27 May 2017

රයිගම් ටෙලි සම්මාන උළෙල ජාතියේ මහා මංගල්‍යක් බවට පත් වී තිබෙනවා

රයිගම් ටෙලි සම්මාන උළෙල ගෞරවණීයත්වයට හා විශ්වාසයට පත්වෙමින් දැන් ජාතියේ මහා මංගල්ලයක් බවට පත් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉකුත් දා (19) කිංස්බරි හෝටල් සංකීර්ණයේ පැවැති දහතුන් වැනි වරටත් සංවිධාන කරන රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල- 2016 සම්මානලාභීන්ගේ නිදේශ නාමාවලිය එළි දැක්වීමේ සැඳෑවට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"රයිගම් සමූහ ව්‍යාපාරයේ සියලුම නිෂ්පාදන සඳහා අපේ වෙළෙඳපොළේ තිබෙන්නේ විශාල කීර්ති නාමයක්. ආචාර්ය රවි ලියනගේ ඇතුළු පිරිස, විද්වත් විනිසුරු මඩුල්ල නායකත්වය ලබා දෙමින් 13 වෙනි වරටත් සංවිධාන කරන මේ සම්මාන උළෙල පිළිබඳ කාගේත් තිබෙන්නේ විශාල විශ්වාසයක්. අපක්ෂපාතී තීන්දු තීරණ දෙමින් සම්මාන උළෙලක් පවත්වනවා පමණක් නොව මෙරට සම්මාන උළෙලවල්වලින් මෙවැනි ආකාරයට සම්මානලාභීන්ගේ නිර්දේශ නාමාවලිය ඉදිරිපත් කිරීමේ සම්මාන රාත්‍රියක් පවත්වන එකම සම්මාන උළෙලත් රයිගම් ටෙලි සම්මාන උළෙල පමණක් බව කිව යුතුයි.

ඒ නිසා මේ පුංචි තිරයේ දක්ෂයන් අතරින් දක්ෂයෝ අද සොයන එක ලේසි පහසු කටයුත්තක් නොවන බව අපි කවුරුත් පිළිගන්නා කරුණක්. මම ජනමාධ්‍ය ඇමැති වු පසු සරසවි සම්මාන හා ජනාධිපති සම්මාන උළෙලවල් පවත්වන්න කටයුතු කළා. ඒ සම්මාන උළෙලවල් දෙකෙහිම සංවිධාන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අපට තේරෙනවා මෙවැනි සම්මාන උළෙලක් පවත්වන්න තිබෙන අසීරුතාව."

මෙවර සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන ප්‍රතිභා ප්‍රභා සම්මානය නිළි රැජිණ මාලනි ෆොන්සේකා මහත්මියට ලබාදීමට කටයුතු කර තිබේ. විශේෂ ප්‍රණාම සම්මාන සංගීතඥ රෝහණ බැද්දගේ, මාධ්‍යවේදි ආචාර්ය ආරියදාස පීරිස් මහත්වරුන්ට මෙවර ප්‍රදානය කරනු ලබයි. මෙහි දී මාධ්‍ය විශිෂ්ටතා හා ටෙලි නාට්‍ය විශිෂ්ටතා අංශ සඳහා සම්මාන තිස් හතක් ද ඒ සඳහා නිර්දේශ නාම එකසිය තිස් හතක් වේ.

අවසානයේ සම්මාන සැඳෑවේ දී ජූරියේ සම්මාන දහයක්, රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන විස්සක්, ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන දහනවයක්, ජනප්‍රිය සම්මාන තුනක් ප්‍රණාම සම්මාන තුනක්, විශේෂ සම්මාන එකක් සමඟ සම්මාන පනස් හයක් ප්‍රදානය කෙරේ.

කිංඩම් රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ හා විනිසුරු මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්‍රික් රත්නායක මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.


No comments:

Post a Comment