07 July 2017

එ.ජා.ආරක්ෂක මණ්ඩලයේදී කොරියානු අර්බුදය කරළියට

 අත්‍යවශ්‍යතාවක් මතු වුවහොත් උතුරු කොරියාව සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ හමුදා බලයක් යෙදවීමට පසුබට නොවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනී නිකී හේලී පවසා සිටියේ ප්යොන්ග්යැන්ග් පාලනයට එරෙහිව එරට ආරක්ෂක මණ්ඩලය වෙත නව යෝජනාවක් ගෙනඒමටද කටයුතු කරන බවයි.

උතුරු කොරියාව විසින් පසුගියදා සිය නවතම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිනිය මෙසේ පවසා ඇත.

මෙම නවතම මිසයිල අත්හදා බැලීම වර්තමානයේ ඇතිවී තිබෙන යුද උණුසුම තවදුරටත් තීව්‍ර කළ අවස්ථාවක් බව පවසා සිටි තානාපතිනිය, තවදුරටත් උතුරු කොරියාව වෙත වෙළෙඳ සම්බාධක පනවන බවටද අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මේ අතර, ඇමෙරිකානු තානාපතිනියගේ අදහස් දැක්වීමෙන් පැය කිහිපයකට පසුව ඇමෙරිකාව හා දකුණු කොරියාව සිය ඒකාබද්ධ යුද අභ්‍යාසවල කොටසක් ලෙස ජපාන මුහුද වෙත මිසයිල කිහිපයක් අත්හදා බැලීමද විශේෂත්වයක් ගෙන ඇත.

කෙසේ වෙතත්, ඇමෙරිකාව විසින් උතුරු කොරියාව දෙස සතුරු රාජ්‍යයක කෝණයෙන් බලන තාක් තමන් කිසිවෙකු සමග එකඟතාවකට පැමිණීමට සූදානම් නොමැති බව උතුරු කොරියාව පවසා තිබේ. මේ අතර උතුරු කොරියාව වෙත හමුදා බලය යෙදවීමක් පිළිබඳව චීනය හා රුසියාවද සිය විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනමද නොතකමින් උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට තමන්ට අවශ්‍ය පරිදි මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලැබීය. එමෙන්ම, ඔවුන්ගේ නවතම හ්වාසොං-14 අන්තර්මහද්වීපික මිසයිලය කිලෝමීටර් 2,802ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී කිලෝ මීටර් 933ක් ඈතින් පිහිටි ජපාන මුහුදේ ඉලක්කයක් වෙත පතිත වූ බව උතුරු කොරියාව පවසනු ලැබීය.

කොරියානු අර්ධද්වීපයේ මෙම උණුසුම ජපානය වෙතද තදින් දැනී ඇති අතර, මෙම මිසයිල අත්හදා බැලීම අනුමත කළ නොහැකි හා කෝපගන්වන ක්‍රියාවක් බව ජපාන ආරක්ෂක අමාත්‍ය ටොමෝමි ඉනාදා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, කොරියානු අර්ධද්විපයේ යුද උණුසුමට මුවාවී උතුරු කොරියාව වෙත හමුදා බලය යෙදවීම කිසිසේත්ම අනුමත නොකරන බව එක්සත් ජාතීන්ගේ චීන තානාපතිවරයා ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීම අමතමින් සඳහන් කර තිබේ. ඒ අනුව, දකුණු කොරියාව සහ ඇමරිකාව යුද අභ්‍යාස සිදුකිරීම අත්හිටුවීම සහ උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම යන කාරණා මත පදනම්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස චීනය සහ රුසියාව මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.

No comments:

Post a Comment