14 May 2017

පිළියන්දල වෙඩි තැබීම-සැකකරුවන් හඳුනාගන්න මහජන සහය පතයි

පිළියන්දල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වාදෙන්නේ එම පුද්ගලයින් පිළිබදව තොරතුරු වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි.

පසුගිය 9 වැනිදා පිළියන්දල නගරයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීම සඳහා භාවිත කළ යතුරු පැදිය එදිනම දෙල්ගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවට සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන නිලධාරීන් විසින් නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බව සඳහන්ය.

 ඒ අනුව එම යතුරුපැදිය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ හැඩරුව ඔස්සේ පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද ඡායාරූප පොලිස් මූලස්ථානය විසින් අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එක් පුද්ගලයෙකු වයස අවුරුදු 30 ත් 35 ත් අතර අඩි 5 යි අඟල් 3ක් පමණ උසැති අයෙකු වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 38ත් 42 ත් අතර අඩි 5 යි අඟල් 6ක් පමණ උසැති අයෙකු බව පොලීසිය පවසයි.

එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 0718 591 641 හෝ 0112 852 555 යන දුරකථන අංකවලින් පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාශය ද 0718 591 727 හෝ 0112 662 323 යන දුරකථන අංකවලින් අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය ද අමතා තොරතුරු දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස්පතිවරයා විසින් විශේෂ මුදල් ත්‍යායක් ලබාදීමට ද නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

No comments:

Post a Comment