07 July 2017

කැනඩා රැකියා පෙන්වා මුදල් ගැරීමේ ජාවාරමක්


ශ‍්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර, ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචාකිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත් වී තිබේ.

විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකාරිනිය කොල්ලුපිටිය ලිබර්ටි සාප්පු සංකීරණයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කාන්තාව ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, ඇය දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින්ට ශ‍්‍රී ලංකා රජයට කැනඩා රජයෙන් රැකියා ලැබී ඇති බව පවසමින් එක් අයෙකුගෙන් මූලික ගාස්තු ලෙස රුපියල් ලක්‍ෂ 4 බැගින් ලබාගෙන තිබේ. මෙසේ පුද්ගලයින් තිදෙනෙකුගෙන් මුදල් ලබාගෙන ඇති අතර, ඔවුන් කාර්යාංශයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

"ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් මඟින් ලාංකිකයින්ට කැනඩාවේ රැකියා අවස්ථා ලැබී තිබෙන බව කියමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා හැකිවුණා. මට විශේෂයෙන් දැනුම් දෙන්න තියෙන්නේ කිසිම අවබෝධතා ගිවිසුමක් කැනඩා රජය සමඟින් නෑ. මේ වගේ බොරු දේවල්වලට අහුවෙන්න එපා. මේ වගේ දේවල් ගැන දැනුවත්නම්, විදෙස්ගත ශ‍්‍රමිකයින් හැටියට යන අය කරුණාකරලා බත්තරමුල්ලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිත් තොරතුරු දැනගන්න. මේ වගේ විශාල වශයෙන් මුදල් නාස්ති කරගෙන වංචාකරුවන්ට අහුවෙන එක අපිට බරපතල ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ අයට අහුවෙන්න එපා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ" යනුවෙන් විදේශ රැකියා අමාත්‍යවරිය මේ පිළිබඳ ව අඳහස් දක්වමින් සඳහන් කරයි.

No comments:

Post a Comment