10 April 2017

අන්තර්ජාලය වසඟ කරගත් සරාගී කෙල්ලෝ දෙන්නගේ ඇඟ හිරිවට්ටන ඩාන්ස් එක බලන්න | VIDEO


නර්තනය කියන්නේ සුන්දර දෙයක්. නර්තනයේ යෙදීම සහ නැරඹීමත් ගොඩක් දෙනෙකුගේ විනෝදාංශය වෙලා තියෙනවා.

සුරූපී තරුණියන් දෙදෙනෙකුගේ නෙත් සිත් වසඟ කරන නර්තනයක් මේ දිනවල youtube අඩවියේ අතිශය ජනප්‍රිය වෙලා.

එහෙම නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන. ඒ තරමටම මේ ගැහැණු ළමුන් දෙදෙනාගේ රිද්මය හා නර්තන විලාසය සිත් වසඟ කර ගැනීමට සමත් වනවා.

මේ දෙන්නා මේ හැඩ වැඩ දාගෙන නටන්නේ Ed Sheeran ගේ Shape Of You නමැති ගිතයටයි.

එම නර්තනය පහතින් නරඹන්න.




පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් කරගන්නා උසස් පෙළ ප්‍රතිපලයේ වෙනසක් නැහැ



පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී දැනට සළකා බැලෙන උසස් පෙළ සාමාර්ථයන් හි වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා දැනට සලකා බැලෙන අවම සුදුසුකම වන ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම වෙනස් නොවන බවයි වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා ප්‍රකාශ කළේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතීන් සඳහා වෛද්‍ය සභාවේ විධායක කමිටුවේ අනුමැතිය මේ වනවිට ලැබී ඇති අතර, එය ඉදිරියේදී විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ මණ්ඩල වෙත යොමුකරන බවයි ඔහු කියා සිටියේ.

ලංකාවේ පොලිස් නිලධාරියෙක් රු:50ක් දීලා ජනාධිපතිගේ පුතාව සිගරැට් ගේන්න කඩේ යවලා වෙච්ච දේ



ඒ 1978 වර්ෂයයි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එක්‌තරා සුවිසල් නිවසකි. මේ ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණේය.

නිවසේ ආරක්‍ෂක කටයුතු සඳහා අලුතින් පැමිණි පොලිස්‌ නිලධාරියකු දිනක්‌ පෙරවරු රාජකාරියේ නිරතව සිටියේය.

දුම් පානයට තදින් ඇබ්බැහි වී සිටි මේ නිලධාරියා ඒ මොහොතේ සිටියේ දුම්වැටියක්‌ පානය කිරීමේ තදබල අවශ්‍යතාවකින් ය. එහෙත් දුම්වැටියක්‌ ගෙන ඒම සඳහා වෙළෙඳසලකට යෑවීමට තරම් කෙනෙකු සිටියේ නැත.

ප්‍රභූ නිවසේ සිට මෝටර් රථයක්‌ පිටතට යැමට පැමිණියේ මේ අතරතුරදී ය.

නිවසේ ගේට්‌ටු රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා විසිල්පාරක්‌ ගසමින් මෝටර් රථය නතර කළේය. මෝටර් රථයේ රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා වීදුරුව පහත් කර පොලිස්‌ කොස්‌තාපල්වරයා දෙස බලා සිනාසුණේය.

“ඇයි රාළහාමි මොකක්‌ද වුවමනාව” මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික ලෙස පොලිස්‌ නිලධාරියාගෙන් විමසුවේය.

“මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගෙනත් දෙනවද? මෙන්න සල්ලි”

පොලිස්‌ කොස්‌තාපල්වරයා රුපියල් 50 නෝට්‌ටුවක්‌ මෝටර් රථයේ සිටි පුද්ගලයා අත තැබුවේය. ඒ කාලයේ සිගරැට්‌ පැකට්‌ටුවක මිල රුපියල් 20 කි. පොලිස්‌ නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයා අතට මුදල් දී සිගරැට්‌ ගෙන එන ලෙස කීවේ තරමක නියෝගාත්මක ස්‌වරයකිනි.

“රාළහාමි මම හදිස්‌සි වැඩකට යන්නේ. එන්න ටිකක්‌ ප්‍රමාද වෙයි. ප්‍රමාද වෙලා සිගරැට්‌ ගෙනාවට කමක්‌ නැද්ද?”

මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික හඬින් කීවේය.

“ඒකට කමක්‌ නැහැ. ඔයා එන වෙලාවක සිගරැට්‌ පැකට්‌ එක අරගෙන එන්න” කොස්‌තාපල්වරයා කීවේය. මෝටර් රථය ප්‍රභූ නිවසින් නික්‌ම ගියේය. පැය කීපයකට පසු මේ මෝටර් රථය වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රභූ නිවසට ඇතුළු වුණේය. ඒ වන විට පොලිස්‌ කොස්‌තාපල්වරයා ගේට්‌ටු රාජකාරියේ සිටියේ නැත. ඔහු තම සේවා කාලවේලාව නිම කර විවේක ගැනීම සඳහා භට නිවහනට ගොස්‌ සිටියේය.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ගේට්‌ටු රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා සොයන්නට පටන් ගත්තේ සිගරැට්‌ පැකට්‌ටුව සහ ඉතිරි මුදල් ද තම දකුණු අතේ රඳවාගෙනය.

