් අස්ථි කොටස් ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමඟ ගැළපෙන්නේ දැයි අනාවරණය කර ගැනීමට බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යොමුකර කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අද(5) දින අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය පිළිබඳ තවදුරටත් දීර්ඝ ලෙස පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

IS නායකයා පැන යන්න කාර් බෝම්බ 17 ක් පුපුරවලා



සිරියානු සහ රුසියානු ඒකාබද්ධ හමුදා මගින් දියත් කර ඇති දැඩි ප්‍රහාර හමුවේ ‍ISIS ත්‍රස්ථයන් දැඩි පීඩනයකට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් පසුගිය මාසයේ ISIS නායක අබූ බකාර් මොසුල් නගරයෙන් පැනගොස් ඇති බව කුර්දි වාර්තා සඳහන් කරයි.

එහිදී පැන ගිය ආකාරය පිළිබඳ හෙලිවී ඇති අතර, ඒ සඳහා කාර් බෝම්බ 17 ක් සහ ISIS ත්‍රස්ථවාදීන් 300 ක් යොදවා පාර පැහැදිලි කරගෙන ඇති බවට වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධ හා පාතාලය මඩින්න නව පොලිස් කොට්ඨාශයක්


ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලීසීය විසින් විශේෂ පොලිස් කොට්ඨාශයක් පිහිටුවා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ලෙස මෙය ආරම්භ වී ඇති අතර කොළඹ 12, මිහිඳු මාවත, අංක 09 දරණ ස්ථානයේ මෙය පිහිටා ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ඒකකය පිහිටුවා තිබෙනවා.

එමඟින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධ, අපරාධ කල්ලි මුල්වන අපරාධ විමර්ශන හා එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම විශේෂයෙන් මත්ද්‍රව්‍ය, ගිනි අවිවලින් සිදුවන අපරාධ මැඩ පැවැත්වීම සිදුකෙරෙනවා,

මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්  පිළිබද  අදාළ තොරතුරු වෙතොත් පහත් අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

දුරකථන අංක – 011-2326229 හෝ 011-2451397
විද්‍යුත් තැපැල් – dir.occib@police.lk

සුප්‍රකට නිල් චිත්‍රපටි නළුවා ලංකාවට එයි



සුප්‍රකට නිල් චිත්‍රපට නලුවකු වන ජොනී සින්ස් සහ ඔහුගේ බිරිඳ වන කිස්සා සින්ස් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වීමට සූදානම් වන බවට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ සහ මධ්‍යම කදුකරයේ සුන්දරත්වය විදීම සඳහා මෙරට ප්‍රමුඛතම සත්කාරක සේවා සමාගමකට අයත් දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ සුපිරි හෝටල් දෙකක්ද වෙන් කර ඇති බවට අනාවරණය වී ඇත.

එලඹෙන මැයි මාසයේදී මෙම සංචාරය සිදුවීමට නියමිතව තිබේ.

සාමාන්‍යයෙන් ලොව පුරා බොහෝ ප්‍රසිද්ධ චරිත වරින් වර ඉතා රහසිගතව මෙරටට පැමින ස්වභාවික සුන්දරත්වය භුක්තිවිදින බව නොරහසකි.

විවිධ රටවල සංචාරය කිරීමට දැඩි ඇල්මක් දක්වන ජොනී සින්ස් සිය ලොව විවිධ රටවල සංචාරයන් අතරතුරදී ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.




සිරකරුවන්ගෙන් හරි අඩක් වරදකරුවන් නොවූ පුද්ගලයින් - ආන්දෝලනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට



මරණ දඬුවම යටතේ සිරකරුවන්ට ලබා දී ඇති දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලිහිල් කරන්නැයි පාර්ලිමේන්තුවට අද (04) නිර්දේශයක් ඉදිරිපත් කෙරුණා.

ඒ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත්වූ වාර්තාවක් මගින්.

බන්ධනාගාරවල පවතින තදබදය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අධිකරණමය හා නෛතික හේතු සොයා බැලීම පිළිබඳ කාර්ය සාධක බලකායේ පළමු වාර්තාව මෙයයි.

දැනට පවතින නීතියේ විධි විධාන අනූව මරණ දඬුවමට ලක් වූ පුද්ගලයින්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලිහිල් කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.

මරණ දඬුවමට නියමවී බන්ධනාගාරයේ සිටින සංඛ්‍යාව එක්දහස් අසූ දෙකක්. ඉන් හත්සිය විසි හය දෙනෙකු මේ වනවිට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.

ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත්වූ සිරකරුවන් පන්සිය පනස් පහෙන් හාරසිය හැට තුන් දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර ඇති බව ද එහි සඳහන්.

වර්තමානයේ වරදකරුවන් නොකළ පුද්ගලයින් නවදහස් පන්සිය පනස් දෙකක් බන්ධනාගාරවල සිරගත කර සිටින බව ද අදාළ වාර්තාවේ දැක්වෙනවා. එය මුළු සිරකරුවන්ගෙන් සියයට 52ක්.

ඕන දේකට ඔට්ටු කටුනායක ගුවන් පථය සූදානම්



වසර 1986 දී ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය නැවත ප්‍රතිසංවර්ධනය කර  ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා 06 වෙනිදා පස්වරු  12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කළා.

අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා වැය කර තිබෙනවා. මෙම ප්‍රතිසංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව මීටර් 60 ක පළලින් යුතුව තිබු ධාවන පථය මීටර් 75 ක් දක්වා පුළුල් වන අතර, A-380 ගුවන් යානා මෙහෙයුම් කටයුතු ඉදිරියේදී සිදු කිරීමට හැකිවන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කළේ.

