07 July 2017

නව ව්‍යවස්ථාව ගැන ජනපතිගෙන් මහනාහිමිවරුන්ට ප්‍රතිඥාවක්



නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ  මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිතුමා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළා.

රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සාකච්ඡාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රි ඥානරතන මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් ප‍්‍රමුඛ අනු නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ.

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද මීට සහභාගී වුණා.


No comments:

Post a Comment