18 June 2017

ඩෙංගු මාරයා නොහොත් ශ්‍රී ලංකාව අබියස ඇති ‍අධි වංසගතය

ජනමාධ්‍ය නිදහස ඇති කිසිදු රටක සාගතය වැනි විපත් හේතුවෙන් ජනතාව කුසගින්නේ මිය නොයනු ඇතැයි ප්‍රකාශ කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන අමාත්‍යා සෙන් ය. සාගතය හා කුසගින්න සහ ජනමාධ්‍ය නිදහස අතර ඇති සබඳතාවය කුමක්ද යන්න ඇතැම්විට කෙනෙකු තුළ ප්‍රශ්නයක් මතුවීමට ද ඉඩ තිබේ. එහෙත් ඒ තුළ ඇති සරළ සත්‍යය වන්නේ බාහිර ලෝකය වෙත නිදහසේ තොරතුරු ගලා යාම තුළ විපත් අවම කිරීමට හා විපතට පත්වූවන් ට සහන හා රැකවරණ සැලසීම සඳහා බාහිර පාර්ශවයන්ට ඉඩකඩ ලැබීම ය.

එවැනි අනතුරක් මගහැර යාමට හෝ ඊට සාර්ථක ලෙස මුහුණ දී ඇතිවන විපත් අවම කරගැනීම සඳහා ජනමාධ්‍ය නිදහස ඉතා වැදගත් වන අතරම අප රටට අදාළව සැලකීමේදී ඒ පිළිබඳ ජනමාධ්‍ය සතු අවබෝධය හා සමාජ වගකීම් ද සැලකිල්ලට ගැනීම වැදගත් වන බව පෙනීයයි. රෝහලක ගේට්ටු වැසීම ප්‍රශ්නයට පිළිතුරක් ද යන මැයෙන් අද දවසේ පළවූ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් සිය කතුවැකිය වෙන්කර තිබීම තුළ පැහැදිළි වන්නේ අප රට මුහුණ දෙන ප්‍රමුඛ ගැටලු පිළිබඳ ජනමාධ්‍ය යම් උනන්දුවක් දක්වන ආකාරයයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. යම් ජාතික ආපදාවකදී එහි විනාශකාරී ප්‍රතිඵල හා එහි අතුරු තේමාවන් පිළිබඳව අප රටේ ජනමාධ්‍ය දක්වන උනන්දුව ජාතික වශයෙන් මතුවන ආපදා වැළැක්වීම සඳහා සහ එහි අනිටු විපාක අවම කරගැනීම සඳහා දක්වන්නේ ද යන්නය. ඒ පිළිබඳව රටක් ලෙස අප ගැඹුරින් අවධානය යොමුකළ යුතු වන්නේත් මේ රටේ සියලුම ජනමාධ්‍ය එකී සමාජ වගකීම ගැඹුරින් ඉටුකළ යුතු වන්නේත් මේ වනවිට අපේ රට දැවැන්තම ආපදාවක මුව දොරකඩට පිවිස ඇති නිසාය. නිසැක වශයෙන්ම එම දැවැන්ත අනතුරෙහි පෙර නිමිති මේ වනවිටත් පැහැදිළි ලෙසම මතුවී හමාරය. එම අනතුර සපුරාම පරාජය කරන්නේ ද එසේ නැතහොත් සිය දහස් ගණනක මිනිස් ජීවිත ඒ තුළ පරදුවට තබන්නේ ද යන්න තීරණය කරනු ඇත්තේ මේ රටේ සෞඛ්‍ය අංශ පමණක් නොව මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒ සඳහා සූදානම් කරන ආකාරය අනුවය. එම අනතුර හා එහි ඇති බිහිසුණු බව මේ රටේ ජනතාව තේරුම්ගන්නා ආකාරය අනුවය. රටක ජනමාධ්‍ය වෙත දැවැන්ත කාර්යභාරයක් හා වගකීමක් පැවරෙන්නේ එතැනදීය.

මේ මොහොතේ අප රට හමුවේ ඇති දැවැන්තම අභියෝගය මතුව ඇති ඩෙංගු ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවය. එය සැහැල්ලුවෙන් සැලකීම හෝ අවතක්සේරු කිරීම බොහෝවිට ජාතික විපතකට කෙරෙන විවෘත ආරාධනාවක් වියහැකිය. අප රට මුහුණ දුන් සුනාමි, ගංවතුර හා නායයෑම් වැනි අනතුරු වලින් ගෙවූ වන්දියටත් වඩා වැඩි වන්දියක් ඒ තුළ සැඟව ඇති බව මෙහිදී අප සියලු දෙනාම මැනවින් තේරුම් ගතයුතුය.

ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යාම නිසා රටේ ඇතැම් රෝහල් පිරී ඉතිරි ගොස් හමාරය. වසංගත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීම සඳහා ද නිර්මිත අංගොඩ උණ රෝහලට තවදුරටත් රෝගීන් භාරගත නොහැකි වන මට්ටමටම ඩෙංගු රෝගීන්ගෙන් එය පිරී ගොස් තිබේ. මේ වනවිට ගම්පහ සහ මීගමුව යන රෝහල් ද ඊට එක්වී ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට මේ වනවිට රටපුරා රෝගයට ගොදුරු වී ඇති ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ද හැත්තෑදහසක් පමණ වී තිබේ. මේ තත්වය රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අතිශය බැරෑරුම් තත්වයක් බව අප තේරුම්ගත යුතුව තිබේ. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු සෞඛ්‍ය අංශ එහිදී ඉතාමත්ම වගකීම් සහගත ප්‍රශංසාවට ලක්වියයුතු අන්දමේ අනගි කැපවීමකින් කටයුතු කරන බව ද ඒ සමගම අප පිළිගත යුතුය. එහෙත් ඒ සමගම අප තේරුම්ගත යුත්තේ ඇතිවිය හැකි අවදානම හමුවේ නිසි වැඩපිළිවෙලක් හා දැනට වඩා සක්‍රීය ජාතික මට්ටමේ මෙහෙයුමක් දියත් නොකළහොත් තත්වය දැනට වඩා බොහෝ සේ අවදානම් වියහැකි බවය.

නියත වශයෙන්ම ඩෙංගු රෝගය අද වනවිට අප රට තුළ පවතින්නේ අධි වසංගත තත්වයකය. පසුගිය මුළු මහත් වසර පුරාම ශ්‍රී ලංකාවෙන් හමුවූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණයටත් වඩා ගෙවී ඇති මාස හයක කාලය තුළදී රෝගීන් වාර්තා වී තිබීමෙන්ම ඒ බව වටහාගත හැකිය. එහි ඇති බරපතළකම වඩා පැහැදිළි වන්නේ සාමාන්‍යයෙන් අප වැනි රටවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ජූනි හා දෙසැම්බර් යන කාලසීමාව තුළදී බව තේරුම් ගැනීමෙනි. ඒ අනුව දැන් අපි ප්‍රවේශ වී ඇත්තේ එම කාලසීමාවට ය.

ඒ අනුව රටක් ලෙස අපට තවදුරටත් කල්මැරීමට හැකියාවක් නැත. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම මුළු මහත් ජනතාවම තම තමන් හමුවේ ඇති අවදානම පැහැදිළිවම තේරුම්ගත යුතුය. සාමාන්‍යයෙන් සිදුකරන ආපදා වාර්තාකරණයට සීමා නොවී මහජනතාව දැනුවත් කරමින් ඩෙංගු උවදුරට එරෙහි දැවැන්ත සංග්‍රාමයකට මුළුමහත් රටම යොමුකිරීම මේ මොහොතේ ජනමාධ්‍ය හමුවේ ඇති ප්‍රමුඛ වගකීමක් වේ. එමෙන්ම එහිදී ආපදා සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පළකර ඇති අදහස ද කිසිවෙකු අවතක්සේරු නොකළයුතුය.

නියතවශයෙන්ම අප හමුවේ මතුවෙමින් එන්නේ ජාතික මට්ටමේ ආපදාවකි. එයට මුහුණ දියයුත්තේ ද ජාතික මට්ටමෙන් වූ දැවැන්ත ක්‍රියාන්විතයක් තුළය. ඒ සඳහා මේ රටේ සියලුම අංශ දැවැන්ත කැපකිරීමක් සිදුකළයුතුව තිබේ. මක්නිසාද යත් මතුවෙමින් ඇති අනතුර එතරම්ම භයානක වන නිසාය.

| සුනිල් ජයසේකර

ජඩමාධ්‍යවේදය: දිනමිණ ‍මාධ්‍යවේදය රාජපක්ෂ සමය කරා පල්ලම් බැසීම

යුද සමයෙහි මෙරට අතුරුදහන්වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් ඇත්ත සොයා දෙන ලෙස ඉල්ලමින් 104වන දිනයට උද්ඝෝෂණයේ යෙදී සිටින මව්වරු පිරිසක් ජූනි 15 දින මහ මුහුදට බැස සිය විරෝධතාවයට නව මුහුණුවරක් එක් කළහ. ඔවුන් කියා සිටියේ සිය දුක් ගැනවිල්ල කියන්නට වෙන අයෙකු නැති බැවින් තමන් මහ මුහදට එම පැමිණිල්ල රුගෙන යන බවයි.

සිය ඉල්ලීම් සඳහා අවධානය දිනා ගකු පිණිස විවිධ ක්‍රමෝපා යොදා ගැනීම අලුත් දෙයක් නොවේ. එනමුත් මෙම මව්වරුන්ගේ උද්ඝෝෂණය දැන් මංගල සමරවීර යටතේ ඇති රාජ්‍ය පාලිත දිනමිණ විසින් වාර්තා කර තිබුණේ රාජපක්ෂ සමයේ  මෙැවනි අවස්ථා සඳහා යොදා ගත් තුච්ජ බාසාවකිනි.

එම වාර්තාවෙහි  දිනමීණ පුවත්පතෙහිද කළක් සේවය කළ රාජපක්අෂවරුන්තු විසින්රු  අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැළීගොඩ වෙනුවෙන් අඛන්ඩ උද්ඝෝෂනයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ සම්බන්ධයෙන්ද යොදා ඇත්තේ අපහාසාත්මක බාසාවකි.