නෙදර්ලන්ත තාක්ෂණයට අනුව ආස්තරණය කරන ලද නව ධාවන පථයේ විදුලි ආලෝක පද්ධතිය පුර්ණ වශයෙන්  LED විදුලි බල්බ යොදා ඇති බැවින් ඕනෑම අයහපත් කාළගුණික තත්ත්වයක් මත ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි බවද ඒ තුළින්  80% ක බලශක්තිය ඉතිරි කර ගැනීමට හැකි වන බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කළා.

ප්‍රතිසංවර්ධනය කරන ලද ධාවන පථයට පැමිණෙන ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සමාගමට අළුතින් මිලදී ගන්නා ලද UL-1162 ගුවන් යානය බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

විමල්ට පහසුකම් දුන්නේ රනිල් ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතිය ආරම්භ කළේ ප්‍රධාන ආගමික වැඩ කටයුත්තකට සහභාගි වෙමිනි. මරදාන - සුදුවැල්ල අභය විජයාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකෙරුණු අඩි 30 ක් උසැති අවුකන පිළිමයේ අනුරුව සහිත පිළිම වහන්සේ නිරාවරණය කිරීමට පසුගිය සඳුදා උදෑසනම රනිල් සහභාගි වූයේය.


හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන කිත්සිරි රාජපක්ෂගේ මූලිකත්වයෙන් බුදු පිළිමයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර තිබිණි. අභිනව පිළිම වහන්සේ නිරාවරණය කිරමෙන් අනතුරුව රුපියල් ලක්ෂ ගණනක පඬුරු පූජාවක් ද රනිල් විසින් ඒ අවස්ථාවේදිම කරන ලදී.

බ්‍රහස්පතින්දා දිනයේ රාජකාරි ආරම්භ කරමින් උදෑසනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ වන විටත් අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම බලා‍පොරොත්තුවෙන් මැති ඇමැතිවරු කිහිපදෙනෙක් එහි වූහ.

ආසියා - පැසිෆික්  කලාපයේ හොඳම මුදල් ඇමැති සම්මානය ගැනීමට ලන්ඩන් නුවරට ගිය රවි කරුණානායක ඇමැතිවරයා ද මේ අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයකි.

අග්‍රාමාත්‍යවරයා කාර්යාලයට පැමිණෙද්දීම ඉදිරියට පැමිණි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ “අප නම් උදේ කෑම අරගෙනයි ආවේ. අගමැතිතුමත් එහෙම වෙන්න ඇති නේද?” කියාය.

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රශ්න කිරීම් හමුවේ බැරෑරුම් ස්වරූපයක් මවා ගත් අගමැතිවරයා “මොකද අද අමුතු ප්‍රශ්නයක් ඇහුවේ” යැයි විමසීය.

“සර් උපවාස කළ විමල් වීරවංශ ජාතික රෝහලට ඇතුළත් කරලා. දැන් එතන සියලු පහසුකම් සහිතව ප්‍රතිකාර කරනවා“ යැයි ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“කොහොම වුණත් සර් විමල් වීරවංශට ජාතික රෝහලට යන්න හම්බවුණේ ඒකාබද්ධ විපක්ෂයේ හමුවිම නිසා දැයි“ ලක්ෂ්මන් කිරිඇල්ල කෙළින්ම කරුණු විමසා සිටියේ රනිල්ගෙන්ය. එයට සිනාවකින් පිළිතුරු දුන්නා මිස රනිල් කිසිවක් කියන්න ගියේ නැත.

"ජ්‍යෝතීෂ්‍යවේදීන් පල්ම පල් වෙලා ගියා" - ඇමති අවුරුදු නැකැත් කමිටුව ඉදිරියේ කියයි



මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා  (04) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්නගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම මාධ්‍ය හමුවට, මෙවර නැකැත් නිවැරදි බව ප‍්‍රකාශ කරන නැකැත් කමිටුවේ ජ්‍යෝතිෂ්‍යවේදීන් හා මෙවර නැකැත් නිවැරදි නොවන බව ප‍්‍රකාශ කරන ජ්‍යෝතිෂ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියා.

එහි දී දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද ඇති වුණා. මෙවර නැකැත් නිවැරදි නොවන බව ප‍්‍රකාශ කරන ජ්‍යෝතිෂ්‍යවේදී ජී.එම්. ගුණපාල කියා සිටියේ විශේෂයෙන් ආහාර අනුභවය නැකැත රටට අවැඩදායක බවයි. එම නැකත සුබ ග්‍රහයන් දුර්වල අවස්ථාවක යොදාගෙන ඇති බවද සඳහන් කළා.

එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන ජ්‍යෝතිෂ්‍යවේදී කේ.ඒ සරත්චන්ද්‍ර පෙන්වා දෙන්නේ මෙම නැකැත් ජ්‍යෝතීෂ්‍යවේදීන් 30 දෙනෙකු එකතු වී සකස් කළ එකක් බවයි.

කෙසේවෙතත් මෙම උණුසුම් තත්ත්වයෙන් පසුව අමාත්‍ය එස්. බී නාවින්න ද අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ "මේ ජ්‍යෝතීෂ්‍යවේදීන් පසුගිය කාලයේ පල්ම පල් වෙලා හිටියේ. සමහර අය මාස ගාණක් හැංගිලා හිටියා. ඒ දේ නැවත කරගන්න හදන්න එපා." යනුවෙනි.