ඒ වන විට ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් කලබලයට පත්ව සිටියහ.

“ඇයි සර්….. මොකුත් ප්‍රශ්නයක්‌ ද?”

ප්‍රභූ ආරක්‍ෂක ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විමසුවේය.

“කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ගේට්‌ටුවේ ඩියුටි හිටපු රාළහාමි මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගේන්න කියලා සල්ලි දුන්නා. මම ඒක අරගෙන ආවා. කෝ ඒ රාළහාමි. මට මේක එයාට භාර දෙන්න ඕනෙ.”

මෝටර් රථයෙන් ආ පුද්ගලයා කිසිදු කලබලයකින් තොරව කීවේය. සිද්ධිය ඇසීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුෂ්නිම්භූත වූහ. ඔවුන් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ.

ගේට්‌ටුවේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නියෝග මත සිගරැට්‌ පැකට්‌ටුව රැගෙන ආවේ වෙන කවරකුවත් නොව ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

“සර්….. අපට සමාවෙන්න. මේ නිලධාරියා කරලා තියෙන්නේ බොහොම බරපතළ වැරැද්දක්‌. අපි එයාගෙ වැඩ තහනම් කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.”

ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා රවී ජයවර්ධනගෙන් සමාව අයෑද සිටියේය. එපමණක්‌ නොව මේ නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පොරොන්දු වූවේය.

“නෑ නෑ ඒ මනුස්‌සයාට කරදර කරන්න එපා. එයාගෙ වැඩ තහනම් කරන්නත් එපා. ඒ නිලධාරියා මම කවුද කියලා අඳුනන්නෙ නැතිව වෙන්න ඇති එහෙම කළේ.”

රවී ජයවර්ධන බොහොම සැහැල්ලුවෙන් කීවේය. රවී ජයවර්ධන සිගරැට්‌ ගෙන ඒමට කඩයට යෑවූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ වැඩ තහනම් කළේ නැත. ඔහු අත්අඩංගුවට ගත්තේ ද නැත. ඒ නිලධාරියා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජනාධිපති නිවසේ රාජකාරි කළේය.

රවී ජයවර්ධන නමැති චරිතය මොන තරම් නිහතමානී නිහඬ චරිතයක් ද යන්න තේරුම් ගැනීමට මේ සිද්ධිය හොඳම උදාහරණයකි.

තම පියා සතුව තිබූ අසීමිත බලතලවලින් කිසි විටෙකත් ඔළුව උදුම්මා නොගත් ඒ මිනිසා අද ජීවතුන් අතර නැත. ඔහු මාර්තු 3 වනදා සිය ජීවිතය අතහැර ගොස් හමාරය.

මිය යන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

උපුටා ගැනීම දිවයින

පසුගිය රජයේ දුෂණ, වංචා සියල්ල ගැන ලඟදීම හෙළිදරව්වක්



පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ලබන මැයි මස පළවනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් එවා වැටලීමට හැකියාවක් ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

කැබැතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය (08) පස්වරුවේ විවෘත කිරීමෙන් පසු මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව සදහන් කළේය. 

මෛත්‍රීටත් රථගාය – කෝටි 60ක වාහන දෙකක් ගෙන්වයි (Exclusive) | VIDEO



ජනාධිපතිවරයාගේ භාවිතාව සඳහා රුපියල් කෝටි 60කට (574,270,099)  ආසන්න වටිනාකමකින් යුත් මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ කාර් රථ දෙකක් ගෙනවා තිබේ.

මේ වනවිට වරායේ තිබෙන මෙම කාර් දෙක සඳහා බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රේගුව වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ. (චැසි අංක WDD2229762A295414 සහ WDD2229762A295805) මෙසේ ගෙන්වා තිබෙන වාහන ආරක්ෂාව සඳහා විශේෂයෙන් වෙනස්කම් කර තිබෙන අතර සාමාන්‍ය මෝටර් රථයකට වඩා අධික මිලක් මේ සඳහා ගෙවා තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින බෙන්ස් කාර් රථ 3ක්ද සහ තවත් වෙඩි නොවදින වාහන ගණනාවක් සහිතව දැවැන්ත වාහන ප්‍රමාණයක් හිමි ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට පසුගිය වසරේද අධික මිල කාර් රථයක් ගෙන්වා තිබේ. එය ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ භාවිතාව සඳහා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් භාවිතා කරන ලද සුප්‍රසිද්ධ කැඩිලැක් බීස්ට් රථයේ වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 23කි.

මර්සිඩීස් S600 රථයේ දැන්වීමක්.

