06 April 2017

වර්ජනය කරන විට පෞද්ගලික ප්‍රතිකාරත් නෑ



සයිටම් වසා දමන ලෙස ඉල්ලා හෙට (07දා) උදේ 8.00 සිට ක්‍රියාත්මක පැය 24ක වැඩ වර්ජනය තුළ කිසිදු පෞද්ගලික ප්‍රතිකාර සේවාවක් සිදුනොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සයිටම් වසා දමන ලෙස ඉල්ලා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමගම හෙට වැඩවර්ජනයක නිරත වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

වර්ජනයට සම්බන්ධ වන සෑම වෛද්‍යවරයෙකුම පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත්ව සිටින බවද පවසා සිටියේය.

වාර්තාවක්ද සමගින් ලසිත් මාලිංගගෙන් කඩුලු ත්‍රිත්වයක්


 ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ලසිත් මාලිංග මීට සුලු මොහොතකට පෙර සමත් වුණා.

මුෂ්ෆිඛර් රහීම් ,මෂ්රෆේ මොටාසා ,මෙහෙදි හසන් යන පිතිකරුවන් මෙහිදී මාලිංගගේ පන්දු හමුවේ දැවී ගියා.

විස්සයි විස්ස තරඟයක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වන ක්‍රීඩකයා ලෙසද ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා

ප්‍රධාන පක්ෂ දෙකේ වත්කම් පෙන්වන්න බෑ – ඒවා කලු සල්ලි



මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි සැබෑ මූල්‍ය වත්කම් හෙළි කිරීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිහරණය වන්නේ කළු සල්ලි වන බවයි. එසේම අවුරුදු 70 ක් පුරා රට පාලනය කරන ලද්දේ එක් පන්තියක් පමණක් බවත් ඉහල පන්තියෙන් පහල පන්තියට බලය ලබා ගැනීමට ජනතාව පෙළගැසිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසන ලදී.

මොණරාගල ප්‍රජා ශාලාවේ පැවති 46 වෙනි අප්‍රේල් විරු සමරු උත්සවයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රධාන පක්ෂ දෙක දිගුකාලීනව එකට යාම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි



රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව දිගුකාලීනව පාලනය ගෙනයාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බව. සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

ඒ ආකරයට දිගුකාලීනව පාලනය කරනු ලැබුවහොත් රටේ ජනයා විකල්ප සෙවීමට පෙළඹෙන බවත්, එම විකල්පය බොහෝවිට ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් හෝ අන්තවාදී, ජාතිවාදී, ගෝත්‍රිකවාදී කණ්ඩායම් හිස එසවීමක් විය හැකි බව අමාත්‍යවරයා කියා සිටියේ අද (07)මහනුවර පැවති සමෘද්ධි පොළට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒකාබද්ධ විපක්ෂය පාගමනකින් පැමිණ ජනාධිපති මන්දිරය වටලන බවට පවසන කතා විහිළු සහගත බව කියා සිටි අමාත්‍යවරයා එවන් පා ගමනකට දහ දොළොස්දාහක් සොයාගැනීම පවා ඉතාම අසීරු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය සමග ඇත්තේ මිත්‍රශීලි ගැටුමක් බවත්, ඔවුන්ගෙන් 90%ක් පමණ තම පක්ෂය සමග සිටියද ගමේ ඡන්ද පදනම ඇත්තේ මහින්ද රාජපක්ෂට බව ඔවුන් විශ්වාස කරන බවත්, එය පසුගිය ඡන්දයේදී තහවුරු වූ නමුත් මේවන විට එම ඡන්ද පදනමට පහරදෙමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

මේ ආකාරයටම ඉතිහාසයේදීද පිරිස් ශ්‍රීලනිපය හැර ගිය බවත්, සිරිමාවෝ මැතිනියගේ කාලයේ කණ්ඩායම් 3ක් පක්ෂය හැර ගිය බවත්, එවක මැතිනියගේ නායකත්වයෙන් ඡන්ද 14ක් පරාජයට පත්වූ නමුත් ගමේ ඡන්ද පදනම අද දවසේ මහින්දට මෙන් එදා දවසේ සිරිමාවෝට තිබුණු බවත්, මෛත්‍රීපාල සේනානායක සමග පක්ෂය හැර ගිය පිරිසේ එදා මහින්ද රාජපක්ෂ මහතාද සිටි බවත්, කෙසේ නමුත් එලෙස පක්ෂය හැර ගිය පිරිස් නැවත සිරිමාවෝ ළඟටම පැමිණි බවත් දිසානායක මහතා මෙහිදී සිහිපත් කළේය.

