04 May 2017

විදේශිකයෙකු වූ අර්ජුන්ට මහ බැංකු අධිපති ලෙස පත්විය හැකිද?

 විදේශිකයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිධුරයට පත් කළේ කෙළෙසකද? ඔහුට එම ධුරය දරන්න හැකියාවක් තිබෙනවාද? යනුවෙන් තමාට විශාල ප්‍රශ්නයක් ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ පිළිබඳව සොයා බැලීමට විගණකාධිපතිවරයාට, කෝප් කමිටුවට හෝ මෙම කොමිසමට හැකියාවක් නැත්නම් අපි අසරණයි, අපේ රට අසරණයි කියා තමාට සිතෙන්නේ යැයිද වැඩිදුරටත් පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරද්දී පැවැත්වූ පළමු කෝප් කමිටුවේ සාක්ෂි දීමට පැමිණි මහ බැංකුවේ නිලධාරීන් බියෙන් සාක්ෂි දුන් අයුරුත්, අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධුරයෙන් ඉවත් කළ පසු පැවැත්වූ දෙවැනි කෝප් කමිටුවේ සාක්ෂි දීමට පැමිණි මහ බැංකුවේ නිලධාරීන් ඉතා සැහැල්ලුවෙන් සාක්ෂි දුන් අයුරුත් තමා දුටුවේයැයිද කී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මුළු රටම ඇස් ඇරගෙන සිටියදී මහ බැංකුව සිදුකළ මෙම වංචාව නිසා එහි මුදල් ගෙවීමට රටේ ජනතාවට සිදුවී ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

වීරකුමාර දිසානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටියදී කොමිසමේ අධිකාරීපත්‍රයට හා එහි විෂය පථයට පරිබාහිර කරුණු පිළිබඳ සාක්ෂි ලබාදීමට ඉඩ දිය නොහැකි බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඔහුට දැනුම්දුන් අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.

ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා තමන්ට බලය ලබාදී නොමැති කරුණු පිළිබඳ සොයා බැලීමට ගියහොත් වෙනත් නීතීමය ප්‍රශ්න මතුවිය හැකි බව පෙන්වා දුන්නේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත්කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.

No comments:

Post a Comment