04 May 2017

අහෝ මහනායක ඔබේ යහපාලනයද එයමැයි!

අතිශය දුර්වල තත්වයක පවතින පරිපාලන ව්‍යුහයක් නිවැරදි කිරීම සඳහා රටේ ප්‍රභල බලපෑමක් කළ හැකි පිරිස් වෙත පැවරෙන වගකීම වොල්වෝ රථයකට හෝ රටේ ජනතාවගේ මුදල් යටි මඩි ගැසීමෙන් තම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන වෙනත් මාදිලියක “අල්ලසකට” ලඝු කළ නොහැකිය. රට ගැන හෝ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී ආගමික නායකවරුන්ට පැවරෙන වගකීම් ඉතාම බරපතළ එකකි.
 

එක්තරා අප්‍රසන්න දේශපාලනඥකු විසින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මාහනායක හිමිවරුන්ට නවීන පන්නයේ මෝටර රථ ත්‍යාග වශයෙන් ලබා දීමක් ගැන මේ වන විට ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ. ඒ තමන්ගේ අවලස්සන දේශපාලන කටයුතු සහ මගෝඩි ගුණ්ඩු ඔස්සේ සිදු කළ අදේශපාලනය සුරක්ෂිත කොට තමන්ගේ අමාත්‍යය ධූරය රැක ගැනීම සඳහා යැයි කියනු ලැබේ.අදාළ පුවත් වලට සම්බන්ධ සේයාරූ පවා ප්‍රසිද්ධ වී තිබේ.

මෙය අලුත් දෙයක් නොවන බව නොරහසකි. මෙම පාර්ශවයන් විවිධ ආණ්ඩු විසින් ලබාදෙන සන්තෝෂම් වලට හිමිකරුවන් වූහ. ඉන් බෞද්ධ පන්සල නමැති පරිපාලන ඒකකය දියුණු වූයේද යන්න වෙනම ගැටලුවකි. එනමුත් වත්මන් ආණ්ඩුව “යහපාලනය මුවාවෙන්” මේ ආකාරයේ නිඝන්ට කටයුතු සිදුකරන්නේ මහජනතාවගේ සම්පත් වලිනි. එහි ප්‍රතිඵලය ලෙස රටේ සාමන්‍යය ජනතාවට ආණ්ඩුව කෙරෙහි ඇති ඇල්ම දිනෙන් දින හීන වී යමින් තිබේ. දෙදහයේ මුල් කාලයේ ඇති වූ දේශපාලනයද මීට සමානය. එකළ බහිරවීකරණය වූ සතොස මෙකල මුදල් අමාත්‍යංශය තුළ දක්නට ලැබේ.

එසේම අස්ගිරිය හෝ මල්වතු යන ප්‍රධාන පාර්ශව දෙකින් එකක්වත් අදාළ පුවත් තවමත් ප්‍රතික්‍ෂේප කොට නැත. ඉන් ගම්‍ය වන්නේ එවැනි අවලස්සන “අල්ලස් දීම්” දිගින් දිගටම සිදුවන බවයි. ඒවා එකසිතින් භාර ගන්නා බවයි.

මල්වතු සහ අස්ගිරි පාර්ශව වල දේශපාලනික වැදගත්කම අපි සියල්ලෝම දනිමු. එසේම එම දෙපාර්ශවය සතු පෘථුල වගකීම ගැනද රටේ ජනතාවට විශාල අවබෝධයක් මෙන්ම බලාපොරොත්තුවක් තිබේ. මෙම තත්වය හමුවේ මෙම දෙපාර්ශවය විසින් රටේ සාමාන්‍යය ජනතාවට සහ බෞද්ධ දර්ශනය අනුගමනය කිරීම ඔස්සේ සමාජ ශෝධනයක් වෙනුවෙන් කටයුතු කරන ඇතැම් ගුණගරුක ස්වාමීන් වහන්සේලාට දෙන ආදර්ශය කුමක්ද? එසේම තම අමාත්‍ය ධූරය රැක ගැනීම සඳහා රටේ සිටින ප්‍රධාන ආගමික නායකයින් දෙදෙනාට සන්තෝෂම් දීම සහ ඒවා කිසිඳු හිරිකිතයක් නොමැතිව පිළිගැනීම ගැන ලජ්ජා විය යුත්තේ කවුරුන්ද?

වර්තමානයේ බෞද්ධ දර්ශනයට සිදුකොට ඇති වින්නැහිය සහ එහි වග උත්තරකරුවන් විසින් සිදුකරන කටයුතු දෙස ගෞතම බුදුන් වහන්සේට දැකීමට අවස්ථාවක් තිබේනම් උන්වහන්සේ දැක්විය හැකි ප්‍රතිචාරය කෙබඳු විය හැකිද? එය තම ප්‍රකට නවකතාව වන වයිට් ටයිගර් ලියු අරවින්ද් අදිගා විස්තර කරන විලාසයම ගනු ඇත.

