31 July 2017

ෂැංගිලා හෝටලයට ගොස් එන බණ්ඩාරනායක දුටුවෙහිද?

මොස්කව් නුවර සූර්කොෂ් රාජ්‍ය කලායතනයේ ප්‍රධානීයා ද රුසියාවේ ඇකඩමියේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළ සෝවියට් දේශය බිහිකළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු ලෙස සැලකෙන ලෙව් කෙරබල් මූර්ති ශිල්පියා එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. මේ ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියාගේ ඉල්ලීම ඉතා සතුටින් පිළිගෙන ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එය එසේම වන බවට පොරොන්දුවක් ද ලබා දී තිබේ.

ලෙව් කෙරබල් ශ්‍රී ලංකාව තුළ සනිටුහන් කළ අපූරු සළකුණක් ඇත. එය අන් කිසිවක් නොව ගාලු මුවදොර ආසන්නයේ ස්ථාපිත කර ඇති බණ්ඩාරනායක පිළිරුවයි. එම පිළිරුවේ නිර්මාණ ශිල්පියා වන්නේ ලෙව් කෙරබල්ය. කෙරබල් එම නිර්මාණය කරන්නේ සෝවියට දේශයේ රජයෙන් සිදුකළ නියමයක් අනුවය. පංච මහා බලවේගය හමුවේ ඇති නොනිමි මෙහෙවර උදෙසා මහා මාරුතයන් මැද ඝෘජු ලෙස ඉදිරියට ඇදෙන බණ්ඩාරනායක පෞර්ෂය කදිමට නිරූපණය කරන එම ප්‍රතිමාව සෝවියට දේශයෙන් ශ්‍රී ලංකාවට පිදෙන ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන්නේ 1976 වර්ෂයේදී ය. ඒ මොස්කව් නුවර සිට ඒ සඳහාම යොදවන ලද විශේෂ මිග් ගුවන් යානයකිනි.

මාපලගම විපුලසාර හිමි

මෙරටට රැගෙන ආ අසහාය ශ්‍රී ලාංකික පුත්‍රයාගේ පිළිරුව ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානය නිර්ණය කර ඇත්තේ කලාශූරි මාපලගම විපුලසාර හිමිපාණන් විසිනි. එම ස්ථානයේ ඊට සුදුසු පසුතලය හෙවත් ඒ සඳහාම සකස් කරන ලද කඳුගැටය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන සුරේන් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ සියල්ලන්ගේ නිර්මාණ දායකත්වයෙන් ස්ථාපිත කළ බණ්ඩාරනායක පිළිරුව විවෘත කිරීමෙන් පසු එහි නිර්මාණ ශිල්පියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් සිදු කර ඇති ඉල්ලීම කුමක් විය හැකිද?

මැතිණියනි, මේ පිළිරුව මගේ නිර්මාණයක් වුවත් ඒ තුළ මූර්තිමත් වන්නේ මේ රටේ අසහාය නායකයෙකි. එතුමන් කෙරෙහි ද රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව ද සෝවියට ජනතාව තුළ පවත්නා ගෞරවය සනිටුහන් කිරීම සඳහා මෙම පිළිරුව නිර්මාණය කර ඔබ වෙත පිරිනමන්නෙමු. මේ පිළිරුවට කරන ගෞරවයක් ලෙසට මේ පිළිරුව තුළින් මූර්තිමත් වන අසහාය පෞර්ෂය ද බණ්ඩාරනායක මහතා අනුදත් දේශපාලන දර්ශනය ද මැනවින් ප්‍රදර්ශනය වනු පිණිස එය සදාකල් මේ ආකාරයෙන්ම පවත්වාගත යුතුය. එහිදී කිසිඳු විටක මේ පිළිරුව පිටුපස හෝටලයක් ඉදි නොකිරීමට වගාබලා ගත යුතුය. මා ඔබගෙන් කරන එකම ඉල්ලීම එයයි.

ලෙව් කෙරබල් ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියා බණ්ඩාරනායක මැතිණයගෙන් එවැනි ඉල්ලීමක් කර ඇත්තේ එවැන්නක් සිදුවුවහොත් ඒ මගින් බණ්ඩාරනායක පිළිරුව තුළ මූර්තිමත්වන ජීව ගුණයට එමගින් හානියක් සිදුවිය හැකි නිසා පමණක්ම නොවේ. එවැන්නක් මගින් බණ්ඩාරනායක පිළිරුව ඒ හෝටලයේ තවත් එක් අලංකාරික භාණ්ඩයක් බවට ද පත්වන බව මැනවින් තේරුම්ගැනීම නිසා විය යුතුය.

එහෙත් අද වන විට ලෙව් කෙරබල් ද ජීවතුන් අතර නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද අප අතර ජීවත් නොවේ. එහෙත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි දැවැන්ත චරිත මත ගොඩනැගුණු මේ රටට නව දේශපාලන සම්ප්‍රදායක් උරුමකර දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන සමයකදීම බණ්ඩාරනායක පිළිරුව චීන හෝටලයක දොරටුපාලයෙක් කර තිබේ.

ඒ සඳහා මග සකසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එය එසේ සිදු කර ඇත්තේ බණ්ඩාරනායක පිළිරුව ආසන්නයෙන්ම අක්කර 06 කට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් චීන හෝටල් සමාගමකට සින්නක්කරවම විකුණා දැමීම මගිනි. කෝට්ටේ යුගයේ රජකළ දොන් ජුවාන් ධර්මපාලගෙන් පසු මේ රටේ කිසිම පාලකයෙක් එවැන්නක් සිදුකර නැති බවනම් ඉතා පැහැදිළිය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටී අශෝක පීරිස් මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට ජනාධිපති මන්දිරය අසළ යුද හමුදා මූලස්ථානය ද පිහිටි මෙම ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට අයත් ෂැංගිලා හෝටල් සමූහයට විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයට ද හොර රහසේය.

ඒ කෙසේ වුවත් දැන් අප රටට එම ඉඩමේ හිමිකමක් නැත. එහෙත් අප රටට කළ ගෞරවයක් ලෙස සෝවියට සමූහාණ්ඩුව මගින් නිර්මාණය කර පරිත්‍යාග කරන ලද බණ්ඩාරනායක පිළිරුව තවදුරටත් පවතිනවා ඇත. එහෙත් ඒ පෙර පැවති ආකාරයෙන්ම නොවේ. ඉතා නුදුරු දිනයක සංචාරයක පාරාදීසයක් විය හැකි දැවැන්ත හෝටලයක් ඉදිරිපිට ඇති බණ්ඩාරනායක පිළිරුව බොහෝ දෙනෙකුට එදවස දිස්වනු ඇත්තේ හෝටලය තුළ සිට පිටතට එන තවත් එක් පුද්ගලයෙකු ලෙසටය.

මේ රටේ දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටින්නෙකු සැබෑ දේශප්‍රේමියෙකුට අත්කරදී ඇත්තේ එවැනි වූ ඉරණමකි.

| සුනිල් ජයසේකර

No comments:

Post a Comment