05 June 2017

වෛද්‍ය සිසුන් 22ක්‌ අමු අමුවේ මරා දැමූ පේරාදෙණි මර්දනය


පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා විශාලතම විශ්වවිද්‍යාලය වේ. මෙය 1942 වර්ෂයේ ආරම්භ කළ අතර එකල ලංකා විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබුණි. ජවිපෙ 2වැනි කැරලිs සමයේ ඉංජිනේරු, වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය, විද්‍යා, ශාස්‌ත්‍ර, කෘෂි විද්‍යා යන පීඨ එහි තිබූ අතර වර්තමානයේ සම සෞඛ්‍ය විද්‍යා සහ ව්‍යවහාරික වෛද්‍ය විද්‍යා පීඨයකින්ද සමන්විතය.


විවිධ ගැටලු සහ විරෝධතා අතර 1981දී ආරම්භ වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1987 වන විට සිසුන් 700ක්‌ ඇතුළත් කරගෙන තිබිණි. ජාතික අර්බුදය, ශිෂ්‍ය මර්දනය, නිදහස්‌ අධ්‍යාපන කප්පාදුව, රාජ්‍ය භීෂණය ඇතුළු කාරණා ගණනාවක්‌ හමුවේ සංවේදීවූ මෙම සිසුන්ගෙන් බහුතරයක්‌ ශිෂ්‍ය අරගලයට කොන්දේසි විරහිතව බද්ධ විය. මෙම අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ කොළඹ වෛද්‍ය සිසුන් 9ක්‌ සහ රුහුණු සරසවියේ වෛද්‍ය සිසුන් 2ක්‌ද ඝාතනයට පත්විය. එමෙන්ම පේරාදෙණියේ වෛද්‍ය, දන්ත වෛද්‍ය සහ පශු වෛද්‍ය යන පීඨයන්හි එසේ ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 22කි.

















මෙසේ පූර්ණකාලීනව දායක වූ පේරාදෙණිය වෛද්‍ය, දන්ත සහ පශු පීඨයන්හි සිසු සිසුවියන් සංඛ්‍යාව 87දෙනෙකි. ජවිපෙ 2වැනි කැරලි සමයේ එනම් 1986 සිට 1990 දක්‌වා ශ්‍රී ලංකාවේ කිසිදු සරසවියකින් නිදහස්‌ අධ්‍යාපනය සුරැකීමේ සටනට එවැනි විශාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් බිහිවූයේ නැත. මෙම පිරිස අතර සිසුවියන් සිව්දෙනෙකු ද විය. ඔවුන් නම් වෛද්‍ය පීඨයේ චම්පා සෝමරත්න, දන්ත පීඨයේ රේණුකා සුබසිංහ සහ ප්‍රියදර්ශනී මෙන්ඩිස්‌ වේ. එමෙන්ම කෘෂි විද්‍යා පීඨයේ දීපානි චන්ද්‍රසේකරද මුල් පෙළේ ක්‍රියාකාරිනියක විය. මොවුන්ගෙන් කිහිපදෙනෙක්‌ම වරෙක මාස කිහිපයක්‌ම අත්අඩංගුවේද සිටියහ.

