14 May 2017

අසමසම ආදරයෙන් රටක්‌ දිනූ ප්‍රංශයේ ලාබලම ජනපති



ජනපති බිරිඳක්‌ යනු කා අතරත් කතා බහට ලක්‌වන්නියකි. පුවත් මවන්නියකි. හැම රටකම වාගේ එය එහෙමය. ප්‍රංශයේ හිටපු නායකයන්ගේ බිරින්ඳන් අතරින් බොහොමයක්‌ ගැන ඉතිහාසයේ බොහෝ තැන්වල අසන්නට ලැබෙයි. මාරි ඇන්ටනොයිට්‌ රැජනගේ අධික නාස්‌තිකාර පිළිවෙත් දහඅට වැනි සියවස අගදී ප්‍රංශ රාජාණ්‌ඩුව පිරිහෙන්නට ද හේතු වුණු බව ඉතිහාසයේ කියෑවෙයි. නැපෝලියන් අධිරාජ්‍යයාට පුතකු ලබාදෙන්නට නොහැකි වූ බැවින් ජොසපින් අධිරාජිනිය දික්‌කසාද කර දැමුණු වග ලියවී ඇත. 1914 දී ප්‍රංශ අගමැති වූ ජෝෂප් කයිලෝක්‌ස්‌ගේ බිරිඳ වූ හෙන්රියේටා ලෙ ෆිගාරෝ පුවත්පතේ කර්තෘව ඝාතනය කළාය. ඒ ඔහු තම සැමියාගේ දේශපාලන ගමනට තර්ජනයක්‌ වෙතැයි සිතමිනි. ප්‍රංශයේ හිටපු ජනපතිවරයකු වූ ෆ්රැන්කොයිස්‌ මිටරැන්ඩ් ප්‍රසිද්ධියේම අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිඳ වූ ඩැනියෙල්ට ඇයටම වෙන්වූ ආදර ලෝකයක්‌ විය. නිකොලාස්‌ සාර්කොසිගේ බිරිඳ සිසිලියා වෙනත් ආදරවන්තයකු වෙනුවෙන් ඔහුව අත්හැර ගියේ ඔහු ජනපති මැඳුරේ පදිංචියට විත් මාස හයක්‌ යන්නටත් කළියෙනි. මේ අයුරින් නාස්‌තිකාරකම්, අනියම් සබඳතා මිනීමැරුම් ආදින්ගේ කිළිටි තැවරුණු ප්‍රංශ ජනපති ආර්යාවන්ගේ ඉතිහාසයට ආලෝකයක්‌ එක්‌කරමින් වෙනස්‌ම කතාවක්‌ ලියන්නට අලුත් ජනපති ආර්යාවක්‌ නුදුරේදීම එක්‌වන්නීය.

ඒ අනාගත ප්‍රංශ ජනපති එම්මානුවල් මැක්‌රෝන්ගේ බිරිඳ බ්‍රිජට්‌ මැක්‌රෝන්ය. මනාව සැකසූ රන් පැහැ හිසකෙස්‌ද, දුඹුරු පැහැ සමක්‌ද, දීප්තිමත් නිල් ඇස්‌ද, හොලිවුඩ් නිළියකගේ බඳු කාන්තිමත් සිනාවක්‌ද, ශක්‌තිමත් පෞරුෂයක්‌ ද හිමි බ්‍රිජට්‌ මැක්‌රෝන් ඉදිරි වසර කිහිපය තුළ ප්‍රංශ ජනපති බිරිඳ ලෙස වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.