මුහුදට ගිය පිරිස් එළෙසින්ම යළි පැමිණි අතර දිනමිණ කියන පරිදි ඔවුන් මුහුදට පැන්නේවත් කිසිවකුට බේරා ගැනීමට සිදුවූයේ වත් නැත.

එම වාර්තාව පහත පළවේ. රතු අකුරින් ඇති කොටස් සැළකිල්ලෙන් කියවන්න.

දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය.

දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ.

කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය.

උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද මුහුදට පැන්න අය අතර සිටිමද විශේෂත්වයකි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් අතුරුදහන්වුවන්ගේ ඥාතින් ගේ සංගමයේ ලේකම් නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි හෙවත් ආශා සිදු වු සිද්ධිය ජංගම දුරකතනයෙන් විඩියෝගත කල ආරක්ෂක බුද්ධ අංශ සමාජිකයන් කිහිපදෙනෙකුට බැණවැදිම නිසා එම පිරිස ඉවත්ව ගියේය.

මාධ්‍යවේදින් නොවන අය මෙය විඩියෝ ගතකිරිම සම්බන්ධයෙන් ඇය එහිදි විරෝධය පල කලේය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ ඥාතින් ගේ සහයට මඩකලපු ,වව්නියාව ආදි ප්‍රදේශවලින් ද පිරිස් පැමිණ සිටියහ. උද්ඝෝෂණයේදි යෙදි සිටි සියලු දෙනා අතුරුදහන් වු හා පැහැරගත් තම ඥාතින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර විරෝධතාවයේ යෙදිසිටි අයුරු දැකගත හැකිවිය.

තම ඥාතින්ට සිදුවුයේ කුමක්ද යන්න හෙලිකිරකිම, ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස්කිරිම යන ඉල්ලිම් මුල්කරගෙන මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරතිබුණි.

(ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද)
ජායාරූප දිනමිණ වාර්තාවෙනි.

අයි එස් ත්‍රස්තයින් මෙරටින් සාමාජිකයින් බදවාගන්නා බවට තොරතුරු

26 Muslims pose in ISIS t-shirts at a mosque in Tamil Nadu state
ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සදහා තරුණ පිරිස් බදවා ගැනීමේ කටයුතු සිදුකෙරෙන බව ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් සේවය අනාවරණ කර තිඛෙනවා.

ඒ විශේෂ වාර්තාවත් හරහායි.

ඉන්දියාව විසින් අත්අඩංගුවට ගත් අයි එස් ක්‍රියාකාරීන් විසින් මේ පිළිබද අනාවරණ කර ඇති බවයි හෙළිවන්නේ.

මෙය අයි එස් සංවිධානය විසින් ගෝලීය වශයෙන් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් සැලසුම් කරන සාමාජිකයින් බදවා ගැනීමේ වැඩසටහනක් බව දැක්වෙනවා.

එවන් ත්‍රස්ත සාමාජිකයින් කිහිප දෙනකුම ඉන්දියාව විසින් පසුගිය සමයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
එසේ අයි එස් ත්‍රස්තවාදීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් තරුණයින්ගේ මනස වෙනස් කරමින් ත්‍රස්තවාදයට සම්බන්ධ කර ගැනීමේ නිරත වන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙවන් තත්ත්වයන්ට මුහුණදීම සදහා මෙරට ජාතික ආරක්සාව සවිමත් බවයි මීට පෙර රජය සදහන් කළේ.

විග්නේශවරන් විරෝධී විශ්වාසභංගයේ සුලමුල

ජායාරූපය: මහඇමැති විග්නේශ්වරන් තමන්ට සහාය පළ කරන තරුණ පිරිස් සමඟ.
සිරාජ් හසීම්.
උතුරු පළාත් සභාවේ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි පිළිබඳ අවධානය යොමු කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල විද්වත් කමිටුවක් ඉකුත් වසරේ සැප්තැම්බරයේ දී පත් කළේය.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් දූෂණ වංචා සිදුකරන බවට පැමිණිලි ලැබුණේ මීට වසර එක හමාරකට පමණ පෙරාතුවය. එම කාලයේ පළාත් මන්ත්‍රීවරුන් 16 දෙනෙකු මහ ඇමතිවරයා වෙත මෙම අමාත්‍යවරුන් සිව් දෙනා සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි ද සිදුකර තිබුණි. මහජනතාව ද මහ ඇමතිවරයා වෙත මේ පිළිබද පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පළාත් සභාවේද අනුමැතිය ඇතිව විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමික දිසා ලේකම්වරයෙකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදී. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඒ පිළිබඳ විමර්ශන අරඹූ කමිටුව මේ වසරේ මැයි මාසයේ දී විමර්ශන අවසන් කළේය. කමිටුව සිය විමර්ශන වාර්තාව මේ මස (ජුනි) මුල පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට බාර දුන්නේය.

පිටු 82කින් යුත් එම වාර්තාවේ උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන්ට එරෙහිව චෝදනා 10ක් , අධ්‍යාපන ඇමති ටී. ගුරුකුලරාජාට එරෙහිව චෝදනා 09ක්
, සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට එරෙහිව චෝදනා 05ක් සහ ධීවර හා ප්‍රවාහන ඇමති ටෙනීස්වරන්ට එරෙහිව චෝදනා 04ක් වශයෙන් චෝදනා 29ක් අන්තර්ගත කර තිබුණි.

විමර්ශන වාර්තාව ප්‍රධාන අමාත්‍යවරයා අතට පත්කිරීමත් සමග උතුරු පළාත් සභාවට සුළි සුළඟක් හමාගියා සේ දැඩි ආන්දෝලනයක් ඇති විය. මෙම විමර්ශනයට අනුව පළාත් සභාවේ දූෂණ වංචා සහ අකටයුතුකම් සිදුකළ බවට චෝදනා ලැබූ ඇමැතිවරුන් බේරා ගැනීම සදහා දේශපාලන බලපෑම් රාශියක් එල්ල වුවත් ඒ කිසිවක් නොසලකා මහ ඇමැතිවරයා කටයුතු කරන බව පෙනුණි. උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි.

මෙම චෝදනා අතරින් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යවරුන්ට එරෙහි චෝදනා රැසක් සාක්ෂි සහිතව සනාථ වන හෙයින් එම අමාත්‍යවරුන් දෙදෙනා ඉවත් කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයැයි කමිටුව නිර්දේශ කර තිබුණි. එමෙන්ම චෝදනා එල්ල වන සත්‍යලිංගම් සහ ටෙනීස්වරන් යන අමාත්‍යවරුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට පැමිණිලිකරුවන් නොපැමිණීම හේතුවෙන් ඔවුන්ගේ චෝදනා සාක්ෂි සහිතව සනාථ කරගත නොහැකි වූ බවද එහි සඳහන් විය.

මෙම වාර්තාව පසුගිය 07 වැනි දා පැවති උතුරු පළාත් සභා සැසිවාරයේදී විග්නේෂ්වරන් මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත්කිරීම සදහා විශේෂ පළාත් සභා සැසිවාරයක් පසුගිය 14 වැනිදා කැඳවීමට තීරණය විය. එමෙන්ම චෝදනා එල්ල වන අමාත්‍යවරුන්ගෙන් එදින නිදහසට කරුණු විමසීමටද තීරණය කර තිබිණි.

මේ තීරණය ප්‍රකාශයට පත්කිරීමට දින තුනකට පෙර මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා, තමන් වෙත මුල් කාලයේදීම ලිඛිත පැමිණිලි සිදුකළ මන්ත්‍රීන් 15 දෙනෙකු හා දුරකතනයෙන් සම්බන්ධ වී ඔවුන්ගේ ස්ථාවරයද විමසා ඇති බව වාර්තා විය. මෙහිදී එම මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී තිබුණේ චෝදනා එල්ල වන අමාත්‍යවරුන් සිව් දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවයි. මහ ඇමතිවරයාගේ අදහස වී තිබුණේද සුදුසුම විසඳුම එය බවයි.

චෝදනා එල්ල වූ අමාත්‍යවරුන් පිළිබද තීරණය ඊයේ (14) ප්‍රකාශයට පත්කරමින් මහ ඇමති විග්නේෂ්වරන් මහතා සඳහන් කර සිටියේ චෝදනා සනාථ වී ඇතැයි කියන කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් සහ අධ්‍යාපන අමාත්‍ය තම්බිරාජා ගුරුකුලරාජා යන අමාත්‍යවරුන් දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බවයි. එමෙන්ම චෝදනා එල්ල වන සෞඛ්‍ය අමාත්‍ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා සහ ධීවර අමාත්‍ය පී.ටෙනීස්වරන් යන දෙදෙනා සම්බන්ධයෙන්ද තවදුරටත් විමර්ශනයක් සිදුකරන හෙයින් මාසයක නිවාඩු කාලයක් ලබා දෙමින් ඔවුන්ගේ අමාත්‍යධූරයන්ද මාසයක කාලයකට අත්හිටුවන බව මහ ඇමැතිවරයා කීවේය. එම අමාත්‍යංශවල ලේකම්වරුන් සමඟ අමාත්‍යංශවල කටයුතු තමන්ම සිදුකරන බව මහ ඇමැති ප්‍රකාශ කළේය.

දූෂණ වංචාවලට සම්බන්ධ උතුරේ අමාත්‍යවරුන් ඉවත් කරන්නැයි බලකරමින් සිටි ඇතැම් පළාත් මන්ත්‍රීවරුන් සහ සෙසු පිරිස සභා සැසිවාරයේදී මහ ඇමතිවරයාගේ මේ තීරණයට එකඟ වූයේ නැත. ඇතැම් මන්ත්‍රීවරු ඊට එරෙහිව මහ හඬින් දෝෂාරෝපණය කරන්නට වූහ. ඝෝෂා කළ බහුතර මන්ත්‍රීවරු තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයෝ වූහ. මහ ඇමතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තවරාසා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු 12දෙනෙක් ඊට විරෝධය පලකරමින් සභාගැබෙන් පිටව ගියහ.

මහ ඇමතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ඇතුළත් මන්ත්‍රීන් 21 දෙනෙකුගේ සහායෙන් මන්ත්‍රීන් 16 දෙනෙකුගේද අත්සනින් මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට  (14) රාත්‍රියේ බාර දෙන ලදී.

