31 July 2017

මුරපදය හොයා ගන්නම් ඉවසන්න - අර්ජුන් ඇලේසියස්ට අතිරේක සොලිස්ටර් ජනරාල් කියයි

 පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබා නොදුන්නොත් විමර්ශන නිලධාරීන් එය සොයා ගන්නා බවත්, එතෙක් ඉවසා සිටීමට අර්ජුන් ඇලෝසියස් මහතාට සිදුවන බවත් කොමිසමේ කටයුතුවලට සහාය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා බැඳුම්කර කොමිසමට අද (31දා) දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබාදීමේ අපහසුතාව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසමට පැහැදිලි කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා එසේ දැනුම් දුන්නේය.

2015 පෙබරවාරි මස පළමු වැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.

අර්ජුන් ඇලෝසියස් මහතා භාවිත කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුළු සියලු විද්‍යුත් සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස බැඳුම්කර කොමිසම ඔහුට නියම කළද, ඔහු කොමිසමට බාරදී ඇත්තේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ සිට තොරතුරු පමණක් බවත්, මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කොමිසමට දැනුම් දෙමින් කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තෝබර් මාසයේදී භාවිත කළ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) මුරපදය (Password), භාවිත නාමය (User Name) ආදී කරුණු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කළේය.

බැඳුම්කර කොමිසමේ කටයුතු අවසන් වීමට ආසන්න අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබාදීමේ අපහසුතාව පිළිබඳ පැහැදිලි කළේය.

මේ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ (‘ඇපල් ගිණුමේ) රහස්‍ය අංකය ලබා දුන්නොත් පැය 48ක් ඇතුළත එම උපකරණ සියල්ලම ආපසු ලබාදීමට හැකියාව ඇතැයිද, රහස්‍ය අංකය ලබාදුන්නේ නැත්නම් ඊට විකල්පයක් වශයෙන් එහි රහස්‍ය අංකය සොයා ගන්නා තුරු ඉවසා සිටීමට සිදුවන්නේ යැයිද පැවසීය.

No comments:

Post a Comment