තිස්‌ නව හැවිරිදි එම්මානුවෙල් මැක්‌රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනපතිය. එහෙත් ඔහුගේ බිරිඳ, හැට හතර හැවිරිදි බ්‍රිජට්‌ මෙතෙක්‌ සිටි ප්‍රංශ ජනපති ආර්යාවන් අතර දෙවැනි වයසින් වැඩිම ජනපති ආර්යාවයි. එම්මානුවෙල් මැක්‌රෝන් හා බ්‍රිජට්‌ගේ කතාව මුල පටන්ම වෙනස්‌ය. බ්‍රිජට්‌ එම්මානුවෙල්ගේ ජීවිතයට ඇතුළු වන්නේ එම්මානුවෙල්ට වයස අවුරුදු දාහතරක්‌ව තිබියදීය. ඒ ඔහුගේ නාට්‍ය ගුරුවරිය ලෙසිනි. ඒ වන විටත් බ්‍රිජට්‌ තුන් දරු මවකි. ඇගේ දෙවැනි දියණිය එම්මානුවෙල්ගේ වයසේය. ඔහු සමඟ එක පන්තියේ එකට ඉගෙනගත් බ්‍රිජට්‌ගේ දෙවැනි දියණියත් එම්මානුවෙලුත් අතර සම්බන්ධයක්‌ ඇති වේ යෑයි කවුරුත් සිතූහ. එහෙත් එම්මානුවෙල්ගේ සිත බැඳුනේ තමාට වඩා අවුරුදු විසි පහකින් වැඩිමහලු ගුරුවරියටය. එම්මානුවෙල් තම නාට්‍ය ගුරුවරියට සමීප වූයේය. පැය ගණන් ඇයට දුරකථනයෙන් කතා කළේය. වරින් වර තම ආදරය ඇයට ප්‍රකාශ කළේය. අවසන ඔවුන් අතර ප්‍රේමයක්‌ ගොඩනැඟිණ. වයස අවුරුදු දාහතේදී එම්මානුවෙල් තම ගුරුවරියට පොරොන්දුවක්‌ දුන්නේය. ඒ කෙදිනක හෝ ඇයව විවාහ කරගන්නා බවටය.

එම්මානුවෙල්ගේ පෙම්වතිය වූ බ්‍රිජට්‌ තම ප්‍රේමවන්ත ගෝලයාගේ ජීවිතය ඉහළ ඉලක්‌ක කරා මෙහෙයවන්නට වූවාය. අනාගතයේ දිනයක ලේඛකයකු වෙන්නට බලාපොරොත්තුවෙන් උන් එම්මානුවෙල්ව දේශපාලනය කරා මෙහෙයවූයේ ඔහුගේ පෙම්වතිය බ්‍රිජට්‌ය. ඒ ගැන එම්මානුවෙල් තම වචනයෙන්ම කියන්නේ මෙසේය. 'ඇය හැමදාමත් දුරකථනයෙන් කතා කරලා මගේ දේශපාලන දෛවය විශ්වාස කරන්නට මාව පෙළඹුවා..'

'ඔව්.. ඔහු කතා කරලා ටිකින් ටික මගේ හිතේ තිබුණු අකැමැත්ත අයින් කර දැම්මා.. මගේ විශ්වාසයත් ආදරයත් දිනාගත්තා.. පුංචි නගරයක, හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරපු තුන් දරු මවක්‌, එයාට වැඩිය අවුරුදු විසි පහක්‌ වැඩිමල් ගුරුවරියකගේ හිත දිනාගන්න පුළුවන් කෙනාට දවසක මුළු ප්‍රංශයේම ප්‍රසාදය දිනාගන්න බැරිකමක්‌ නැහැනේ... එයාව ගැලපෙන්නේ දේශපාලනයටයි. ඒ බව මම එයාට වටහා දුන්නා..' බ්‍රිජට්‌ කියයි.

බ්‍රිජට්‌ තම පළමු සැමියාගෙන් දික්‌කසාද වී 2007 දී එම්මානුවෙල් සමඟ විවාහ වූවාය.

