07 July 2017

අමරණීය ජෝති සමුගෙන අදට වසර 30 යි



හෙළ සිනමාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළ ගායන ශිල්පියා වන එච්.ආර් ජෝතිපාල කලාකරුවා දිවි ගමනින් සමුගෙන අදට වසර 30ක් සපිරෙනවා. අභාවප්‍රාප්ත වන විට 51 වැනි වියේ පසු වූ ඔහුව සිහි කරමින් එච්.ආර් ජෝතිපාල පදනම සහ කලා ලංකා පදනම අද දිනයේදී වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිඛෙනවා.

මේ වෙනුවෙන් එච්.ආර් ජෝතිපාල පදනම මගින් සංවිධානය කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානාධිපති පූජ්‍ය පණ්ඩිත දර්ශනපති වතුරවිල සිරිසුමන මාහිමිපාණන්ගේ ධර්ම දේශනයක් සහ මල්පහන් සපිරි බුද්ධ පූජා පිංකමක් ඊයේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වුණා.

එම විහාරස්ථානයේදීම අද සංඝයා වහන්සේලාට දහවල දානය පිළිගැන්වීමෙන් අනතුරුව සවස 3.30ට බොරැල්ල සුසාන භූමියේ ඇති ජෝතිපාල සමරු ස්ථම්භය අසල පුෂ්පෝපහාරයක්ද සංවිධානය කර තිඛෙනවා.

මෙම කටයුතු සඳහා පැමිණ සහභාගී වන ලෙස ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලට හිතවත් රසික මිතුරු කැළට එච්.ආර්. ජෝතිපාල පදනමේ සභාපතිනිය වන ඔහුගේ දියණිය ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල මහත්මිය ගෞරවයෙන් ආරාධනා කරන බව මෙහි මාධ්‍ය සම්බන්ධීකාරක සිරිල් ආරියපාල මහතා සදහන් කළා.

මීට අමතරව එච්.ආර් ජෝතිපාල පදනමේ සාමාජික සාමාජිකාවන් ජෝතිගේ ගීත ගයන සංගීත ප්‍රසංගයක් බොරැල්ල මැගසින් පාරේ ප්‍රජා ශාලාව අසල ඇති භූමියේ අනිද්දා සවස 6ට පැවැත්වෙනවා.

එච්.ආර්. ජෝතිපාල පදනමේ උප සභාපති ප්‍රියන්ත විජයකුමාර මහතා සමග එහි සාමාජික වීරසිංහ පතිරාජ මහතා සංවිධානය කරනු ලබන මෙම සංගීත සන්ධ්‍යාවේ සංගීත අධ්‍යක්ෂණය සංගීත ශිල්පී තිළිණ තුෂාරගෙනි.

කලා ලංකා පදනමේ සභාපති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ උපදේශකත්වයෙන්, විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ‘සිරියමේ සාරා’ ගී ප්‍රසංගයද අද පස්වරු 6.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

1956 වසරේ තිරයට පැමිණි සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ ‘සුරතලී’ චිත්‍රපටයට ‘සිරියාමේ සාරා’ ගීතය ගයමින් තම සිනමා ගායන දිවිය ඇරඹූ ජෝති, ‘කස්තුරි සුවඳ’, ‘තුෂාරා’, ‘ස්විප් ටිකට්’, ‘කවුද රජා’, ‘හොඳට හොඳයි’, ‘වාසනා’, ‘සංගීතා’ ඇතුළු චිත්‍රපට රැසක එඩී ජයමාන්න, බොනිෆස් ප්‍රනාන්දු, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, ජයන්ත දාස් පෙරේරා ඇතුළු නළුවන් වෙනුවෙන් තම කටහඬ පසුබිම් ගායකයෙකු ලෙස ලබා දී තිබුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සංදේශය’ චිත්‍රපටයට ‘පෘතුගීසිකාරයා’ ගීතය ගැයීමට ඔහුට අවස්ථාව ලද අතර, එහි පද රචනය කළේ අභාවප්‍රාප්ත අරියසෙන් අහුබුදු සූරීන්ය. සංගීත අධ්‍යක්ෂණ කළේ සංගීතවේදී සුනිල් ශාන්තයන්ය.

ගායනයට අමතරව ‘ඇතුල්වීම තහනම්’, ‘සුලලිත සෝභනී’, ‘සුජීවා’, ‘සුකිරි කෙල්ල’, ‘අභිරහස’, ‘සුමිතුරෝ’ වැනි චිත්‍රපට වලින් ඔහු සිනමා නළුවෙකු බවටද පත්වුණා.

එච්.ආර් ජෝතිපාලයන්ගේ ඇති සුවිශේෂී බව වන්නේ දිවිගමනින් සමුගෙන වරස 30ක් (දශක තුනක්) ඉකුත් වීමෙන් අනතුරුවත් අදටත් ජනතාව ආදරයෙන් වැලඳගත් ගායකයෙකු බවට පත්වීමට ලැබූ වාසනාවයි. මේ හේතුව නිසාම ඔහු අමරණීය ගායක ජෝති යන විරුධාවලියද ලබා තිඛෙනවා.


No comments:

Post a Comment