විග්නේශවරන් ජනපති සිරිසේන සමඟ
 පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මහතා විසින් මෙම විශ්වාස භංගය ආණ්ඩුකාරවරයාට බාර දෙනු ලැබූ අතර අමාත්‍යවරුන්ව සිටි පී.සත්‍යලිංගම්, පී.ටෙනීස්වරන්, ටී.ගුරුකුලරාජා ඇතුළු මන්ත්‍රීන් 16 දෙනෙකු පෙත්සමට අත්සන් තබා තිබිණි. උතුරේ නොසිටි තවත් මන්ත්‍රීන් පස් දෙනෙකු මීට සහාය වන බවට ප්‍රකාශ කර තිබුණු බව ද කීවේය. මේ වන විට මන්ත්‍රීන් 19දෙනෙකු විශ්වාස භංගයට අස්සන් යොදා ඇති බවද දේශපාලන ආරංචිමාර්ග කියයි.

මහ ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන ඒම පිටුපස වෙනත් දේශපාලන හස්තයක් ඇති බව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයෝ කියති. ඊට හේතු කාරණා කිහිපයක් ඇත. උතුරේ මුළු අමාත්‍ය මණ්ඩලයම ඉවත් කළ යුතු යැයි ස්ථාවරයේ මහ ඇමතිවරයා දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඔහුගේ මහ ඇමතිධූරය සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නේ යැයි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අවධාරණය කර තිබුණි. එමෙන්ම එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් මහතාද කියා සිටියේ මේ ආකාරයෙන් අමාත්‍ය මණ්ඩලයම ඉවත් කිරීමේ හැකියාවක් මහ ඇමතිවරයාට නොමැති බවයි. තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරන සියල්ලන්ගේම පාහේ මේ පිළිබද විරෝධයක් මතුව තිබෙනු දක්නට ලැබිණි.

තමිල් අරසු කච්චි පක්ෂයේ අනතුරු ඇගවීම්ද නොතකා මහ ඇමතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග පළාත් සභා නියෝජිතයින් හරහා ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට මඟ සලසා දී ඇත්තේද තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, එම්.ඒ සුමන්තිරන්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් බවත් ඊට හේතුවී ඇත්තේ අමාත්‍යධූරයෙන් ඉවත් වන්නැයි නියෝග වූ ගුරුකුලරාජා සහ තාවකාලිකව අමාත්‍යධූර අත්හිටුවනු ලැබූ පී.සත්‍යලිංගම් යන දෙදෙනා තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් වීම බවත් දේශපාලන විශ්ලේෂකයෝ කියති.

තවත් අතකින් දෙමළ ජාතික සන්ධානය හා විරසක උතුරේ දේශපාලන පක්ෂ සමගින් මහ ඇමතිවරයා කටයුතු කිරීම, මහ ඇමතිවරයාගේ කටින් වරින් වර පිටවන ප්‍රකාශ සහ විනිසුරුවරයෙකු වශයෙන් උතුරු පළාත් සභාවද පාලනය කිරීමට තැත් කිරීම යන හේතූන්ද මහ ඇමතිවරයා සම්බන්ධයෙන් මෙම විශ්වාස භංගය ගෙන ඒමට මුල්වී ඇති බවද මන්ත්‍රීවරු කියති.

2013 වසරේදී උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් අනතුරුව රජයන් විසින් පළාත් සංවර්ධනයට වෙන්කරන ලද මුදල් නැවත ආපසු හරවා යැවීම, මධ්‍යම රජය සමගින් සබඳතා පවත්වන මැති ඇමතින්ට වැට බැඳීම, පළාත් සංවර්ධන කටයුතු සිදුකිරීමට පහසුකම් ඇතත් ඒවා සිදුකිරීමට ඉඩ නොදීම ආදී චෝදනාද පසුගිය කාලය පුරා මහ ඇමතිවරයාට එල්ල විය.

සිවාජිලිංගම් ප්‍රමුඛ මංත්‍රීවරු 15 දෙනෙකු පමණක් අත්සන් කොට  ඇමැතිවරයාට පක්ෂව පෙත්සමක් ආන්බාඩුකාර රෙජිනෝලඩ් කුරේට දුන්හ.
උතුරු මහ ඇමතිවරයා උතුරු පළාත් සභා මන්ත්‍රීන් පිරිසක් සමගින් (15) උදෑසන විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණි. දූෂණය වංචාව තුරන් කිරීම සදහා තමන් ගත් උත්සහාය හේතුවෙන් තමන්ට මේ ආකාරයේ කුමන්ත්‍රණයක් සිදුව ඇති බව මහ ඇමතිවරයා ප්‍රකාශ කර සිටි බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසිය.

එමෙන්ම මහ ඇමතිවරයා සමඟ තමන් සහ මන්ත්‍රී කණ්ඩායමක් එක්ව සිටින බවත් මහ ඇමතිවරයාට ගෙන ආ විශ්වාස භංගය සම්බන්ධයෙන් පළාත් සභා ඡන්ද විමසීමක් සිදුකරන්නේ නම් තමන් ඊට එරෙහිව ඡන්දය දෙන බවත් මහ ඇමතිවරයා විශ්වාස භංගයකින් හෝ ඉවත් කරන්නේ නම් විරෝධතා රැසකට මුහුණ දීමට සිදුවන බවත් හෙතෙම කීවේය.

දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) නිර්මාණය කර ගෙන ඇත්තේ දේශපාලන පක්ෂ හතරකිනි. ඉලංකෙයි තමිල් අරුසුකච්චි, ටෙලෝ, ඊපීආර්එල්එෆ් සහ ෆ්ලොට් එම පක්ෂ හතරයි. 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා ඡන්දයට මෙම පක්ෂ හතර ‘ඉලංකෙයි තමිල් අරුසු කච්චි‘ පක්ෂයෙන් නිවස සලකුණින් ඉදිරිපත් විය. එම පක්ෂය යටතේ ඉදිරිපත් වනුයේ දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස තවමත් ලියාපදිංචි වී නොමැති නිසාය.

උතුරු පළාත් සභාව මන්ත්‍රීවරුන් 38 දෙනකුගෙන් සමත්විතය. ඒ අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙක් වෙති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හත් දෙනෙක් ද මුස්ලිම් කොන්ග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් ද සිටිති.

මේ අතර ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා හා පිරිසක් (15) සාකච්ඡාවක නිරත විය. මේ පිළිබද අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා මෙසේද සදහන් කර සිටියේය.

‘‘උතුරු මහ ඇමති සම්බන්ධයෙන් ගෙන එන ලද විශ්වාස භංගයේ මීළඟ ක්‍රියාමාර්ගය පිළිබද මා ආණ්ඩුකාරවරයා හා සාකච්ඡා කළා. මෙහිදී පක්ෂය විසින් නම් කරන මීළඟ මහ ඇමතිවරයා කවුරුන්ද කියා ඇහුවා. මීළඟ මහ ඇමතිවරයා කවුරුන්ද යන තීරණය තමාට තනිව ගත හැකි තීරණයක් ‍නොවන බව සදහන් කළා.ඒ සදහා පක්ෂයේ මහ ලේකම් සහ නියෝජිතයින් රැස්වී සාකච්ඡා කළ යුතු බව පෙන්වා දුන්නා. අද සවස යාපනය මාටින් වීදියේ පිහිටි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ පවතින සාකච්ඡාවෙන් අනතුරුව මීළඟ මහ ඇමති කවුරුන්ද කියා තීරණය කරනවා.‘ යැයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාද අද යාපනයට පැමිණිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ සංවිධානය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක එම්.කේ සිවාජිලිංගම් මහතා කීවේ පළාත් සභාවේ අමාත්‍යධුර හොරුන්ට ලබා දීමට කිසි විටක එකග නොවන බවයි. මහ ඇමතිවරයා විමර්ශන වාර්තාව ආශ්‍රයෙන් ගනු ලැබූ තීරණය ටෙලෝ සංවිධානයේ පිළිගන්නා බවත්, දේශපාලන වාසි තකා හොරුන් රැකීමේ උවමනාවක් තමිල් අරසු කච්චි පක්ෂයට ඇති බවත් ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගෙන් කළ විමසීමක දී කියා ඔහු මෙසේ කීවේය. ‘‘ 2013 දී උතුරු මහ ඇමති අපේක්ෂකයා විදිහට ඔහුව ගෙනාවෙත් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ හතරම එකතු වෙලයි. සෙසු පක්ෂ ත්‍රිත්වයේම අනුමැතියකින් තොරව අනෙක් පක්ෂ හා කිසිදු සාකච්ඡාවක් හෝ සිදු නොකර විග්නේෂ්වරන් මහ ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ තීරණය තමිල් අරසු කච්චි පක්ෂයට තනිව ගත නොහැකියි. විපක්ෂය සමගින් එක්වී තමිල් අරසු කච්චි පක්ෂය මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහිව කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි නින්දිත ක්‍රියාවක් වන බවද ඔහු කීය.

ස්තුතිය ලංකාදීප පුවත්පතට. ලිපියේ මුල් මැය: සෘජු තීරණ ගැනීමේ විපාක


සැගව සිටින ඥානසාර හිමියන්ගෙන් මාධ්‍යයට ලිපියක්



බොදුබල සේනාවේ උපතෙහි බෑඟිරිය තමතමන්ගේ ලෝකවල කොස්‌ කොළ තොප්පි දමා ගෙන සිටි පිරිසකගේ බරපතළ අප්‍රසාදයට හේතු වී ඇති බව පැහැදිලිය. එය ඔවුනට මරණාසන්න වූ විටෙක ඇතැම් මිනිසුන් දකිනවා යෑයි ගැමියන් විශ්වාස කරන “මරුවිකාර සිහිනයක්‌” තරමටම භයංකර වී ඇත. සමහරුන්ගේ හීනමානය, ජාතික ව්‍යාපාරයේ පරවේණිය සින්නක්‌කරවම තම නමට ලියා ගන්නා තරමටම වර්ධනය වී ඇත. ජාතික ව්‍යාපාරය හෝ සිංහල ජාතිය හෝ පොදුවේ ශ්‍රී ලාංකික ජාතිය බටහිරට ගැති නොවන ක්‍රමවේදයකින් තීරණාත්මක ජයක්‌ ලබන්නට ආසන්න වන සෑම අවස්‌ථාවකදීම, අපේ මළගම සිදුවන තෙක්‌ තොල කට ලෙවකමින් බලා සිටින, පරගැති, ජාතික සිංහ සම් පොරවා සිටින වෘකයන්ගේද උන්ගේ බත් බැල දේශීය හා ප්‍රාදේශීය ඒජන්ත නරින්ගේත් නරිවාදම් වේදිකාගත වීම ස්‌වභාවිකය. කොළඹත් නොව කොළඹට වී අන්තර්ජාලයට දුර්මත පුරවන ඊනියා ලිබරල් චින්තකයන්ගේත්, හඳ එළියට, සෙවනැල්ලකට පවා බුරා පනින ආණ්‌ඩු පක්‌ෂ හෝ විපක්‌ෂ නිලලත් හා නිල නොලත් වාචාලයන්ගේත් ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස යළි වැඩි වී තිබේ.