එදා මෙදාතුර දස වසරක විවාහ ජීවිතය තුළ ඔවුන් අතර ඇති සමගියත් අවබෝධයත් පුදුම එළවන සුළුය. මැක්‌රෝන් සමඟ සමීපව වැඩකරන අය පවසන්නේ මැක්‌රොන් විශ්වාසය තබන පුද්ගලයන් ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුවන අතර බ්‍රිජට්‌ ඒ අතරින් එක්‌ අයකු බවයි. එම්මානුවෙල් මැක්‌රෝන් ජනපති හොලන්ඩේගේ රජයේ ආර්ථික කටයුතු ඇමැතිවරයාව සිටි කාලය තුළ ඔහුගේ කාර්ය මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇලෙක්‌සිස්‌ කොහ්ලර් බ්‍රිජට්‌ තම ස්‌වාමියාගේ වෘත්තීය ජීවිතයට කොතරම් අත්වැලක්‌ වී දැයි නිරන්තරව පවසයි.

'ඇත්තටම ඇය තමන්ගේ සැමියාගේ ජීවිතයට හැම අතින්ම සම්බන්ධ වුණු අපූරු ගැහැනියක්‌.. ඔහු ඇමැතිවරයකු වී සිටි කාලෙයේදීත් ඔහුගේ සියලුම ජනහමුවලට ඇයත් සහභාගි වුණා..'

එම්මානුවෙල් මැක්‌රොන්ගේ ඡන්ද ව්‍යාපාරයේ උපදේශකවරයකු වූ මාර්ක්‌ ෆෙරාසි ඒ ගැන සවිස්‌තරාත්මකව පවසයි. 'එම්මානුවෙල් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ කාලසටහන් න්‍යාය පත්‍රයන් ද සකස්‌ කළේ ඔහුගේ බිරිදයි.. ඔහු ජනතාව හමුවේ පැවැත්විය යුතු කතා සූදානම් කර දුන්නේත්, ඒ ඇමතීම්වලදී හඬ උස්‌ පහත් විය යුතු ආකාරය ගැන පවා උපදෙස්‌ දුන්නේත් ඇයයි..' ඔහු පවසයි. 'හැම තැනකදීම ඇයගේ සහභාගිත්වය ඔහු අපේක්‌ෂාවෙන් ඉන්නවා.. ඇය නොසිටියා නම් ඔහුට මේ දැවැන්ත ජයග්‍රහණය ලබා ගන්නට හැකියාවක්‌ ලැබෙන්නේ නෑ..'

ජනපතිවරණ සටනේ පළමු වටය අතිවිශාල ඡන්ද ගණනකින් දිනාගත් පසුව එම්මානුවෙල් මැක්‌රෝන් ජනතාව අමතන පළමු අවස්‌ථාවේදී ඔහු පළමුවෙන් ස්‌තුති කළේ තම බිරිඳ වූ බ්‍රිජට්‌ ටය. 'මා ළඟිsන්ම උන් ඇයට මම ස්‌තුති කරනවා.. බ්‍රිජට්‌.. ඔබ නැති නම් මම අද මෙතැන නැහැ..'

ඇගේ නම කියවෙත්ම ඔහුගේ ඡන්දදායකයෝ ඔල්වරසන් හඬ නඟන්නට වූහ. ඔහුගේ ඡන්දදායකයන් අතර ඔහුගේ බිරිඳ එතරම් ජනප්‍රියය. ප්‍රංශ මාධ්‍යවල නිරන්තරව කියෑවෙන කතාව වනුයේ ඔහුගේ රසිකයන් අතර ජනපතිනිය වන්නේ ඔහුගේ බිරිඳ බවයි.

'අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ ඇය මගේ ජීවිතයට මඟ පෙන්නුවා.. එදා වගේම හෙටටත් මට මගේ බිරිඳගේ අදහස්‌ වැදගත්.. හැමදාමත් ඇය මගේ ළඟිsන්ම සිටිය යුතුයි.' අනාගත ප්‍රංශ ජනපති තම බිරිඳ පිළිබඳව අසන මාධ්‍යවලට පිළිතුරු දෙන්නේ එසේය.

| නිම්මි මුදිතා හේරත්

No comments:

Post a Comment