ජල ගාස්‌තු වැඩි කළ යුතුමයි – මණ්‌ඩලයේ සභාපති කියයි



ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය පවත්වා ගෙන යැම සඳහා ජල ගාස්‌තු වැඩි වීමක්‌ වහාම සිදු විය යුතු බව. මණ්‌ඩලයේ සභාපති කේ. අන්සාර් මහතා මාධ්‍යට පැවසීය.

ජල බිල්පතේ වැඩි වීමක්‌ සිදු වන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්‌ථාවේ ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා එසේ කීය.

මේ වන විටත් අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවක්‌ මඟින් මේ පිළිබඳව පරීක්‌ෂණ කරගෙන යන බවද එහි නිර්දේශවලට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය හිමි වීමෙන් පසු ජල බිල්පත වැඩිවනු ඇතැයිද සභාපතිවරයා කීය.

වසර 3 කට වරක්‌ සිදු විය යුතු ජල බිල්පත් සංශෝධනය 2012 වසරේ සිට සිදු වී නැතැයි පැවසූ සභාපතිවරයා ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 45 ක්‌ පමණ බවද ජල ඒකකයක්‌ සඳහා පාරිභෝගිකයාගෙන් අය කරන්නේ රුපියල් 12 ක්‌ වැනි අවම මුදලක්‌ බවද පැවසීය.

විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් අහෝසි කිරීමට රජය සැරසේ



විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීරගේ ප්‍රකාශයෙන් හෙළිවන බව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය සඳහන් කරයි 
.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ට ලබාදෙන විශ්‍රාම වැටුප වෙනුවට විශ්‍රාම යන අවස්ථාවේ කිසියම් මුදලක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පසුගිය 06 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබීම මත මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හෙළිවන බව එම සංගමය පවසයි 
.
මීට අමතරව 2016 අයවැය යෝජනාව තුළ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කර තිබෙන අතර, ඒ අනුව 2016න් පසුව රාජ්‍ය සේවයට එක්වන අයගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රජය ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය යන්න සටහන් වීම තුළ මෙය වඩාත් පැහැදිලි වන බව එම සංගමය සඳහන් කරයි 
.
ඒ අනුව විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි

රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයි



ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ත් 17ත් අතර පසුවන ළමුන්ගෙන් 78,345 දෙනෙකු ආබාධිතයින් බව ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

ඉකුත් 2016 වර්ෂයට අදාළවයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ. මෙරට ළමා ජනගහණය 4,571,442 ක් බව එම සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

ඉන් ආබාධිත ළමුන් ලෙස අර්ථ දක්වා ඇත්තේ සාමාන්‍ය ක‍්‍රියාකාරකම් තමන්ට සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ තනිව කර ගැනීමට නොහැකි, උපතින් හෝ උපතින් පසුව ඇති වූ හේතූන් නිසා ආබාධිත තත්වයට පත්වූ අයයි.

ප‍්‍රතිශතයක් ලෙස ගැනීමේ දී වැඩිම ආබාධිත ළමුන් පිරිසක් සිටින්නේ වතුකරය ආශ‍්‍රිතවයි. නාගරික ප‍්‍රදේශවල ආබාධිත ළමයින්ගේ ප‍්‍රතිශතය 1.6% ක් ලෙස දැක්වෙනවා.

සමස්ත ළමා ජනගහණයෙන් 2,307,805 දෙනෙකු පිරිමි ළමුන්. මෙරට ළමා ජනගහණයෙන් 2,263,637 ක් ගැහැනු ළමුන් බව අනාවරණ වී තිබෙනවා.

වයස් ඛාණ්ඩ අනුව වර්ගීකරණයේ දී වයස අවුරුදු 5-11 ත් අතර ළමුන් 41,550 දෙනෙකු ද, වයස අවුරුදු 12-14 අතර ළමයින් 17,376 ක් ද, වයස අවුරුදු 15-17 ත් අතර ළමයින් 19,419 ක් ද ආබාධිතයින් බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මේ දිනවල අධික හිරු රශ්මියෙන් අක්‍ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්‌



මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්‍ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්‌ ඇති බව කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාස්‌ මහතා මාධ්‍යට ඊයේ (9 ) පැවැසීය.

මේ නිසා පෙරවරු 11.00 සිට පස්‌වරු 4.00 දක්‌වා කාලය තුළ ගමන් බිමන් නොයන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය.

අත්‍යවශ්‍ය ගමනක්‌ යැමට නම් ප්‍රමිතියෙන් යුත් අව් කණ්‌ණාඩියක්‌ පළඳින ලෙසත් කුඩයක්‌ ද භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ දිනවල වැඩිපුර ජලය පානය කිරීමද ඉතා යෝග්‍ය වේ.

ගමනක්‌ ගොස්‌ යළි නිවසට පැමිණි පසු ඇල් ජලයෙන් ඇස්‌ සහ මුහුණ සෝදා ගන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය ලබයි



මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වුණා.

ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ඔහු එහිදී ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 178 ක් රැස් කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කළේ ඉණිමේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 06ක්.

මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි. මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිළ IPL තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ අතර එම තරගය පරාජයට පත් වුණා. එම තරගය සඳහා ලසිත් මාලිංග එක්ව සිටියේ නැහැ