බොදුබල සේනාව පිළිබඳ වූ අනේකවිධ අර්ථකථනයන් මේ වන විට ප්‍රධාන ධ්‍රැව දෙකක්‌ වෙත සංකේන්ද්‍රණය වී තිබේ. පිරිසක්‌ විසින් ලබාදෙනු ලබන අර්ථකථනය වන්නේ බොදුබල සේනාව විශේෂයෙන් නෝර්වේ අරමුදලින් යෑපෙන එන්ජීඕවක්‌ය යන්නයි. එම චෝදනාවේ ආදී කර්තෘන් සිතා සිටින්නේ තමන්ට අභිමත නොවන ඕනෑම ආයතනයක්‌ එන්ජීඕ ලේබලය අලවා විනාශ කළ හැකි බවය. මෙම නෝර්වේ චෝදනාව නිතරම අප වෙත එල්ල කරන විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා හට තමා ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුව සිටියදී නෝර්වේ මූල්‍ය අනුග්‍රහයෙන් විදේශ සංචාරවල නිරතවීමේ “වරදට” ජාතියෙන් සමාව ගත් බව අමතක වී ඇත. ඔහුට එසේ කිරීමට සිදුවූයේ 2006 වසරේදී කුමාර් රූබසිංහ සමඟ කළ රූපවාහිනී සංවාදයක්‌ අතරතුරදීය.

ඇත්තෙන්ම 2005 පසු මෙරට එන්. ජී. ඕ කාරයින් කටයුතු කළේ තමන් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට වගකිවයුත්තන් ලෙස සිතා ගෙන නොවේ. ඒ සියලු නීතිරීති කොටින්ම මෙරට මාර්ග නීති පවා නොතකා මනෝරාජික වෙනම රාජ්‍යයක සිටගෙනය. ඔවුන්ගේ මනෝ ලෝකය හා සීමාන්තික සිහිනය එතරම් පුළුල් වී තිබිණි. ජය ගන්නට බැරි යෑයි නියත විවරණදී තිබූ යුද්ධය රණවිරුවෝ ජය ගෙන පෙන්වූහ. ඔවුන්ගේ කටවල් වැසිණි. දැන් යළිත් මේ කෙ¹aපැනියෝ සැඟව සිටි ගුල්වලින් පිටතට පැමිණෙමින් සිටිති. නැත· ඔවුන් ගමන් කරමින් සිටි සිහින අධිවේගී වාහනය මේ සමාජ යථාර්ථය නම් කැඩී බිඳී ගිය පාරේ ගමන් කිරීමට පටන් ගෙන ඇත. සිහිනයෙන් අත්මිදෙන්නට සිදුවූවන්ගේ බලවත් කෝපාවිෂ්ඨ මතවාද සමාජගත කිරීමට පටන් ගෙන ඇත්තේ මේ සමාජයේ සුපේෂල ශික්‌ෂකාමී විනය ගරුක සංහිඳියාව කාබාසිනියා කර දමන අමන රැලක්‌ ලෙස බොදුබල සේනාව උලුප්පා දක්‌වමින් ස්‌වකීය සුචරිතවාදී මහත්මා ගුණය තීව්‍ර වන පරිදිය.

පොදුවේ මෙම තත්ත්වය අතීත සිදුවීම් දෙකක්‌ සිහි ගන්වයි. පළමු වැන්න සියවසකට වඩා පැරණිය. 1818 දී ලංකාණ්‌ඩුවේ මුද්‍රණාලයේ සුපරීක්‌ෂකවරයා ලෙස පත්ව ආ ඩී. ඡේ. ගොගර්ලි නම් කතෝලික පූජකයා මෙරට ක්‍රිස්‌තියානිය ව්‍යාප්තිය සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියා කළේය. බෞද්ධ සමාජයේ නිහඬතාව එහි මළගමෙහි සංකේතය කැයි ඔහු සිතීය. එහෙත් නැඟී ආ බොදු බලය ඉදිරිපිටදී අන්දුන් කුන්දුන්ව ගිය ඔහු හා ඔහුගේ සහචර පිරිස “අවුරුදු පනහක්‌ තිස්‌සේ බුද්ධාගම විනාශ යෑයි අප තුළ වූ සිතිවිල්ල වැරදි යෑයි ඔවුන්ගේ ස්‌වාමිවරුන්ට ලියා යෑවීය. ඔවුන් කෙතරම් වික්‌ෂිප්ත වූයේද යත්” බෞද්ධයන් පුදුම විදිහට උද්යෝගිමත්ය. අපේ අය එක්‌කෝ නාකිය, නැතිනම් ලෙඩ්ඩු” යෑයි කියාද ලන්ඩනයට ලියා යවා ජාතික ව්‍යාපාරය විසින් තම අභිප්‍රායේ මළ බෙරය හඬවා ඇති බව පිළිගත්තෝය. දෙවන සිදුවීම මෑත කාලීනය. දශක ගණනාවක්‌ තිස්‌සේ බෙදුම්වාදය හිඟන්නාගේ තුවාලයක්‌ කරගෙන තිබූ ශ්‍රී ලාංකික දේශපාලනය, මෙරට දේශමාමක ජනතාව විසින් බලකර ඉල්ලා සිටි පරිදි යුදමය විසඳුමකින් බෙදුම්වාදය පැරදවීමත් සමඟම වෙනස්‌ වූයේය. එවිට බෙදුම්වාදයේ නඩත්තුකාර යුද කිරීම අකැපය යන උපාසක බළල් සූත්‍රය සිය පැවැත්මේ තීරණාත්මක සාධකය බවට පත් කරගෙන, අලඡ්ජී සාම සංදර්ශනවාදී චෞර සිවිල් සමාජ අවදි වූයේද මේ ආකාරයටමය. දැන් ඊනියා අන්තවාදයක්‌ ගැන කතා කරන පරිදිම එකල ඔවුහු යුද්ධයේ ආදීනව උලුප්පා දැක්‌වෙන කෙබර විශ්ලේෂණ ජනමතය මොට කිරීමට හා වික්‌ෂිප්ත කිරීමටද යුද්ධය ජය ගත නොහැකි බව කියමින් ත්‍රිවිධ හමුදාව අඩපන කිරීමට කටයුතු කළහ. එකල දේශපාලන අධිකාරියේ අනුසරණින් විටෙක ගුවන් හමුදාව පුහුණු කිරීමටද මේ එන්ජීඕ කාරයෝ එඩිතර වූහ. ජාතික වීරයින් ලෙස අද තමතමන් විසින්ම අභිෂේක කර ගනු ලැබුවා වූ වර්තමාන රජයේ ඇතැම් ඇමැත්තන්ද දක්‌කාගෙන “යුද්ධය නවතනු” යි පෙළපාලි යැමටද කටයුතු කළහ. අද බොදුබල සේනාවේ මතුවීම ඉදිරිපිට කෙරෙන වහසි බස්‌ දෙඩීම්ද ඊටම සමානය.

කරුණු කාරණා නොදැන අපට දෙස්‌දෙවොල් තබන පුද්ගලයින් පවා අපට අන්තවාදී හංවඩුව ගසන මහත්තුරුත් නෝනලාත් අත්තනෝමතික ලෙස සිත්තම් කරගෙන සිටි මනෝ ලෝකය යටින් ඉතා සූක්‌ෂම ලෙස දියත්ව තිබූ බෞද්ධ විරෝධී ව්‍යාපෘති පිළිබඳ වටහා ගැනීමට පටන් ගෙන තිබේ. එයින් මේ මහත්තුරුන්ගේත් නෝනලාගේත් කලබල වීම කොතෙක්‌ද යත් “දශක තුනක යුද්ධයේ” සජීවී රූප රාමු යළි යළිත් සිහි කැඳවමින් “ඔන්න බොදුබල සේනාව තවත් යුද්ධයකට අර අඳිනවා” යෑයි කීමට පටන් ගෙන තිබේ. තම තමන්ට ඕනෑ දේ ලියවා ගෙන සමාජයේ ජනමත අවකාශයට මුදාහැර මේ සමාජ බලවේගයට එරෙහි ප්‍රබල විකල්ප බලයක්‌ ඇති බව ප්‍රදර්ශනය කරන්නැයි කියා මේ කුලී හේවායින්ගේ හාම්පුතුන් උන් ලගින මුඩුක්‌කු අභියසට මස්‌ කට්‌ටක්‌ දෙකක්‌ විසි කර ඇත. පොතක්‌ දෙකක්‌ පරිවර්තනය කර උපයා සපයා ගත්තා වූ ප්‍රතිරූපයක්‌ සහිත වූවෝද, කෙළවරක්‌ නැති පාවාදීම් අවසන විකල්ප පත්තරකාරයින්, ජනමාධ්‍යවේදීන් ලෙස ස්‌ථාපනය වී සිටින්නෝද, රාජ්‍ය තාන්ත්‍රිකයන්a සේ පෙනී සිටින චෞරයන්ද, දශක ගණනාවක්‌ තිස්‌සේ වල් බිහි වන සංවර්ධන ක්‍රියාවලියේ පුරෝගාමීන් ලෙස පෙනී සිටින ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ජනනය කළා වූ ඊනියා ලිබරල් චින්තකයින්ද තම තමන් නිදා සිටි සුව නින්දෙන් අනපේක්‌ෂිත ලෙස ඇහැරී ඒ නින්දට බාධා කළා වූ බොදුබල සේනාවේ කාහළ නාදයට අවලාද නැඟීමට පටන් ගෙන ඇත. මේ මතවාදී වහලුන් විසින් දිනාගත් ප්‍රතිරූපය වනාහි ඔවුන්ගේ ප්‍රේක්‌ෂක රැලය. ඒ පාඨක ප්‍රේක්‌ෂක සමූහයා දෙස බලා මේ නව ලිබරල් චින්තකයෝ කිසියම් මනෝ විද්‍යාත්මක රංජනයක්‌ විඳති. ඔවුහු කිසියම් ජනප්‍රියත්වයක්‌ විසින් මෝහනය කරනු ලැබ තිබෙති. දැන් සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ කතා අසා සිටි ප්‍රේක්‌ෂක පිරිස හිඟ වීම හෙවත් තම තමන්ගේ සරුවත් කඩවල් වැසී යන බව ඔවුන් හට තේරුම් යැමය. මෙසේ අලඡ්ජීව ප්‍රකෝප වීම ඉතා සාධාරණ බව අපි අනුකම්පාවෙන් මතක්‌ කරමු.

