05 June 2017

උපුල් තරංගට තරඟ තහනමක්



ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක උපුල් තරංගට ශූරයන්ගේ කුසලානයේ ඉදිරි තරග දෙකක් තහනම් කර තිබේ.

ඒ ඊයේ 03 දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී පන්දු යැවීමට කාලය වැඩි වශයෙන් ලබාගැනීම හේතුවෙන්ය.

ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 යැවීම සඳහා පැය 4 කට වැඩි කාලයක් ලබාගත් බවයි.

ඒ නියමිත කාලය ද ඉක්මවා යමිනි.

උපුල් තරංග විසින් වරද භාරගෙන ඇති අතර ලබාදුන් දඩුවම ද පිළිගෙන තිබේ.

එබැවින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදු නොවන බව සඳහන්ය.

මෙම තහනම හේතුවෙන් ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන ඉදිරි තරග දෙක වන පකිස්ථානයට සහ ඉන්දියාවට එරෙහි තරග උපුල් තරංගට අහිමි වෙයි.

උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙනි.

තරංග සඳහන් කළේ පිටියේ පන්දු රැකීමේ නිරතව සිටියදී පන්දුවාර යැවීමේ ප්‍රමාදය පිළිබඳ විනිසුරුවරුන් තමා දැනුවත් කළ බවයි.

පන්දුවාරයක් අවසානයේ ඊළග පන්දුවාරය වෙත යාමේදී මෙම කාලය වැය වීම සිදුවු බව ද ඔහු පෙන්වා දෙයි.

පන්දුවාර 10 ක් අවසානයේදීත් තම කණ්ඩායම පන්දුවාර 12 ක් යැවීමේ කාලය ලබාගෙන තිබු බව තරංග කියාසිටියේය.

අවසන් පන්දුවාර කිහිපයේ එම කාලය කළමණාකරණය කර ගැනීමට නොහැකි වු බව ද ඔහු පෙන්වා දුනි.(03) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ ද උපුල් තරංගය.

ඒ ලකුණු 57 කි.

උපුල් තරංගට පැනවු මෙම තරග තහනමට අමතරව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් සියයට 60 ක දඩයක් ද පැනවෙනු ඇත.

No comments:

Post a Comment