06 April 2017

ප්‍රධාන පක්ෂ දෙක දිගුකාලීනව එකට යාම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි



රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව දිගුකාලීනව පාලනය ගෙනයාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බව. සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

ඒ ආකරයට දිගුකාලීනව පාලනය කරනු ලැබුවහොත් රටේ ජනයා විකල්ප සෙවීමට පෙළඹෙන බවත්, එම විකල්පය බොහෝවිට ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් හෝ අන්තවාදී, ජාතිවාදී, ගෝත්‍රිකවාදී කණ්ඩායම් හිස එසවීමක් විය හැකි බව අමාත්‍යවරයා කියා සිටියේ අද (07)මහනුවර පැවති සමෘද්ධි පොළට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒකාබද්ධ විපක්ෂය පාගමනකින් පැමිණ ජනාධිපති මන්දිරය වටලන බවට පවසන කතා විහිළු සහගත බව කියා සිටි අමාත්‍යවරයා එවන් පා ගමනකට දහ දොළොස්දාහක් සොයාගැනීම පවා ඉතාම අසීරු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය සමග ඇත්තේ මිත්‍රශීලි ගැටුමක් බවත්, ඔවුන්ගෙන් 90%ක් පමණ තම පක්ෂය සමග සිටියද ගමේ ඡන්ද පදනම ඇත්තේ මහින්ද රාජපක්ෂට බව ඔවුන් විශ්වාස කරන බවත්, එය පසුගිය ඡන්දයේදී තහවුරු වූ නමුත් මේවන විට එම ඡන්ද පදනමට පහරදෙමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

මේ ආකාරයටම ඉතිහාසයේදීද පිරිස් ශ්‍රීලනිපය හැර ගිය බවත්, සිරිමාවෝ මැතිනියගේ කාලයේ කණ්ඩායම් 3ක් පක්ෂය හැර ගිය බවත්, එවක මැතිනියගේ නායකත්වයෙන් ඡන්ද 14ක් පරාජයට පත්වූ නමුත් ගමේ ඡන්ද පදනම අද දවසේ මහින්දට මෙන් එදා දවසේ සිරිමාවෝට තිබුණු බවත්, මෛත්‍රීපාල සේනානායක සමග පක්ෂය හැර ගිය පිරිසේ එදා මහින්ද රාජපක්ෂ මහතාද සිටි බවත්, කෙසේ නමුත් එලෙස පක්ෂය හැර ගිය පිරිස් නැවත සිරිමාවෝ ළඟටම පැමිණි බවත් දිසානායක මහතා මෙහිදී සිහිපත් කළේය.

පසුගිය මැතිවරණයේදීද ශ්‍රීලනිපය ලෙස අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස චෝදනා කිසිවක් නැති චමල් රාජපක්ෂ මහතා දෙන ලෙස මහින්දගෙන් ඉල්ලා සිටි බවත්, මහින්ද ඊට අකමැති වූ නමුත් චමල් රාජපක්ෂ මහතා පවා කැමති වූ බවත් , යම් හෙයකින් මහ මැතිවරණයට චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්වූයේ නම් ආසන 125ට වැඩියෙන් ලබා ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණු බවත් ඔහු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් ඡන්ද ලක්ෂ 10න් පරාජය වන බව තමන් ඇතුළු පිරිස් පෙන්වාදෙනු ලැබු බවත්, ඊටත් ලක්ෂයක් වැඩියෙන් ඡන්ද ලක්ෂ 11න් පරාජයට පත්වීම සිදුවූ බවත්, තව පොඩ්ඩක් එහා මෙහා වූයේ නම් කුරුණෑගලත් අහිමිවන බවත් දිසානායක මහතා වැඩිචදුරටත් සිහිපත් කළේය.

No comments:

Post a Comment