04 April 2017

ත්‍රිරෝද රථ ගෙන්වීම වහා නතර කළ යුතුයි



මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දේශපාලඥයන් සිය පක්ෂ, පාට මෙන්ම මැතිවරණ ජයග්‍රහණ අමතකකර තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගතයුතු කාලය එළඹ ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (03දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර ලංකා ප්‍රදර්ශනයට එක්වෙමිනි.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් පමණක් සිදුකරන අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා තවත් පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්රිය භාවිතකරන මගීන් සංඛ්‍යාව 8% සිට 12% දක්වා වැඩිකරගැනීම රජයේ ඉලක්කය වී ඇති බවත්, ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් ඇතිකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භකර ඇති බවත්ඔහු කීය.
කවුරුන් විරුද්ධ වුවද රටේ ඉදිරි ගමන වෙනුවෙන් දැඩි තීන්දු ගතයුතු බව පැවසූ අමාත්‍යවරයා,
“මේවනවිට රටතුළ සිදුවන අනතුරු ප්‍රමාණය සහ රථවාහනවලින් සිදුවන පරිසර දුෂණය පිළිබඳ අවධානය යොමුකරන විට ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට ඔරොත්තු දෙනගමනාගමන ක්‍රමයක් සකස් කළ යුතුයි කියන දැවැන්ත අභියෝගයට අපට මුහුණදීමට තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල දුම් දමන කාර්,වෑන් වෙනුවට විදුලි වාහන ආදී පරිසර හිතකාමී වාහන භාවිතකිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. ඒසඳහා ශ්‍රීලංකාව නැඹුරු කළ යුතුයි.

දවසකට කන්ටේනර් 94 ක් ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට ගල්අඟුරු ගෙනාවා. මුළු පරිසරයම දූෂණය වුණා. මේගැන මම කල්පනා කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා එය නැවැත්තුවා. ඒවෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියක් ලබාදුන්නා. තිරසර සංවර්ධනයට මම එක දායකත්වයක් එලෙස ලබාදුන්නා. ඉන්ධන ප්‍රවාහනය දුම්රිය ඔස්සේ පමණක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග තදබදය අවම කිරීමට දුම්රියෙන් යන මගී සංඛ්‍යාව වන 8% තවදුරටත් 12% දක්වා වැඩිකරගැනීමේ ඉලක්කයක් තිබෙනවා. ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් සැකසීමේ වැඩකටයුතු  අපි ආරම්භ කර තිබෙනවා.

ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ.

පක්ෂ,මැතිවරණ, ඡන්ද පිළිබඳ අමතක කරමින් දේශපාලඥයන් තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගැනීමට කාලය ඇවිත් තිබෙනවා"යනුවෙන්ද පැවසීය.

No comments:

Post a Comment