පේරාදෙණිය සරසවියේ 1987 ජවිපෙ අභ්‍යන්තර කමිටුවේ සාමාජිකයන් වූයේ අනිල් ජයරත්න, එස්‌. එම්. නිස්‌මි, චම්පා සෝමරත්න, රේණුකා රත්නායක සහ ජවිපෙ නුවර දිසා ලේකම් විල්සන්ය. කෙහෙල්පන්විල පන්සලේ එහි සමාරම්භක කමිටු රැස්‌වීම පැවැත්විණි. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු, විද්‍යා, ශාස්‌ත්‍ර, කෘෂි විද්‍යා යන පීඨයන්හි ද සිසු සිසුවියන් ගණනාවක්‌ම පූර්ණකාලීනව ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධව සිටි අතර ඉන් මියගිය සංඛ්‍යාව 100 කට අධිකය. රංජිත්, ඉඩමෙගම, නිස්‌මි, උපාලි ගජනායක, නන්දන ගුණතිලක, බණ්‌ඩාර ඇතුළු මින් කිහිපදෙනෙක්‌ම ලේඛකයාගේ වෘත්තීය මිතුරන්ය.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත පීඨයන්හි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අතර ශ්‍යාම් පතිරාජ, වී. පී. ධම්මික, කමල් දේශප්‍රිය, එම්.පී.කේ. කීර්ති, ආර්. චන්ද්‍රසිරි, එදිරිසිංහ, සුනිල්, බී. එස්‌. පෙරේරා, සරත් බණ්‌ඩාර, සතරසිංහ, පී. ගාමිණි, එස්‌. බණ්‌ඩාර, අබේරත්න, සුසන්ත සපුතන්ත්‍රි, කොස්‌තා, කෑගල්ලේ රංජිත් වීරසිංහ, මොල්ලිගොඩ, ප්‍රසන්න වික්‍රමසිංහ, එම්.එස්‌.ආර්. කුරේ, රංජිත් රණවීර, තිලකසිරි වනසිංහ, ප්‍රියදර්ශනී මෙන්ඩිස්‌, සුමිත් වන්නිආරච්චි, ඇතුළු කිහිප දෙනෙක්‌ම පෙරමුණේ සිටියහ. පශු පීඨයේ සිසුවෙකු වූ වෙන්නප්පුවේ පදිංචි මැතිව් ප්‍රනාන්දුගේ දෙමාපියන් සහ සොහොයුරියක්‌ ද අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනයට ලක්‌කරන ලදී. පසු කලෙක මැතිව් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ ලේකම් වශයෙන් ජවිපෙ පාර්ශවය නියෝජනය කළේය. එමෙන්ම වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසු කුලියාපිටියේ ඉඟුරුවත්ත වැවගම ගාමීණි සිසිර කුමාරගේ දෙමාපියන් වූ මුතුනායක (54) සහ දයාවතී ද (50), සොහොයුරන් වූ ප්‍රේමකුමාර (28), සරත් කුමාර (15) යන අය 1989 ජුනි 17 අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනය කරන ලදී.

පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත වෛද්‍ය පීඨයන්හි ප්‍රථම වසරේ අධ්‍යයන කටයුතු ඒකාබද්ධව සිදු වන අතර පීඨ තුනේ සිසුන් අතරම ඇති සහෝදරාත්මක බැඳියාව දැඩිය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, පශු සහ දන්ත යන පීඨයන්හි අධ්‍යාපනය ලබමින් සිටියදී ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන් සංඛ්‍යාව 22කි. ඔවුන් නම් වෛද්‍ය පීඨයේ හැටන් මල්ලිඅප්පුහි ජයශ්‍රී කුලසේකර, ගිණිගත්හේනේ උපාලි ජයසේකර, මාතලේ සුනිල් කුමාර කාරියවසම්, කෑගල්ල මඩවල දේවප්‍රිය සිසිර කුමාර, දඹුල්ල තිත්තවැල්ගොල්ලේ එච්. එම්. පොඩිබණ්‌ඩා, නිකවැරටිය තලාකොලවැව විමල් කුලතුංග, ගිණිගත්හේන සනත් ද සිල්වා, සදලංකාවේ සුනන්ද ජයවර්ධන, වැලිමඩ නිශාන්ත තෙන්නකෝන්, කුලියාපිටිය සඳලංකාවේ උපුල් ප්‍රියශාන්ත ඒකනායක, අම්බලන්ගොඩ එම්.ඩී. ධර්මපාල, කුරුණෑගල ප්‍රභාත් ආරියචන්ද්‍ර, කුරුණෑගල පුත්තලම පාරේ පුලස්‌ති ආදිත්‍ය ජයසේකර, කුරුණෑගල රිµaති සකාබ්, අනුරාධපුර කීරකුලමේ පාලිත සෙනෙවිරත්න, නුවර මුරුතලාවේ ඒ.එස්‌.එල්. අතපත්තු, හැටන් නීල් හේමන්ත ලියනගේ ද දන්ත වෛද්‍ය පීඨයේ ගිණිගත්හේන ධර්මප්‍රිය ජයනන්ද සහ රත්නපුරේ විපුල් පෙරේරා හෙවත් දේවක ද පශු වෛද්‍ය පීඨයේ හබරාදූව අඟුලුගහ ජනක සෙනෙවිරත්න, අම්පාර ඉඟිනියාගල ලක්‌ෂ්මන් රංජිත් අබේරත්න සහ කුලියාපිටියේ නිහාල් ප්‍රේමචන්ද්‍ර ද වේ.



