05 June 2017

කෝටි 15කට අධික මුදලක් වැය කරමින් සිරුරට විෂ කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කරලා


රුපියල් කෝටි පහළොවකට අධික මුදලක්‌ වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික්‌ (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක්‌ මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. හත්වැනි ශේa්‍රණියේ භූගෝල විද්‍යා පෙළපොත මෙලෙස මුද්‍රණය කර ඇති අතර, මේ වන විට පොත් දෙලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ සිසුන් අතට පත් කර අවසන්ය.

පෞද්ගලික මුද්‍රණාලයකින් පෙළපොත මුද්‍රණය කර ඇති අතර, විශේෂ නිර්දේශයන්ට අනුව මුද්‍රණය නොකරන්නේ නම් වයස අවුරුදු 12 ක දරුවන්ගේ නිරන්තර පරිහරණය සඳහා වන පෙළපොත් මුද්‍රණයට මෙම කඩදාසි නිර්දේශ කළ නොහැකි බව නිගමනය කළ හැකි යෑයි මීට අදාළව ජාතික ප්‍රමිති හා තාක්‌ෂණ ආයතනය නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි. එම කඩදාසියේ ඇති අන්තර්ගත ඇතැම් සංයෝගයන් ළමයින්ගේ ඇසෙහි, සමෙහි තැවරීම උපද්‍රවකාරී වන බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන්ව ඇත. එමෙන්ම ඇතැම් සංයෝග පෙනහලුවලට, අක්‌මාවට සහ ස්‌නායු පද්ධතියට විෂ විය හැකි යෑයිද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

මෙම සිත්තටික්‌ පෙළපොතේ මුද්‍රණයට අදාළව සිය නිරීක්‌ෂණ ඉදිරිපත් කරන මුදල් ඇමැති රවී කරුණානායක මහතා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව යෝජනා කළ පරිදි ස්‌වාධීන විශේෂඥ කණ්‌ඩායමක්‌ මඟින් ඇමැති මණ්‌ඩලයට සවිස්‌තරාත්මක වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 24 වැනිදා නමින් ඉදිරිපත් කර ඇති එම නිරීක්‌ෂණයන්හි පෙළපොත භාවිත කරන්නේ ළමයින් බැවින් සෞඛ්‍ය, ආරක්‌ෂාව සහ සනීපාරක්‌ෂාව එනම් මෙම කඩදාසිවල අන්තරායකාරී අංශු ගැන තරයේ පරීක්‌ෂා කළ යුතු බවද සඳහන් වෙයි.

තවද පසුගිය වසරේ සැප්තැම්බර් මස දෙවැනිදා නමින් යුතුව ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් එස්‌. එස්‌. මුදලිගේ මහතාද අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කර ඇත්තේ පාසල් දරුවන්ගේ සනීපාරක්‌ෂාව සම්බන්ධයෙන් අධ්‍යයනයක්‌ සිදුකර ඇමැති මණ්‌ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරන ලෙසය.

මුදල් ඇමැතිවරයා සිය නිරීක්‌ෂණ ඔක්‌තෝබර් මස 24 වැනිදා ඉදිරිපත් කර ඇති අතර, ඊට පසු දිනම ව්‍යාපෘතියට කැබිනට්‌ අනුමැතිය ලැබීමද බරපතළ තත්ත්වයක්‌ බව ඉහත ආරංචි මාර්ග පැවසීය.

කෙසේ වුවද මෙම පෙළපොත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයද එහි අධ්‍යක්‌ෂ රූබන් වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‌ෂණයක්‌ පවත්වන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

-දිවයින-

No comments:

Post a Comment