කොක්‌කෙන් හෝ කෙක්‌කෙන්, හොඳින් නැත්නම් නරකින් ජනප්‍රිය වන ඕනෑම කළු හෝ සුදු සිද්ධියක්‌ ඩැහැ ගැනීමට බක තපස්‌ රකින ජනමාධ්‍ය සංස්‌කෘතියේ “බ්‍රේකින් නිවුස්‌” පිපාසයට අපි කදිම පැන් පොදක්‌ වූ බව දනිමු. බොදුබල සේනාවේ පරමාර්ථවලට එරෙහි සේනාවක සම්පත්වලින් යෑපෙන සමාජ වගකීමකින් තොර ඇතැම් අවස්‌ථාවාදී ජනමාධ්‍යවල පැවැත්ම අපේ තීරණාත්මක සටන් අරගල උණු උණු ජවනිකා නිර්මාණය කළ බවද අපි දනිමු. අප අරගලයට පිළිපන්නේ කැමරාවලට බියෙන් නොවේ. අපි අප නිකුත් කළ සෑම ප්‍රකාශයක්‌ම කළේ දැඩි වගකීමකින් බවද සිහිපත් කරන්නෙමු. ජනමාධ්‍ය වටාපිටාව පිළිබඳ සැලකිලිමත් වීමේදී එදා පානදුරා වාදය පැවති සමයට පර්යාය වටපිටාවක්‌ නිර්මාණය වී ඇති බව පෙනේ. ජනප්‍රිය පානදුරා වාදයත් එතරම් ජනප්‍රිය නොවුවද බද්දේගම ඌරුගොඩවත්ත ගම්පොල හා උදම්විට ආදී ස්‌ථානවල පැවැත්වුණු තවත් වාද හතරක්‌ද සමඟින් මේ වාද කිරීමේ ක්‍රමවේදයට මිගෙට්‌ටුවත්තේ හිමියන් ඇතුළු සෙසු සංඝ පීතෘන් වහන්සේලා අවතීර්ණ වන්නේ ප්‍රධාන වශයෙන්ම සමකාලීන ජනමාධ්‍ය වාතාවරණය සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම සඳහා ඉතා ලඝූ අනුග්‍රහයක්‌ දැක්‌වීමත් බෞද්ධයා සතුව මුද්‍රණ තාක්‌ෂණය නොමැති වීමත් නිසාය. දහනව වන සියවසෙහි අවසන් අර්ධයේදී සීමාවක්‌ නැති ක්‍රිස්‌තියානි මුද්‍රිත ප්‍රකාශනවලින් බෞද්ධ සමාජයට වන බලපෑම නිසා සමකාලීන බෞද්ධ නායකයින් දැඩි තැති ගැන්මකට ලක්‌වූ බව පෙනේ. බඹරැන්දේ රේවත හිමියන් වරෙක ප්‍රකාශ කළ පරිදි අතින් ලියා පොත් පළ කර බෞද්ධයා හට මෙම තත්ත්වයට මුහුණ දිය නොහැකි විය. එහෙත් ලක්‌ෂ සංඛ්‍යාත ඒ ප්‍රකාශන අභිබවා නැඟී ආ ගුණානන්ද හිමියන්ගේ හඬින් මීෂනාරීන් සලිත වූවාහුය. එහෙයින් ඇතැම් ජනමාධ්‍ය ගෙන යන බොදුබල සේනා විරෝධී වැඩපිළිවෙල ගැන අප තුළ අල්පමාත්‍ර හෝ කලකිරීමක්‌ නැත. ගෙයක්‌ ගෙයක්‌ ගාණේ බණක්‌ බණක්‌ ගාණේ සිංහල බෞද්ධයා අවදි කිරීමේ සටනට පණ දීම අපට අසීරු නැත.

සිංහල බුද්ධාගමක්‌ ඇත්දැයි ප්‍රශ්න කිරීමට තරම් සතුරා ශක්‌තිමත් වී ඇතැයි සිතීම ඉඳුරාම නිවැරදි නොවේ. ඇත්තෙන්ම සිදුවී ඇත්තේ සිංහල බුද්ධාගමක්‌ නැතැයි කියා සිංහලයාට ඒත්තු ගැන්වීය හැකි යෑයි සිතන තරමට සිංහලයා පිළිබඳ අකර්මන්‍ය දුර්වල නපුංසක අර්ථකතනයකට ඔවුන් ළඟා වී සිටීමයි. දැන් ඔවුහු ලියති. ලියා අප අඩපණ කළ නොහැකි බැව් වැටහෙත්ම අප අඩපණ කිරීමට වෙනත් පිල්ලිද එවීමට ඉඩ ඇත. අපට කීමට ඇත්තේ “සූදානම් නොවී නොසිටිනු” කියාය. සිංහල බෞද්ධ අනන්‍යතාවයේ අවසානය සඳහා ඔවුහු ක්‍රම දෙකක්‌ අනුගමනය කරති. පළමුව සවිඥානක බෞද්ධ සමාජයේ සිවුවනක්‌ පිරිස විඥාන දූෂණයෙන් හා සංස්‌කෘතික සංහාරයෙන්ද, සිංහල බෞද්ධ තරුණ තරුණියන් මෙන්ම තරුණ භික්‌ෂුන් වහන්සේද ඇද වැටෙන විවිධ උගුල් ඇටවීමෙන්ද මේ කාර්යය සඳහා වෙර දරති. දෙවනුව ක්‌ෂණික නිවන් සිහිනයක්‌ පෙන්නා උග්‍ර වෘතයන් සමාදන් වන පිරිසක්‌ බවට ප්‍රබුද්ධ තරුණ සමාජම පත් කර සමාජයේ සාමාන්‍ය පැවැත්ම හා ක්‍රියාකාරීත්වය, එනම් නිෂ්පාදනය, පෝෂණය, ප්‍රජනනය අකර්මන්‍ය කිරීම සිදුවේ. තම තමන් ජීවත් වන මනෝaරාජික විශ්ව ගම්මානය විසින් ඔවුන් කෙතරම් මෝහනයට පත් කොට ඇත්ද යත් ජාතික ආගමික සෝදාපාළුව ඔවුනට සාමාන්‍ය සංසිද්ධියක්‌ම පමණි. ජනේරුවේ සිට සිංහල අවුරුද්ද ද වෙසක්‌ද ඇතුළුව දෙසැම්බරයේ නත්තලද සමරා වසර හමාර කරන මේ නව සර්වාගමික බෞද්ධයාගේ හෙවත් බොදුබල සේනාව ඉටිපන්දමකට බය කර ගත හැකි යෑයි සිතීමට ඉක්‌මන් වී සිටින පිරිසගේ එකම අභිප්‍රාය හැකි ඉක්‌මනින් සිංහලයාට මාර්ග ඵල අවබෝධ කරදීමය. ඒa අන් කිසිත් සඳහා නොවේ. තම පැවැත්මට කරුමයක්‌ව සිටින සිංහලුන් නිවනට “දක්‌කා” තම තමන්ගේ සිතැඟි ඉටු කර ගැනීමටය.

ඒ සඳහා ඔවුහු ආරෝපනය කරගත් බැතියකින් මේ සමාජයේ ජනමාධ්‍ය වැනි ගාමක බලවේගයන් තම ග්‍රහනයට නතු කර ගැනීමට මුදල් ආයෝජනය කරමින් සිටිති. උපැවිදි වන භික්‌ෂුන් වහන්සේලාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට තරම් මොවුන් ලිබරල්ය. දරුවන් සසුන් ගත කිරීම ඉස්‌සර විදිහට දුව පැන යන එක තහනම් කිරීමක්‌ ලෙස තර්ක කර ඔප්පු කිරීමට තරම් ඔවුන් මානව හිතවාදීය.