ගුණසේකර මුහන්දිරම්ලාගේ ජයශ්‍රී පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට 1981 කනිෂ්ඨ කණ්‌ඩායම ලෙස ඇතුළත් වූයේ 1981 ඔක්‌තෝබර් 5 දාය. හැටන්, මල්ලිඅප්පු පදිංචි ජයශ්‍රී 1963දී ජනවාරි 7 උපන්නේ දික්‌වැල්ලේ බතීගමය. සොයුරු සොයුරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියාය. හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. නුවරඑළිය දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී ගාමිණි දිසානායකගේ 1977 ආධාරකරුවෙකුවූ පියා ධීවර ව්‍යාපාරිකයෙකුගේ සේවකයෙකි. ජයශ්‍රීගේ මවගේ වැඩිමහල් සොහොයුරියගේ පුතෙකු වූයේ තිලකවර්ධන ටෙක්‌ස්‌ටයිල් හිමිකරුය. පේරාදෙණිය වෛද්‍ය පීඨය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනේදී නායකත්වය දුන් ජයශ්‍රී ඒ සඳහා කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කටයුතුවලදීද තීරණාත්මකව මැදිහත් විය. පත්මසිරි අබේසේකර 1984 ඝාතනය කළ අවස්‌ථාවේ සාක්‌කි දුන් අයෙකි. පල්ලෙකැලේ හමුදා කඳවුරට කඩාවැදී අවි පැහැර ගැනීමේ ප්‍රහාරය 1987 අප්‍රේල් මස 14 ශාන්ත බණ්‌ඩාර විසින් සැලසුම් කළේද ජයශ්‍රීගේ සරසවි කාමරයේදීය. ජවිපෙ 1983 තහනමින් පසු සමාජවාදී ශිෂ්‍ය සංගමය 1986 ජුනි 23 ගම්පහදී පැවැත්වූ ප්‍රථම අධ්‍යාපන කඳවුරට සහභාගිවූ 32 අතර ජයශ්‍රී ද විය. පේරාදෙණිය සරසවියේ සිසුන් පිළිබඳව ජවිපෙ වෙනුවෙන් නිස්‌මිට පෙර වගකීම් දැරූ තැනැත්තාය. පසුව ජාතික තලයේ ක්‍රියාකාරකම්වලට යොමු විය. ගම්පහ කලාප නායකයෙකු වශයෙන් අවසානයේදී කටයුතු කළ ජයශ්‍රී විඡේවීර ඝාතනයෙන් පසු කුරුණෑගල මහව හේනක ගොවියෙකු වශයෙන් කටයුතු කළේය. මිතුරෙකු හමුවීමට කොළඹට 1990 ජනවාරි 21 පැමිණි අවස්‌ථාවකදී ලේක්‌හවුස්‌ ඉදිරිපිට රීගල් සිනමා ශාලාව අසලදී පාවාදීමක්‌ මත අත්අඩංගුවට පත්ව ඝාතනයට පත්විය.

වාරියප්පෙරුම දොන් දේවප්‍රිය සිසිර කුමාර 1964 පෙබරවාරි 17 උපන් අතර කෑගල්ල මඩවල පදිංචිකරුවෙකි. මව ඉංග්‍රීසි ගුරුවරියෙක්‌ වූ අතර පියා මහා විද්‍යාලයක උප විදුහල්පතිවරයෙකි. සොහොයුරිය විද්‍යා උපාධිධාරියක්‌වූ අතර සොහොයුරා වෛද්‍යවරයෙකි. සිසිර කුමාර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු විය. කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපොස උසස්‌ පෙළ සමත්වීමෙන් පසු වෛද්‍ය පීඨයට ඇතුළත් වන තෙක්‌ ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ස්‌වෙච්ඡා ගුරුවරයෙකු වශයෙන්ද කලක්‌ සේවය කළේය. පල්ලෙකැලේ 1986 ප්‍රහාරයක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මැගසින්, නුවර බන්ධනාගාරවලද පසුව කුරුඳුවත්ත රේස්‌කෝස්‌ කඳවුරේද රඳවාගෙන සිටි සිසිර කුමාර අවසාන කාලයේ කෑගල්ලේ බහුජන සංවිධානයන්හි ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ අතර දැරණියගලදී 1989 සැප්තැම්බර් 12 අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කෑගල්ල වික්‍රමසිංහ වලව්වේ පිහිටුවා තිබූ වධකඳවුරට ගෙනයැමෙන් පසු ඝාතනයට ලක්‌විය.