පසුගිය මැතිවරණයේදීද ශ්‍රීලනිපය ලෙස අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස චෝදනා කිසිවක් නැති චමල් රාජපක්ෂ මහතා දෙන ලෙස මහින්දගෙන් ඉල්ලා සිටි බවත්, මහින්ද ඊට අකමැති වූ නමුත් චමල් රාජපක්ෂ මහතා පවා කැමති වූ බවත් , යම් හෙයකින් මහ මැතිවරණයට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්වූයේ නම් ආසන 125ට වැඩියෙන් ලබා ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණු බවත් ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් ඡන්ද ලක්ෂ 10න් පරාජය වන බව තමන් ඇතුළු පිරිස් පෙන්වාදෙනු ලැබු බවත්, ඊටත් ලක්ෂයක් වැඩියෙන් ඡන්ද ලක්ෂ 11න් පරාජයට පත්වීම සිදුවූ බවත්, තව පොඩ්ඩක් එහා මෙහා වූයේ නම් කුරුණෑගලත් අහිමිවන බවත් දිසානායක මහතා වැඩිචදුරටත් සිහිපත් කළේය.

වර්ජනය ඇරඹෙයි – විදුලිය බිඳ වැටීමේ අවධානමක්



අද (06) දිනයේ ක‍්‍රියාත්මක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලි බල වෘත්තීය සමිති පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක‍්‍රියාත්මක බවයි.

ඊට වෘත්තීය සමිති තිස් දෙකක සාමාජිකයින් එක්ව සිටිනවා.

විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා ස්ථානවල සේවයේ නියුතු සේවකයින්ට විදුලිබල පාලන අධිකාරිය විසින් තර්ජනද සිදුකර ඇති බවයි රංජන් ජයලාල් පැවසුවේ.

එ.ජා.ප. – ඒකාබද්ධ ඩීල් ගැන ඩිලාන් කියයි



ඒකාබද්ධ විපක්ෂයට මැයි දින රැලිය පැවැත්වීමට ගෝල්ෆේස් පිටිය ලබාදීම තුළින් එක්සත් ජාතික පක්ෂය හා. ඒකාබද්ධ විපක්ෂය අතර පවතින ඩීල් එක තවදුරටත් තහවුරු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂයට පහසුකම් ලබාදුන්නත් එම රැලියට පැමිණෙන ප්‍රමාණය ගණනය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොඩට බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අනුව මෙවර මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හා ගෝල්ෆේස් පිටියට පැමිණෙන ප්‍රමාණය එකතු කළ විට කැම්බල් පිටියට පැමිණෙන පිරිසට වඩා දස ගුණයකටත් වැඩි වන බවද අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

වත්කම් හෙළි නොකළාට දුමින්දට දඩය රු 3000 යි



2011 – 2013 වසරවල වත්කම් බැරකම් හෙළි නොකළැයි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (6) නියෝග කළාය.

එම දඩය නොගෙවන්නේ නම් මාස 3 ක ලිහිල් සිර දඩුවම් නියම කැරිණි.

ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි : ජනාධිපති



බදු අයකරගැනීම සඳහා පවතින ක්‍රමවේදයන් වඩා කාර්යක්ෂම සහ විධිමත් කරගනිමින් රටේ ජාතික ආර්ථිකය. ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන ඇතැම් පෞද්ගලික ව්‍යාපාර සහ ආයෝජන ව්‍යාපෘති තුළින් රාජ්‍ය ආදායමට එක්විය යුතු බදු ලැබීම් අහිමි වී ඇති බවයි.

බදු අය කරගැනීමේ පවතින දුර්වලතා හා ගැටළු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 16 වන වාර්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් පොදු ජනතාවට වඩා උසස් තත්ත්වයක් උදාකරදීම සියලුදෙනාගේම වගකීමක් සහ යුතුකමක් බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේය.

මහාධිකරණ විනිසුරුධූරය ගැන නීතීඥ සංගමයෙන් තීරණයක්



රාමනාදන් කණ්නන් මහතා මහාධිකරණ විනිසුරුධූරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත් නොවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රණ්දෙනිය මහතා සඳහන් කලේ ඊයේ (05) රැස් වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අදාළ තීරණයට එළඹි බවයි.

රාමනාදන් කණ්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමේ ක්‍රියාවලියට මැදිහත්වීමක් සිදු කර නොමැති බැවින් ඔහු ඉවත් කිරීමේ ක්‍රියාවලියටද මැදිහත් නොවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.

කෙසේවෙතත් අධිකරණ සේවා සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට විධායක සභාවේදී තීරණය කල බව නීතීඥ අමල් රන්දෙණිය මහතා සඳහන් කළේය.