01 July 2017

වත්මන් රජය සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරකිමින් සිටිනවා


වර්තමානයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවීමෙන් රජය ලෙසින් එකට එකතුව එක අරමුණකින් කටයුතු කරමින් සිටින අතරම සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරකිමින් සිටින බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් සංවිධානය කළ Comparative Peacebuilding in Asia මාතෘකාව යටතේ  (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පැවැති  දේශනයකට එක්වෙමිනි.

ජාතීන් අතර සහයෝගය ඇති කිරීමට වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් පවතින අතර ම ඒ වෙනුවෙන් වූ කාර්යය සාධක බලකායක් ද ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් හිටපු ජනාධිපතිනිය ජාතීන් අතර සමගිය ගොඩනැගීම සඳහා පුද්ගලයාගේ හදවත, මනස මෙන් ම ආකල්පයන් ද වෙනස් විය යුතු බවත් පෙන්වා දුනි.

බන්ධනාගර ප්‍රතිසංස්කරණ, පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිසන්ධාන කොමිසන් සභාව ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් රටතුළ ක්‍රියාත්මක වන බවත් පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නාය.

පාසල් අතර ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් ළමයින් අතර සහයෝග ඇති කිරීම සඳහා ඉතා වැදගත් වන බවත් පෙන්වා දුන් එතුමිය ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, විදී නාට්‍ය සහ චිත්‍රපටවලින් සාමය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවත් , සුළු ජනතාව ජීවත්වන දිස්ත්‍රික්කවල විවිධ සංවිධානයන්ගේ ආධාර ඇති ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවත් පෙන්වා දුනි.

ජාතීන් අතර සහජීවනය ගොඩනැගිය හැක්කේ දේශපාලන නායකත්වය තුළින් ම බවත් එමෙන් ම ඒ සඳහා සිවිල් සංවිධානවලට වැඩි කාර්යය භාරයක් සිදුකළ හැකි බවත් එතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

No comments:

Post a Comment