එච්.එම්. පොඩිබණ්‌ඩා දඹුල්ලේ උපන් අතර ඔහුට සොහොයුරන් 6ක්‌ සහ සොහොයුරියක්‌ සිටියේය. පියා පළතුරු අලෙවිකරන සුළු වෙළෙන්දෙක්‌ වූ අතර මව ගෘහණියකි. දඹුල්ල මහා විද්‍යාලයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරුණු ප්‍රථම සහ එකම සිසුවාය. කැරැල්ල පරාජයෙන් පසුවද කොළඹ වෛද්‍ය පීඨයේ අතුල සේනාරත්න සමඟ එක්‌ව අන්තරේ සහ සංවිධාන යාන්ත්‍රණය යළි පණ ගැන්වීම සඳහා ක්‍රියාකාරීව මැදිහත්වූ අයෙකි. මහනුවර තැන්නකුඹුරේ පිහිටි ආරක්‌ෂිත නිවසකදී 1990 අගෝස්‌තු 12දා පොඩිබණ්‌ඩා අත්අඩංගුවට ගත් අතර ගම්පහ පොලිසියේ තනිකඩ නිළධාරින්ගේ පොලිස්‌ බැරැක්‌කයක පිහිටි ස්‌ථානයකට ගෙන යැමෙන් පසු 1990 සැප්තැම්බර් 17 තවත් සිව් දෙනෙක්‌ සමඟ ඝාතනයට පත්විය.

විමල් කුලතුංග නිකවැරටිය තලාකොලවැව උපන් අතර මූලික අධ්‍යාපනය නිකවැරටිය විද්‍යාලයෙන් ලබා ගම්පහ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් 1986දී පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුල් විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ පුංචි අම්මා වූ ශීලාගේ සහ මාමා වූ ලෙව්දෙනි පතිරණැහැලාගේ මහීපාලගේ ගම්පහ නිට්‌ටඹුවේ නිවසේ සිටය. පියා බන්ධනාගාර නියාමකයෙක්‌ වන අතර මව ගෘහණියකි. නුවර කලාපයේ ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ ඔහු 1989 ඔක්‌තෝබර් මහනුවර ලේවැල්ලේ හමුදා මුරපොලට කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පසු ප්‍රදේශය වටලමින් කළ සෝදිසි මෙහෙයුමකදී ආරක්‌ෂක අංශ විසින් නුවර ලේවැල්ලේ සිරිමල්වත්ත අසලදී අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කච්ෙච්රිය අසල සිංහ රෙජිමේන්තු කඳවුරට ගෙන ආ අතර තිරස්‌චින වධ බන්ධනවලට ලක්‌ කිරීමෙන් පසු ඝාතනයට ලක්‌විය. විමල්ගේ පවුලේ තිදෙනෙකු වූ අතර එකම සොහොයුරා භික්‌ෂුවක්‌ වන අතර වර්තමානයේ පැවිදි ගුරුවරයෙකි. සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයේ කලක්‌ නිරත විය.

උපාලි ජයසේකර පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු වූ අතර නාවලපිටියේ පාරේ ගිණිගත්හේනේ පදිංචිකරුවෙකි. වටවල වසමේ ග්‍රාමසේවා නිලධාරි වූ උපාලිගේ පියා වු ඇඹපීල්ලේ ගමරාලලාගේ ජයසේකර 1931 උපන් අතර ඉංග්‍රීසි ගුරුවරියක්‌වූ මව ගුත්තිල කවිරාඡ් මුදියන්සේලාගේ ඥානවතී වූ අතර 1937 ලක්‌ෂපාන බොරහේන ගමේ උපන්නෙකි. පිරිමි දරුවන් 4කගේ පවුලක තෙවැනියා වූ උපාලි ජයසේකර 1965 අප්‍රේල් 11 උපන් අතර ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. උසස්‌ පෙළ සිටියදී අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව විරෝධය දැක්‌වීම නිසා 1982දී නෝර්ටන් බ්‍රිඡ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තෙදිනක්‌ රඳවා තබා ගන්නා ලදී. සරසවියේදී මුල්කාලයේ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු පසුව නිහඬවී යළිත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනේදී නායකත්වය ගෙන ක්‍රියා කළේය. කලාවට මෙන්ම ක්‍රීඩාවට දක්‌ෂයෙකුවූ උපාලි ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ පළාත් නායකයෙකු සහ ජාතික කම්කරු සටන් මධ්‍යස්‌ථානයේ කලාපීය නායකයෙකු වශයෙන් කටයුතු කළ අතර 1989 නොවැම්බර් 14 නුවරදී ආරක්‌ෂක හමුදා අත්අඩංගුවට පත්විය. උපාලි ඇතුළු තවත් 4 දෙනෙකුගේ සිරුරු නුවර දුම්රියපොළ අසල මහාමාර්ගයේ දමාගොස්‌ තිබිණි. එදින නුවර දිස්‌ත්‍රික්‌කය තුළ ඝාතනයට ලක්‌වූ සිරුරු 32ක්‌ හමුවී තිබිණි. උපාලිගේ සොහොයුරන් වර්තමානයේ ඉංජිනේරු ඇතුළු විධායක වෘත්තීන්හි නිරත වේ.