මෙම ප්‍රතිගාමී න්‍යායාචාරීන්ගේ ක්‍රමවේදයන්ට අනුව බෞද්ධ භික්‌ෂුන් වහන්සේ නැති නම් සංඝ සමාජය යනු අවශිෂ්ට වෙමින් යන සමාජ සංස්‌ථාවක්‌ විය යුතුය. විහාරස්‌ථාන වැසී යද්දී තවමත් නොවැසී ඇති පන්සලකට වී සිවුපසය, තුන්පසය, දෙපසය එක්‌ පසය දක්‌වා අඩු වී ගියත් මොනවා හෝ කොහෙන් හෝ වළඳන බෝඩිංකාරයන් පිරිසක්‌ විය යුතුය. දානයකට, බණකට, පිරිතකට, පාංශුකුලයකට වඩින බෝධි පූජාවක්‌ පවත්වන පිරිසක්‌ පමණක්‌ විය යුතුය. උන්වහන්සේලාගේ දේශපාලන භාවිතාව හෙවත් සමකාලීන සමාජ ගැටලු සමඟ කෙරෙන අන්තර් ක්‍රියාව සර්වාගමික බණකින් පඩික්‌කම් පිරවීමකින් ඔබ්බට නොයා යුතුයි. උන්වහන්සේලාගේ ගමන් මල්ලක තිබිය හැක්‌කේ බුලත් පයියට අමතරව බණ පොතක්‌ පමණි. ඊට අමතරව ලැප්ටොප් පරිගණකයක්‌, පෙන් ඩ්‍රයිව් එකක්‌ එහි තිබිය නොහැක. උන්වහන්සේලා අන්තර්ජාලයේ සැරිසැරීම අකැපය. එවිට උන්වහන්සේලා අන්තවාදීන් ලෙස හඳුන්වනු ලැබෙත්. විහාරස්‌ථානය යළිත්a සක්‍රිය ප්‍රජා මධ්‍යස්‌ථානයක්‌ වීම රුස්‌සන්නේ නැත. ඔවුන්ට අනුව ආධ්‍යාත්මික විමුක්‌තියකින් මෙපිට ජාතික විමුක්‌තියක්‌ ගැන කතා කිරීමට මිනිසුන් විහාරස්‌ථානයට රැස්‌වීම වැරදිය. පන්සලෙන් ගම ඈත් කිරීමේ ස්‌වකීය අභිලාෂය සඳහා ලොකු කුඩා එන්ජීඕ කාරයින් ඉදිකළ ප්‍රජාශාලා පසු කරගෙන පන්සලට මිනිසුන් පැමිණීමට පටන් ගැනීමේ ආශ්චර්යය ඔවුනට අදහා ගත නොහැකි සෙයකි. අසපු ශ්‍රැතියට හෝන්දු මාන්දු වී “සාදු” කියන බෞද්ධයන්ට මේ ඇත්තන් මනාපය, මාර්ගඵල ලැබීමට අත්වැල සපයන්නට පමණක්‌ නොව මහ ගිරි දඹේ නැඟ ගන්නට, ඕනෑම වයසක උපාසක අම්මෙකුට පාන්දර එකට දෙකට වුව කඨීන පෙරහැරේ වෙහෙසක්‌ නැතිව ගමන් කිරීමට පණ පොවන, සිංහල හටන් කවියේ රිද්මයෙන් උපන් “සාදු සාදු සා….දු” හඬ ඔවුනට අරහංය. කොටින්ම මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, වාරියපොල හා හික්‌කඩුවේ සුමංගල, කුඩාපොල රාහුල පරපුර ඔවුන්ට අන්තවාදීන්ය.

පූර්ව විප්ලවීය රුසියානු සමාජයේ කොම්සමෝලයේ නැති ආයතනික හා ගාමක බලයක්‌ විහාරස්‌ථානය නම් ප්‍රජා මධ්‍යස්‌ථානය සතුය. කොම්සමෝලයට සියලු වත්කම් අතහැර එන සහෝදරවරුන්ගේ මීලිෂියා භටයින්ගේ කොමියුනිස්‌ට්‌ ජීවිතය හා පෞද්ගලික ජීවිතය ගැටෙන සැටිත් එම බොහෝ අවස්‌ථාවලදී පෞද්ගලික අභිලාශයන් ඉදිරියේ ඔවුන්ගේ කොමියුනිස්‌ට්‌ බලාපොරොත්තු හා ප්‍රතිපත්තීන් බිඳ වැටෙන සැටිත් අපි රුසියානු සාහිත්‍යයෙන් අසා ඇත්තෙමු. නමුත් තමන්ගේ සියලු වත්කම් අත්හැර දරු පවුල් මවුපියන් අත්හැර පූර්ණ කාලිකයන්ව සසුන් ගත වූ භික්‌ෂුන් වහන්සේගෙන් සමන්විත ශාසනයේ විප්ලවීය විභවතාව මෙම පණ්‌ඩිතයින්ට වහ කදුරුය. හාමුදුරුවන්ගේ ගුණ දොස්‌ සොයන දුශ්ශීලයන්ටත්, බොදුබල සේනාවේ කන්‍යා භාවය විචාරණ අභිසරුළියන්ටත්, ජාතික නැඟිටීම්වල සුජාත භාවය පරීක්‌ෂා කරන දේශ ෙද්‍රdaහීන්ටත්, මුස්‌ලිම් අන්තවාදය සන්නද්ධ මදි යෑයි කියමින් ඊට සටන් පාඨ සපයන දුරාචාරීන්ටත්, දේශපාලන රස්‌තියාදුකාරයින්ටත් ජනමාධ්‍යවේදීන් යෑයි කියා ගනිමින් සැබෑ ජනමාධ්‍යවේදීන් හට නිගා දෙන දුප්පත් මිනිසුන්ගේ සිත්සතන් සමඟ ජෝගි නටන දේශපාලන රස්‌තියාදුකාරයින්ටත් අප අනුකම්පා කරන්නෙමු. ඊට හේතුව මේ උන් ලබන අවසාන මනුස්‌සාත්මය බැවිණි. එය ඌහුද දනිති. 2081 දී නොව හෙට අනිද්දා වුව ලංකාවේ මහ ජාතිය කවුරුන් වුවද උන්ට කම් නැත. රටක්‌, ජාතියක්‌, ආගමක්‌ පිළිබඳ කැක්‌කුමක්‌ද උන්ට නැත. නියත වශයෙන්ම ඕපපාතිකව ඊළඟ ජන්මයේ පටන්ම අවීචි මහා නරකයක තමන් උප්පාද වන බව දත් අත්ලොස්‌සක්‌ වූ මේ අඥාන මිනිසුන් සමූහය කවදා හෝ තිරිසන් ගත ආත්මයකින් මිදෙන්නේද අපේ පුණ්‍යානුමෝදනාවකින්ම බවද මතක්‌ කරනු කැමැත්තෙමි.

ඒ සටන නොමඟ යෑවීමට අටවා ඇති උගුල් බොරුවළවල් සංඛ්‍යාවද ගණනින් මෙතෙකැයි කිව නොහැක. අපට අපේ අරමුණ කරා සංයමයෙන් ළඟා වනු වෙනුවට ඒ ගමනට සහාසිකව අකුල් හෙලන දසමර සෙන් සමඟ සටන් කිරීමට සිදුවී හෝ සලස්‌වා ඇත. අපේ කාලය ශ්‍රමය අද වැය වන්නේ ඒ සඳහාය කම් නැත. බුදුරජාණන් වහන්සේ ස්‌වකීය අරමුණ වූ ලෝකෝත්තර විමුක්‌තිය කරා මේ වසරේ දුක්‌ විඳින ජනී ජනයා ගෙන යැමේ අධ්‍යාත්මික ගමන ගියේ අනන්ත අප්‍රමාණ තීර්තක ප්‍රහාර මැද ඒවා සාර්ථකව ජය ගනිමින් බව බොහෝ දෙනාට අමතක වීම කනගාටුවට කරුණකි. බෞද්ධ දර්ශනයේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ බොහෝ දෙනා නොදකින එම සත්‍යයන් අපි පසක්‌ කරගෙන සිටිමු. ඔවුන් කියන්නේ බුද්ධාගම රැක ගැනීමට දිවි දුන් ජාතියේ බෝවීම වැරදි බවය. ඒ ජාතියේ බෝවීම වැළැක්‌වීම සඳහා ඔවුන් ලෝකෝත්තර කර “දරුවන් සෑදීම බැඳීම් වැඩිවීම කැ”යි ඔවුන් සාධනය කර තිබේ. ඔවුන්ට අනුව බුද්ධාගමේ විනාශය සඳහා බුද්ධාගමම අපහරණය කිරීම නිවැරදිය. එහෙත් බුද්ධාගමේ ආරක්‌ෂාව සඳහා බුද්ධාගම ගාමක බලවේගයක්‌ ලෙස භාවිත කිරීම වැරදිය. මේ කවර නම් කලියුගයක්‌ද? දිවිහිමියෙන් සටන් කරනු විනා අන් කවර මඟක්‌ දැයි අපි පින්වත් ඔබගෙන් විමසමු.

අප ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්කරුවන් යෑයි අර්ථකතන සපයන, විශේෂයෙන්ම විපක්‌ෂ දේශපාලනඥයින්ටද යමක්‌ මතක්‌ කරදිය යුතුව තිබේ. ඒ මහත්වරුන්ට අනුව නම් අප මේ සිදුකරන්නේ රාජ්‍ය පාලනයේ අකටයුතුකම් නොපෙනෙන ලෙසට ජාතිවාදී “ප්‍රබෝධයක්‌” රට තුළ නිර්මාණය කිරීමය. එසේම ඒ මහත්වරුන්ට අනුව රට තුළ දුගී දුප්පත්කම ඉහවහා ගොසිනි. එහෙත් බඩු මිල ඉහළ දැමීමට එරෙහිව පාරට බැස විරෝධතා පන්දම්පාලි පැවැත්වීම සඳහා විසිපස්‌ දෙනකු එක්‌කාසු කරගැනීම ඔවුනට උගහට වී තිබේ. ඒ හේතුව බඩු මිල ඉහළ යැම මිනිසුන්ට නොදැනීම නොවේ. ඊට විරෝධය පෑමට හෝ එක්‌කාසු වීමට තරම්වත් මේ මහත්වරුන්ගේ දේශපාලන භාවිතාවන් ගැන මිනිසුන් තුළ විශ්වාසයක්‌ නොතිබීමය. ඒ ඔවුන්ගේ ඊනියා විරෝධතා පිටුපස දේශපාලන පරමාර්ථයක්‌ ඇති බැවිණි. මිනිසුන් බොදුබල සේනාව වටා එක්‌ වන්නේ අප පිටුපස දේශපාලන යටි අරමුණක්‌ නොමැති බැවින් බව වගකීමෙන් යුතුව පවසමු. එහෙයින් ඊර්ෂ්‍යාපරවශ ලෙස අපගේ ගමන පිළිබඳ ආඩපාළි කියා තම බංකොලොත් භාවය සඟවා ගැනීමටත්, දැනට සුළු වශයෙන් හෝ ඔවුනට ඇති ජනප්‍රියතාව විනාශ කර ගැනීමටත් ඉක්‌මන් නොවීම ප්‍රඥා ගෝචරය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්
ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
– Divaina

'සමාජ ජාල ශිෂ්ටත්වය වනසනවා' ජනපති කියයි

පාසල් දරුවන්ගේ නිලඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු තීරණයකට එළැඹ නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා  මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, අස්ගිරිය ශී‍්‍ර චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්වෙමින්.

