07 May 2017

මට වඩා මහින්දට ආරක්ෂාවක් අවශ්‍ය ඇයි? – චන්ද්‍රිකා



එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල තර්ජන මධ්‍යයේ පවා මහින්ද රාජපක්ෂ පරිපාලනය 2007 දී මාසයේ සිය ආරක්ෂාව. සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

හිටපු ජනපතිනිය ඒ බව පවසන්නේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩුකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය මතුකරන විරෝධය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමිනි.

2005 නොවැම්බර් මාසයේ තමන් පදවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ තමන්ට ආරක්ෂක භටයන් 300 ක්, ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ආරක්ෂක රථ සපයන මෙන් ආරක්ෂක මණ්ඩලය නිර්දේශ කළ නමුත් තමන් එම ප්‍රමාණය ආරක්ෂා භටයන් 150 ක් දක්වා අඩු කළ බවද හිටපු ජනපතිනිය සඳහන් කරයි.

එහෙත් රාජපක්ෂ පරිපාලනය 2007 සැප්තැම්බර් මාසයේදී එම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ බැවින් මාස දෙකක් පුරා තමන්ට කිසිදු ආරක්ෂාවක් නොතිබුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ උද්ඝෝෂණ සහ විදේශීය රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් රාජපක්ෂ පරිපාලනය තමන්ට ආරක්ෂක භටයන් 40 ක් සහ ඉතා අයහපත් තත්වයේ පැවති ආරක්ෂක රථ පහක් ලබා දුන් අතර තවමත් තමන්ට ලබා දී තිබෙන්නේ ඒ හා සමාන ආරක්ෂාවක් බවත් හිටපු ජනපතිවරිය පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය ආරක්ෂක භටයන් සමග
වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් නොපවතින අතර, යහපත් ආරක්ෂක තත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට තමන්ට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් හිටපු ජනපතිවරියගේ නිවේදනයේ දැක්වේ.

සාර්ථක මැයි දිනයක් පැවැත්වීමෙන් අනතුරුව “දේශපාලන පලිගැනීමක් වශයෙන්” හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කර ඇති බව ඔහුගේ මාධ්‍ය අංශය චෝදනා කර තිබුණි.

මැයි දිනය මත පදනම්ව එසේ ආරක්ෂාව අඩු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එහෙත් හිටපු ජනාධිපතිවරයාට තවමත් පොලිස් නිලධාරීන් 187 දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේද හමුවේ පැවසීය.

No comments:

Post a Comment