13 May 2017

Johnson & Johnson නිෂ්පාදනවල පිළිකා කාරක : කාන්තාවකට ඩොලර් මිලියන 110 ක වන්දියක්



ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) ඖෂධ සමාගමේ නිෂ්පාදිත ටැල්කම් පුයර (talcum powder) භාවිත කිරීමෙන් අනතුරුව ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳුණු බවට පවසන කාන්තාවකට ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය දහයක් ගෙවන ලෙස ඇමරිකාවේ අධිකරණයක් එම සමාගමට නියෝග කොට තිබේ.

වසර හතළිහක් මුළුල්ලේ ටැල්කම් පුයර සහිත නිෂ්පාදන භාවිත කිරීමෙන් අනතුරුව තමන්ට ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳුණු බව මිසූරි ප්‍රාන්තයේ වර්ජිනීයාහි වෙසෙන හැට දෙහැවිරිදි ලුයිස් ස්ලෙම්ප් පවසන්නීය. එම නිෂ්පාදනවලින් පිළිකා වැළඳීමේ අවදානම පිළිබඳව අදාළ සමාගම ප්‍රමාණවත් මට්ටමේ අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තර්කකොට තිබේ.

ටැල්කම් පුයර සහ ඩිම්බ කෝෂ පිළිකාව අතර සම්බන්ධයක් තිබේදැයි යන්න නිශ්චිතව සනාථ වී නොමැති බව විශේෂඥයෝ පවසති.

අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ ටැල්කම් පුයර නිෂ්පාදනවලට එරෙහිව ශාන්ත ලුවිස් නගරයේ අධිකරණයේ පමණක් පැමිණිලි 2400 කට ආසන්න ප්‍රමාණයක් විභාගවන අතර, ඒ අතරින් වැඩිම වන්දියක් ප්‍රදානය කෙරුණ නඩු විභාගය මෙය බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

2012 දී ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳී ඇති බව නිගමනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින ලුයිස් ස්ලෙම්ප් මහත්මියගේ රෝගී තත්වය අක්මාව දක්වා ව්‍යාප්ත වී තිබේ. බේබි පුයර (Baby Powder) සහ ‘Shower to Shower’ පුයර ඇතුළු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නිෂ්පාදන තමන් භාවිත කළ බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

“ඩිම්බ කෝෂ පිළිකාව නිසා බලපෑම් එල්ල වූ කාන්තාවට සහ පවුල්වලට අපගේ දැඩි සංවේගය පළ කර සිටිනවා,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම, කෙසේ නමුත් සිය සමාගමේ නිෂ්පාදිත බේබි පුයර ශරීරයට අහිතකර නොවන බව ඉදිරියටත් සිය සමාගමේ ස්ථාවරය බවත් සඳහන් කරයි.

විශේෂයෙන් වසර ගණනාවක් එක දිගට ජනනේන්ද්‍රීය අවට ටැල්කම් පුයර භාවිත කිරීමෙන් ඩිම්බ කෝෂ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යාමට ඇති හැකියාව පිළිබඳව අවධානය පළ වී තිබෙන නමුත් ඒ පිළිබඳව නිශ්චිත සාක්ෂි ඉදිරිපත් වී නොමැත.

ජනනේන්ද්‍රීය අවට ටැල්කම් පුයර යෙදීම “පිළිකා කාරකයක් විය හැකි” බව ඒ සම්බන්ධයෙන් පළ වන මිශ්‍ර අදහස් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය වර්ගීකරණය කර තිබේ.

No comments:

Post a Comment