නවීන තාක්ෂණය සමග සමාජය වැළඳගෙන තිබෙන අන්තර්ජාලය සහ ෆේස්බුක් අද දරුවන්ගේ ශිෂ්ටත්වය සහ යහපත්බව විනාශ කරමින් සිටින බව ද සඳහන් කළ ජනාධිපතිවරයා  අධ්‍යාපනය සමග දරුවන්ගේ දැනුම මෙන්ම විනය ද ගොඩනැගිය යුතු බව කියා සිටියා.

අන්තර්ජාලය සහ ඇතැම් මාධ්‍ය ඔස්සේ අද ජාතිවාදය අවුස්සමින් ජාතීන් අතර අසමගිය වපුරුවා රට නොසන්සුන් කිරීමට විවිධ උත්සාහයන් කි‍්‍රයාත්මක වන බවද සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන පුද්ගලයෙකු හෝ සංවිධානයක් ජනතාවගේ දෛනික ජීවිතයට බාධාවන අයුරින් හැසිරෙනවානම් ඔහු කුමන ආගමකට හෝ ජාතියකට අයත් වුවද එය ශිෂ්ටත්වය සහ අධ්‍යාපනය පිළිබඳ ගැටලුවක් බවයි සදහන් කළේ.

පසුගියදා ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පැවති සංවාදයකදී කතෝලික පල්ලි 166 කට පසුගිය මාස කිහිපය තුළ පහර දී තිබෙන බවට එක්තරා පුද්ගලයෙකු කළ ප‍්‍රකාශයක් පිළිබඳ තමා අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගෙන් විමසූ විට එවන් සිදුවීමක් වාර්තාවී නොමැති බවට උන්වහන්සේ ප‍්‍රකාශ කළ බවත්, සමාජය නොමග යවමින් ඇතැම් පුද්ගලයින් කරන මෙවන් ප‍්‍රකාශ තමා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා  මෙහිදී පැවසුවා.

මුහුදු අනතුරු සමයක් අත ළඟ? ධීවරයන්ට උපදෙස්

පසුගිය මැයි 25, 26, 27 දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවේ අවසන් ප්‍රතිඵලය ඉතාම ඛේදජනක විය. නමුත් ඉන්පසුව ‘සැනසුම් සමයක්’ උද්ගත වී ඇතැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් කාලගුණය සම්බන්ධයෙන් එවැනි ලඝු තීරණවලට එළැබීම අතිශය අවදානම් සහිතය.ඒ එක් කාලගුණික විපතක අවසානයත් සමඟම ඊට වඩා බිහිසුණු කාලගුණික විපතක් යළි පැමිණිය හැකි බැවිනි.

නමුදු මැයි මහා ආපදාව මේ යුගයේ අවසන් ස්වභාවික ආපදාව ලෙස සළකමින් බොහෝ අය කටයුතු කරන බව පැහැදිලිව පෙනේ. නමුත් මේ 2017 නිරිතදිග ‍මෝසම් සමය ආරම්භ වූවා පමණි. සාමාන්‍ය පාරිසරික තත්ත්වයන් යටතේ මෙම මෝසම් සමය සැප්තැම්බර් මස මැද කාලය වනතෙක් අප දිවයිනට බලපානු ඇත. එසේනම් ඉදිරියටත් සුළං සහ වර්ෂාවෙන් ආපදා ඇතිවීමේ ඉඩකඩ නැතිවා නොවේ.

මෙම මෝසම් කාලයේ බෙන්ගාල බොක්ක සමුදුර ප්‍රදේශයේ වර්ධනය වන, අඩු පීඩන ප්‍රදේශ (Low Pressure Area) සහ පීඩන අවපාත (Depression) වැනි කාලගුණ පද්ධතිවල බලපෑම් යටතේ දිවයිනේ ආසන්න කාලගුණ තත්ත්වයන් ඇතිවීම බලාපොරොත්තු විය හැකිය.

එවන් වාතාවරණ යන්හිදී ප්‍රචන්ඩ සුළං ප්‍රවාහ සහ අධික වර්ෂාපතන බොහෝවිට ආපදාකාරීය. කැටි වැහි වලාකුළු වල (Cumulonimbus clouds) බලපෑම අනුව අකුණු අතිවීම මෙන්ම ඉතා ප්‍රචන්ඩ සුළං සහිත ටෝනේඩෝවල බලපෑමද බොහෝවිට විපත්ති දායකය.


අයහපත් කාලගුණ පද්ධතිවල බලපෑමෙන් ගොඩබිම පමණක් නොව දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල ඉතා අයහපත් තත්ත්වයන් උද්ගත වන බව අදාල සැවොම අවබෝධ කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි ආපදා කළමනාකරණය කිරීමද අපහසු වනු නොඅනුමානය.

මෙම කාලයේ ශ්‍රී ලංකාව වටා සමුදුරු කොටස්වල නිරිතදිගින් හමන සුළං විටින් විට ප්‍රචණ්ඩ වන නිසා මුහුද රළු බවින් පිරි පවතී. සංකීර්ණ කැටිවැහිවලා වල වැඩෙන දියගොබවලා (Waterspout) සතු ප්‍රචණ්ඩ චක්‍රීය සුළං නිසා සමුදුරු ඉතා රළු වීම බොහෝවිට ධීවරයින්ට මාරාන්තික ආපදා ගෙනඒමට පවා හේතුවේ.


හොඳින් වර්ධනය වූ දියගොබවලාවකට බහුදින ධීවර යාත්‍රාවක් වුවත් මීටර් තිහක් හතලිහක් ඉහළට එසවීම ඉතා පහසු කාර්යයකි. මෙම ආපදාව ඉතාම අවදානම් වන්නේ කැටිවැහිවලා සංකීර්ණවල වර්ධනයවන දියගොබවලා පොකුරු (Multi Waterspout) වල බලපෑම් පවතින අවස්ථාවලය. දියගොබවලා ගණනාවක බලපෑමට යටත්වී බෝට්ටු විනාශවීම මෙන්ම ඉතාම රළු මුහුදේ පිහිනුම් ශූර ධීවරයන්ට පවා සටන් කිරීම අපහසු වීම ඊට හේතුවයි.

පැවතිය හැකි ආපදාකාරී කාලගුණ තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය හරහා ලබාදෙන අනාවරණ පිළිබඳව අපේ නිරතුරු අවධානය ආපදා අවම කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මැද්ද දක්වා අපට බලපාන නිරිතදිග මෝසම් සමයේ විටින් විට බෙංගාල බොක්ක සමුදුරේ පීඩන අවපාත වර්ධනයවන නිසා ඒ පිළිබඳව වන අනාවැකි පෙර ආපදා පියවර දියත් කිරීම උදෙසා උපකාරවනු නොඅනුමානය.

රටක ආපදාවන් කළමනාකරණය රජයට පමණක් කළ හැකි කටයුත්තක් නම් නොවේ. රාජ්‍ය නිලධාරීන්ට අමතරව සමස්ත ජනතාවම ආපදා අවම කිරීමට අවශ්‍ය පියවර දියත් කිරීමේ වගකීම බාරගත යුතුය. පැවතියහැකි ආපදා පිළිබඳව ජනමාධ්‍ය හරහා දැනුවත්වීමේ වගකීම මෙන්ම ආදාල කළමනාකරණ පියවර නිසි වේලාවට දියත් කිරීමේ වගකීම අප සැම සතුය.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ – කේ.ආර්.අභයසිංහ

පොල්තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකරලු - ඇමෙරිකාව

 ගව මස් හා බටර් මෙන්ම, පොල් තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර බව ඇමෙරිකානු හෘදරෝග පර්යේෂකයන් පිරිසක් පවසති.

එහි බහුල වශයෙන් සන්තෘප්ත මේද පවතින බවත්, පොල් තෙල් අධිකව භාවිතය හේතුවෙන් ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යෑ හැකි බවත් ඇමෙරිකානු හදවත් සංගමයේ විශේෂඥයෝ පවසති.

අනෙකුත් සන්තෘප්ත මේද සමග සසඳා බැලීමේදී පොල් තෙල්වල ඇති සන්තෘප්ත මේද ශරීරයට හිතකර බවට විශ්වාසයක් පවතිනවා සේම, බොහෝ අවස්ථාවල පොල් තෙල් ශරීර සෞඛ්‍යයට ගුණදායක බවටද සාමාන්‍ය සමාජයේ මතයක් පවතින බව එම පර්යේෂකයෝ පවසති.

කෙසේ වෙතත්, ඔවුන් පොල් තෙල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයන් තුළින් එම මතය සනාථ කළ හැකි කිසිදු සාක්ෂියක් හමු නොවූ බවද ඔවුහු පවසති.

ඒ අනුව, පොල් තෙල් අධිකව භාවිත කිරීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව පෙන්වා දෙන එම පර්යේෂකයෝ, ඊට ආදේශක ලෙස ඔලිව් තෙල් සහ සූර්යකාන්ත තෙල් යොදාගත හැකි බවද පවසති.

මාලිංග දාපු යෝකර් පන්දුවට ඇමති දයාසිරිගෙන් ප්‍රබල ප්‍රහාරයක්

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් යුද හමුදා කදවුරකට යවා ඔවුන්ට ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කැච් අතහැරීම හේතුවෙන් මැච් පරදින්නේ නොමැති බව සමහරුන් ප්‍රකාශ කලත් කැච් අතහැරීමෙන් මැච් පැරදී ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු කෙනෙකුගේ නම ප්‍රකාශ නොකලද මෑතකදී එවැනි අදහසක් සහිත ප්‍රකාශයක් සිදුකළේ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

මේ මාලිංගගේ ප්‍රකාශය සහ අමාත්‍යවරයාගේ ප්‍රකාශයයි.

VIDEO

මුහුදට හානිකරන රටවල් අතර ලංකාවට 6 වෙනි තැන

වැඩිම ප්‍රමාණයක් ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුහුදට මුදාහරින රටවල් අතර ශ්‍රී ලංකාව 6 වන තැනට පත්ව තිඛෙනවා.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසන්නේ මේ ආකාරයට අපද්‍රව්‍ය මුහුදට වැඩි වශයෙන් මුදා හරිනු ලබන්නේ ධීවරයන් විසින් බවයි.

