05 June 2017

කෝටි ගණනක කිරි පොළවයට වළලයි

රජයේ ‘මිල්කෝ’ සමාගමේ රට පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් එක්රැස් කළ කිරි ලීටර් දෙලක්‍ෂ අසූදහසක් පමණ මැයි මස අවසන් දින තුන තුළ විනාශ කර දමන ලද බවට තොරතුරු අනාවරණය වේ.

එම සමාගම විසින් ගොවීන්ගෙන් එක් කිරි ලීටරයක් මිල දී ගනු ලබන්නේ රුපියල් 65ක් වැනි අවම මිලක් ගෙවීමෙන් වන අතර විනාශ කරන ලද කිරි වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 130ක් ගෙවා තිබේ. සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී මිල්කෝ සමාගම සතු ගබඩා කිරීමේ උපරිම දෛනිකව ධාරිතාවය වන ලක්‍ෂ දෙකක් දක්වා ළඟා වේ.

එවැනි අවස්ථාවල දී අතිරික්ත තොග කොත්මලේ සහ පැල්වත්ත සමාගම්වලට අඩු මිල ගණන් යටතේ හෝ ලබා දීමට පියවර ගැනිණ. එහෙත්, මෙවර එම ක්‍රියාමාර්ගය හෝ අනුගමනය නොකර විනාශ කර තිබේ. මෙයින් වැඩි ම විනාශය සිදු කර ඇත්තේ අඹේවෙල දී වන අතර ලීටර් 6,000ක ධාරිතාවකින් යුත් බවුසර් 20ක කිරි අවම වශයෙන් එහි දී විනාශ කර ඇත.

පොළොන්නරුව ගබඩා කිරීමේ මධ්‍යස්ථානය ලීටර් 70,000යි, දිගන මධ්‍යස්ථානයේ ලීටර් 30,000යි, කොළඹ නාරාහේන්පිට මධ්‍යස්ථානයේ ලීටර් 60,000ක් වශයෙන් කිරි ශීත කර ගබඩා කිරීමේ මධ්‍යස්ථානවලදී අතිරික්ත බව කියමින් විනාශ කර තිබේ.

තමන් යටතේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන බව පෙන්වීමට පශු සම්පත් ඇමතිවරයා ක්‍රියා කරමින්, මිල්කෝ නිලධාරීන්ට දැඩි බලපෑම් කරමින්, ගොවීන්ගෙන් කිරි වැඩි ප‍්‍රමාණයක් එකතු කිරීමට සලස්වා ඇත. එහෙත්, මිල්කෝ ආයතනයේ ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කර දී නොමැති නිසා මෙසේ විනාශ කිරීමට සිදුව තිබේ.

වයස අවුරුදු 05ට අඩු ළදරුවන්ගෙන් 16%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන සහ ඊටත් වඩා ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාව ලක්‍ෂ පනහකට අධික පිරිසක් සිටිය දී මේ තරම් කිරි ප‍්‍රමාණයක් විනාශ කිරීම තවත් කාලීන විශේෂත්වයක් වේ.

මේ ආකාරයට අවසන් වරට කිරි විශාල ප‍්‍රමාණයක් විනාශ කරන ලද්දේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ 2012 වර්ෂයේ දී ය.

No comments:

Post a Comment