නිශාන්ත තෙන්නකෝන් වැලිමඩ උපන් අතර පියා විදුහල්පතිවරයෙකි. මව ගුරුවරියකි. තිදෙනෙකු වූ පවුලේ වැඩිමහල් සොහොයුරිය පේරාදෙණියේ කෘෂි උපාධිධාරිනියකි. නැඟණිය හෙදියකි. අධ්‍යාපනය ලැබුවේ වැලිමඩ මහා විද්‍යාලයෙනි. වෛද්‍ය පීඨයට 1986දී ඇතුළත් වූ ඔහු ප්‍රථම වසරේ වෛද්‍ය සිසුවෙකි. සමාජශීලීs ඔහු පොදු ඇසුරට බර සිසුවෙකි. ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළ අතර කෑගල්ලේදී අත්අඩංගුවට ගත් අයෙකුගේ පාවාදීමක්‌ මත කොළඹදී 1989 ඔක්‌තෝබර් මස 18 අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට ලක්‌විය.

පේරාදෙණිය වෛද්‍ය පීඨයට 1981 මාර්තු(ඡේෂ්ඨ) කණ්‌ඩායමේ සාමාජිකයෙකුවූ නීල් හේමන්ත ලියනගේ හැටන් ශාන්ත ක්‌ලෙයාර් ගම්මානයේ පදිංචිකරුවෙකි. හැටන් ශ්‍රීපාද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජයශ්‍රීගේ එකම පන්තියේ මිතුරෙකි. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකි. වැඩිමහල් සොහොයුරෙක්‌ සහ බාල සොහොයුරියන් 2ක්‌ විය. එම කණ්‌ඩායමේ වෛද්‍ය සිසුන් සමඟ 1987 අවසාන විභාගයෙන් සමත්වූ අතර ඔවුනට 1989 සැප්තැම්බර් 15 සීමාවාසික වෛද්‍ය පත්වීම් හිමිවන විට නීල් හේමන්ත ජිවතුන් අතර නොවීය. පොලිස්‌ වෙඩි ප්‍රහාරයෙන් 1984දී මියගිය දෙවන වසරේ වෛද්‍ය සිසු දෙවන වසරේ පත්මසිරි අබේසේකර සිටි මාකස්‌ නේවාසිකාගාර කාමරයේ සුදත් පතිනිසේකර සමඟ zගඡේ ගසාගෙනz සිටි අයෙකි. නීල් හේමන්තගේ පෙම්වතියද පේරාදෙණියේ වෛද්‍ය ශිෂ්‍යාවක වූ අතර ඇය ආනමඩුවේ පදිංචි හෙයින් නීල් වෛද්‍ය පත්වීම ලැබෙන තෙක්‌ මාරවිල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක සේවය කළේය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වශයෙන් 1988 අවසානය දක්‌වා කටයුතු කළ නීල්, නුවර උඩපේරාදෙණියේ බහුජන සංවිධාන ක්‌ෂේත්‍රයේ පූර්ණකාලීනව කලක්‌ වැඩ කළ අතර පසුව ජවිපෙ කටයුතුවලින් ඉවත්ව සිටියේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරෙකු කෘෂි උපාධිධාරියෙකි.

කල්පිටියේදී 1989 ජුලි 29 ආරක්‌ෂක හමුදා මගින් පැහැරගත් නීල් පසුව හලාවත පොල්වත්තේ වධ කඳවුරකට ගෙන යන ලදී. මාරවිල හන්දිය පසුකර හලාවතට යද්දී අත්හරින ලද ඉස්‌සන් කොටුවක 1989දී අගෝස්‌තු 18 හමුවූ දැවීගිය සිරුරු 3 අතර ඔහුගේ සිරුරද වූ බව විශ්වාස කෙරේ. විපක්‌ෂ ඒකාබද්ධ කමිටුව මෙහෙයවීමෙන් 1992 මාර්තු 16 ආරම්භ වූ කොළඹ කතරගම පාද යාත්‍රාවේදී ඝාතකයන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් විශාල විරෝධතා පුවරුවක්‌ කරේ එල්ලාගත් ඔහුගේ පියා එහි ගමන් කිරීමේදී ලියුම්කරුට හමුවිය. කතරගමින් 1992 අප්‍රේල් 01 නිමාවට පත්වූ එම පාද යාත්‍රාවේ දින 17තුළම නීල් හේමන්තගේ පියා ගමන් කරනු දැකගන්නට ලැබිණි.

මතු සම්බන්ධයි
| ධර්මන් වික්‍රමරත්න

No comments:

Post a Comment