මෙසේ දිනකට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් ටොන් හයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වන අතර ඒවා එකතු වීම නිසා මුහුදු මත්ස්‍යයන්ට/ කොරල්පර සහ මුහුදු පැළෑටිවලට විශාල වශයෙන් හානි සිදු වන බව තහවුරු කර තිඛෙනවා.

ඒ අනුව මේ පිළිබඳව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ.

ධීවර වරාය මගින් දියඹට යන බහුදින යාත්‍රාවලින් වැඩි වශයෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව තිඛෙනවා.

ඉදිරි දින කිහිපය ඇතුළත දියඹට යන ධීවර යාත්‍රා ධීවර නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන බවත්/ බැහැර කරන අපද්‍රව්‍ය රඳවනයක් යාත්‍රාවල සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යංශය ප්‍රකාශ කළා.
එසේ දියඹට ගෙන යන අපද්‍රව්‍ය යළි ගොඩබිමට ‍නොගෙනෙන ධීවරයන්ට විරුද්ධව නෛතික පියවර ගැනීමටද නියමිතයි.

ශ්‍රී ලංකාව ප්‍රමාණයෙනුත් වෙනස් වෙයි

දැනට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මෙරට භූමියේ ප්‍රමාණාත්මක වෙනසක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.

මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත කියා සිටියේ ඒ අනුව වර්ග කිලෝමීටර 65 610 ක් ලෙස පවතින මෙරට භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර දෙකකින් පමණ වැඩි විය හැකි බවයි.

දැනට ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් අලූතින් වර්ග කිලෝමීටර දෙකහමාරක පමණ භූමි ප්‍රමාණයක් එක්වනු ඇති බවත්, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය හේතුවෙන් භූමියෙන් ප්‍රමාණයක් අහිමිව ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.



යහපාලන ප්‍රබලයෙක් මහින්දගේ හිතවතෙක් එක්ක තරුපහේ හෝටලයක

යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම නිලධරයකු අතර කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා පැවැති රහස් සාකච්ඡාවක් ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා වී තිබෙනවා. මොහු අගමැති රනිල් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කරන මේ ඇමැතිවරයා දකුණු පළාතේ ප්‍රබලයකුද වන බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට සහභාගි වී ඇති රාජපක්ෂ හිතවාදී නිලධරයා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල භූමිකාවක් ගෙන ගිය ආයතන කිහිපයකම මුල් පුටු හෙබවූ අයෙක්.

මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් සමීපතමයකු වන සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයකු බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත රහසිගත වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ වෙනුවෙන් ලබාදෙන සහයෝගය වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද ඉහළ තැන්වලට දැනගන්නට ලැබී ඇත්තේ.

මේ පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවටද වාර්තා වී ඇති අතර යහපාලන රජයට සම්බන්ධ එජාප හා ශ්‍රී ලනිප අතර වසර දෙකක් සඳහා ඇති කරගෙන තිබෙන එකඟතාව තවත් වසර දෙකකට දීර්ඝ කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින මොහොතක ශ්‍රී ලනිපය දෙකඩ කිරීමේ අබිරහස් උත්සාහයක යෙදීම දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබෙනවා.

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

එදා ඇන්ජි ක්‍රිකට් පිත්තේ මිට පෙන්නපුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ලොක්කෙක්ටද ? මෙන්න ඇත්ත කතාව

අයි. සි. සී. ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකාවට තිබුණු දෙවැනි තරඟය අපිට අමතක නොවන තරඟයක්. ඒ අපේ අසල්වාසීන්ට අපේ පොඩි කොල්ලෝ ටික පැල් බැදගෙන දුන්නා මතක ඇති නේ. කෝලි මැච් එකට කලින් කිව්වේ මේක එයාලට පුහුණු තරඟයක් කියලා.

හැබැයි එදා පුහුණු තරඟය එයාලා පරාද වුණා. එදා තරඟයේ අවසන් ලකුණ අරගෙන මැතිව්ස් අමුතු සංඥාවක් දුන්නා මතක ඇති නේ අපේ අයට. එක එදා ලංකාවට අපු වෙලාවෙත් මාධ්‍යවේදීන් පාවා ඇහුවා මැතිව්ස් ගෙන් හැබැයි ආඳා වගේ ලිස්සලා ගියා නේ.

ඔන්න අපිට ආරංචි වුණා. එකේ ඇත්ත කතාව.

ශූරයන්ගේ කුසලානයේ පසුගිය 8 වෙනිදා ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරඟයක් පැවැත්වුණා. ඒ ඉන්දීයාව සමඟ. මේ තරඟය ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් ලබා ගත්තා. මේ තරඟයේදී ඇන්ජි තමන්ගේ අර්ධ ශතකයෙන් පස්සේ සිය පිත්තේ මිට පැත්ත ක්‍රීඩාගරය දෙසට යොමු කරනු ලැබුවා. නමුත් ඒ කාට කුමණ අරමුණක් සඳහා ද ? යන්න කාටත් ප්‍රශ්නයක් වුණා.

බොහෝ ක්‍රීඩා විචාරකයන් සේම ප්‍රේක්ෂකයන් සිතුවේ එය ඔහුගේ අර්ධ ශතකයේ සතුට ප්‍රදර්ශණය කළ දෙයක් බවයි.

නමුත් සිදු වී ඇත්තේ මෙයයි. ඇන්ජි මෙසේ මිට පෙන්වා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ලොක්කෙක්ට බවයි වාර්තා වන්නේ.

කොහොම වුණත් ඇන්ජි මේ තරඟය වෙනුවෙන් අනිවාර්යෙන්ම ක්‍රීඩා කළ යුතු බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය කියලා තියනවා.

ඉන්දීයාව එක්ක තරඟයට ඇන්ජි දාන්න එපා කියලා ක්‍රිකට් තේරීම් කමිටුවේ තව කෙනෙක් දත කාලා තියෙනවා.

සාමාන්‍යයෙන් පිතිකරුවන් ක්‍රිකට් පිත්තේ මිට දික් කරනු ලබන්නේ ආ මෙන්න යන අරුතක් බවයි ප්‍රවිණ ක්‍රීඩා විචාරකයන් නම් කිව්වේ.

කසළ මෙහෙයුම් සඳහා අද සිට හමුදාව

ඩෙංගු වැළැක්වීමේ පියවරක් ලෙස කසළ කළමනාකරණය සඳහා තාවකාලිකව අද (18) සිට ත්‍රිවිධ හමුදාව යෙදවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඩෙංගු මර්දනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඊයේ (17) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඩෙංගු රෝගීන් සඳහා සිදුකරන පූර්ණ රුධිර පටල පරීක්ෂාව සඳහා රුපියල් 250 ක මිලක් නියම කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

මේ අතර කොළඹ නගරයේ ස්ථාන රැසක ගොඩගැසී ඇති කැලිකසළ මේ වනවිට ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර සඳහන් කළේ කසළ වර්ගීකරණය නොකරන පිරිස් මහා මාර්ගය දෙපස කසළ දමා යාම එම ගැටළුවට හේතුව බවයි.

සෑම ප්‍රධාන රෝහලකම ඩෙංගු රෝගීන් සිය ගණනක්‌

රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ඩෙංගු උණ රෝගය හේතුවෙන් සෑම ප්‍රධාන රජයේ රෝහලකම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ මෙම දිනවල ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

කොළඹ ජාතික, උතුරු කොළඹ ශික්‍ෂණ (රාගම), දකුණු කොළඹ ශික්‍ෂණ (කළුබෝවිල) ඇතුළු රට පුරා ප්‍රධාන රෝහල්වල මෙම තත්ත්වය පවතින බව එම ආරංචි මාර්ග කීහ.

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කඩින් කඩ වර්ෂාව ඩෙංගු මදුරුවන් බෝවීම වේගවත් කිරීමට හේතුවී ඇති අතර පසුගියදා හටගත් ගං වතුරට යටවූ ළිං හා ජල මූලාශ්‍රවලද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක්‌ පවතින බව වසංගත රෝග විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති.

මෙම තත්ත්වය මත තම නිවාස, ආයතන, රෝහල් ඇතුළු පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝවන නොවන අයුරින් ශුද්ධ පවිත්‍ර කිරීම මහජනතාව හා බලධාරීන් සතු වගකීම වන බව ඔවුහු කියා සිටිති.

රුධිර හා ඩෙංගු පරීක්ෂණ ගාස්තු අඩුවෙයි

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාර වල රුධිර පරික්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු ලබන හෙට (19දා) සිට වහාම අඩු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් බලධාරින්ට උපදෙස් දී ඇත.

ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදු කරන අතර, එය නැවැත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව රුපියල් 250 ක් ලෙස ද ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000 ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මිට පෙර ඩෙංගු රුධිර පරික්ෂණ සදහා පෞද්ගලික රෝහල් අය කර ඇති ගාස්තුව රුපියල් 3000 ක් වෙයි. රුධිර පරීක්ෂණ වාර්තා පැය භාගයක් තුල රෝගියාට ලබාදිය යුතු වෙයි.

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

සීනි කිලෝවක තොග මිළ රුපියල් තුනකින් අඩු වුවද සිය නිෂ්පාදනවල මිළ පහත නොදමන බව ආපන ශාලා සහ බේකරි හිමියන් පවසනවා.

රුපියල් 99 ක් ව පැවති සීනි කිලෝවක තොග මිළ රුපියල් 96 ක් දක්වා අඩු කිරීමට සීනි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළා.

සීනි ආනයනකරුවන් සතුව කොපමණ තොග ප‍්‍රමාණයක් ඇත්දැයි හෙළි කරන ලෙසයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඉල්ලා සිටින්නේ.

ඉකුත්දා සීනි මිළ ගණන් ඉහළ ගියද සිය නිෂ්පාදනවල මිළ ඉහළ නොදැමු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. එවන් පසුබිමක සිය නිෂ්පාදනවල මිළ පහත දැමිය නොහැකි බවද එම සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මාධ්‍ය වෙත කියාසිටියා.