31 July 2017

1990 ගිලන් රථ සේවයට වසරයි: 33,839කට සේවා

ඉන්දියා රජයේ ආධාර මත මෙයට වසරකට පෙර ආරම්භ කරන ලද ඇමතුම් අංක 1990 හදිසි ගිලන් රථ සේවාව. පසුගිය වසරක කාලය තුළදී හදිසි අවස්ථා 33,839 ක් වෙනුවෙන් සේවා ලබාදී ඇති අතර, ඉදිරි වසරේදී එම සේවාව මුළු දිවයින පුරාම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කීය.

රාජගිරියේ පිහිටි ‍ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලයේදී වසරක් සැමරීමේ උත්සවයට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී තවදුරටත් කතා කරමින් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා, ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදී මේ සේවය අපට ලබා දුන් අතර, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල මෙය හොඳින් ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය ජනතාවට එම සේවය විශාල උපකාරයක් වී ඇති බවද කීය.

හදිසි අවස්ථාවකට මෙන්ම ගැබිනි මවුවරුන්ට මේ සේවාව විශාල සහනයක් බවද අද දින මව්වරුන් තම දරුවන් සමඟ විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටීම පිළිබඳ වඩාත් සතුටුවන පුද්ගලයා තමා බවද කීය.පසුගිය කාලයේ සිදුවූ ගංවතුර විපත් සිදුවූ අවස්ථාවේද විශාල පිරිසක් මෙමඟින් සහන රැසක් හිමිකරගත් බවද අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කීය.

මෙම ගිලන් රථ සේවය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට දැනට සැලසුම් කරගෙන යන අතර, මෙම සේවාවෙහි ප්‍රයෝජන ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවස්ථාව ලබාදී තිබෙන අතර, රැකියා අවස්ථා 2000ක් පමණ ලබාදීමට හැකිවනු ඇතැයිද ඉන්දියානු රජයට අපගේ ගෞරවණීය ස්තුතිය මෙම අවස්ථාවේ පළකර සිටින බවද හර්ෂ ද සිල්වා මහතා කීය. ලංකාවේ වැඩබලන නියෝජ්‍ය ඉන්දියානු තානාපති අරින්දම් බග්ජි මහතා හා වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

No comments:

Post a Comment