06 May 2017

දිල්ලි සමූහ දූෂකයන්ගේ මරණ දඬුවම ස්ථිරවෙයි



 2012 වසරේදී ඉන්දියාවේ දිල්ලි නුවරදී වෛද්‍ය සිසුවියක අමානුෂික ලෙස සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කළ චූදිතයන් සිය මරණ දඬුවම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබේ.

අක්ෂෙයි තකූර්, විනෙයි ෂර්මා, පවන් ගුප්තා සහ මුකේෂ් යන චූදිතයන්ට 2013 වසරේදී එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කළත් ඔවුන් අධිකරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළහ.

කෙසේ වෙතත්, එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර් භානුමතී එම ඇපෑල නිශ්ප්‍රභ කරමින් පවසා සිටියේ මෙම අතිශය අමානුෂික අපරාධය ඉන්දීය සමාජයේ හෘද සාක්ෂිය සෙලවූ සිදුවීමක් බවයි.

මෙම අමානුෂික සමූහ දූෂණය ඉන්දියාව පුරා කාන්තා හිංසනයට එරෙහි හඬක් ඇති කළ අතර, ස්ත්‍රී දූෂණයට එරෙහි නව නීති රට තුළ ස්ථාපිත කිරීමටද මුල්විය.

2012 දෙසැම්බර් මාසයේදී සිය මිතුරෙකු සමග චිත්‍රපටයක් නරඹා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී බස් රථයක් තුළදී ඇය මෙම අමානුෂික ඉරණමට ගොදුරු විය. එමෙන්ම, ඔහුගේ මිතුරාද දැඩි පහරදීමකට ලක්කර තිබුණි.

2015 වසරේදී මෙම වෛද්‍ය සිසුවියගේ නම මුලින්ම ඇගේ මව විසින් ප්‍රසිද්ධ කළ අතර, ජෝති සිං නම් වූ ඇය මෙම සිදුවීමෙන් දින 13කට පසුව මෙළොවින් සමුගත්තාය.

මෙම නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රසිද්ධියේ පවසන විට ජෝති සිංගේ ඥාතීන් මෙන්ම හිතවතුන් කඳුළු වගුරුවමින් සිය දියණියට වූ අසාධාරණයට එරෙහි අධිකරණයේ නැගීසිටීම ප්‍රශංසා කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.




"මෙය සියලුම මිනිසුන්ට ඓතිහාසික තීන්දුවක්. කාන්තාවන්ට එරෙහිව අපරාධ කරන, ප්‍රචණ්ඩත්වය වපුරන යමෙකු වෙයි නම්, ඔවුන්ට මේ භූමියේ පවතින ඉහළම දඬුවමින් වන්දි ගෙවීමට සිදුවන බවට මෙම නඩු තීන්දුව සාක්ෂි සපයා තිබෙනවා" යැයි ඉන්දීය කාන්තා ක්‍රියාධරයෝ පවසති.

මෙම සමූහ දූෂණයේ තවත් චූදිතයෙකු වූ රාම් සිං නමැත්තා 2013 වසරේදී සිරභාරයේ සිටියදීම ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලිඛිත ආයාචනයක් කිරීමට ඔවුන්ට අවස්ථාව පවතින අතර, එසේ නොමැති නම් ඔවුන්ට මෙම තීන්දුවෙන් ගැලවීමට ඇති එකම අවස්ථාව ජනාධිපතිවරයා විසින් ලබාදෙන සමාව පමණි.

No comments:

Post a Comment