අනෙක් පසුන් මෙම තත්වය නිශ්චිතවම සමාන වන්නේ ෆියෝදෝර් දොස්තොව්ස්කි විසින් රචිත කර්මශෝව් සහෝදරයෝ නමැති නවකතාවේ එන “උදාර විචාරකයා” නමැති පද්‍යය තුළ සිදුකරණ විස්තරයටය. ජේසුස් වහන්සේගේ උදාර කැපවීම කතෝලික පල්ලිය හරහා උග්‍ර ලෙස දේශපාලනීකරණය කොට ඊට වෙනම න්‍යාය පත්‍රයක් ඇතුළත් කළේය. ඒ හමුවේ සැබෑ ජේසුස් වහන්සේ ලෝකයට අහිමි කොට ජේසුස් නමැති වෙළඳපොල නිර්මාණය කළේය. ජේසුස් වහන්සේගේ නිර්මල මනුෂ්‍යත්වය හෑල්ලු කළ ආකාරයෙන්ම ගෞතම බුදුන්ගේ උදාර කැපකිරීම පසු කාලෙක උග්‍ර කෛරටකයින්ගේ පෞද්ගලික වපසරිය සඳහා මෙවලමක් කරගෙන තිබේ.

වත්මන් ආණ්ඩුවේ සිටින මහජනතාව අතර විශාල වශයෙන් අප්‍රසාදයට ලක් වී ඇති අමාත්‍යවරයෙක් තම අමාත්‍යධූරය රැක ගැනීම සඳහා මේ ආකාරයෙන් මහනායකවරුන්ගේ කාමසුඛල්ලිකානු යෝගය මුවහත් කළේ නම් මවා පාන යහපාලනයේ ඇත්ත තත්වය තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ. එසේම අනෙක් පසින් එවැන්නක් පිළිගෙන බෞද්ධ දර්ශනය ගැන ව්‍යාජ දේශනා සිදුකරන හිමිවරුන් ලබාදෙන ආදර්ශය කුමක්ද?

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යය මණ්ඩල සංශෝධනයක අවශ්‍යතාවය මීට මාස ගණනාවකට පෙර නායකත්වයට වුවමණා වුවද නායකත්වයේ “සායම ක්‍රමයෙන් දියවෙන” තෙක් අදාළ සංශෝධන වලට ඇති ඉඩ කඩ ක්‍රමිකව හකුළුවා දැමුවේ ආණ්ඩුව තුළම සිටින විවිධ පාර්ශවයන් වලිනි. මන්ද මෙහිදී ආණ්ඩුවේ සිටින ඇතැමුන්ට නායකත්වය යනු හුදු මෙවළමක් පමණි. ඊට නිසි ගරුත්වය දීමට තබා ඇතැම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී දැනුම් දීමට පවා නොකරන තත්වයට පත් වී තිබේ. මෙය අතිශය නීරස තත්වයකට තල්ලු වී ඇති අතර නායකත්වයට අවශ්‍යය පරිදි ඇතැම් අමාත්‍යංශ වල කටයුතු පරික්ෂාවට ලක් කිරීමේ අවස්ථාව පවා අහුරා ඇත.

අනෙක් පසින් වසර දෙකකට මදක් වැඩි කාලයක් තුළ රටේ ජනතාව අතර ක්‍රමයෙන් මෝදු වෙමින් පවතින දේශපාලන අස්ථාවරබාවයක් තිබේ. ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යංශ වන මුදල් අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ආදියෙහි ප්‍රධානීන්ගේ හැසිරීම් ඉතාම අප්‍රසන්න වන්නා සේම ඔවුහු රටේ ජනතාවගේ ගැටලු විසඳීම සර්ව සම්පූර්ණයෙන්ම පාහේ මඟහැර තිබේ. මොවුන්ගේ සිහිනය වත්මන් නායකත්වය යටතේ රට දියුණු කිරීම නොව, තමන්ගේ පෞද්ගලික දේශපාලන අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රටේ නායකත්වය මෙවලමක් ලෙසා භාවිතා කිරීමය. මන්ද අවසානයේ අසමත් වන්නේ නායකත්වය මිස ඔවුහු නොවේ. මෙරට දේශපාලනය ගැන විමසීමේදී පෙනීයන මූලික කාරණයකි. එනම් නායකත්වය මුහුණ දුන් මූලිකම අභියෝග වලින් එකක් වූයේ තමන්ට විශ්වාස කළ හැකි පිරිසක් පරිපාලනය සඳහා නොසිටීමය.

එසේම ආණ්ඩුව විසින් රටේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා ජාතික වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාවට නංවා නැත. සුන්දර වචන පමණක් තිබේ. මෙවැනි තත්වයකදී , ප්‍රේමදාස මහතා පිදුරු වහළ වලට උළු දීම, රාජපක්ෂ මහතා රටේ හතර දිග්භාගයටම මාවත් සකස් කිරීම ආදීය සමඟ සංසන්දනය කිරීමට උත්සහ දරණ පුරවැසියාගේ පොදු මනස සකස්වන්නේ කෙසේද? ව්‍යාපෘතියක වංචා සිදුවූයේද යන්න පරිපාලනය විසින් විමසා බලා නිසි නීතිමය පියවර නිසි කලට ගත යුතු කාරණයකි. නමුත් ව්‍යාපෘතියක ප්‍රතිඵලය භුක්ති විඳින්නාට එය අදාළ වන්නේ ඉතාම අඩුවෙනි. මෙම කාරණයේදී වත්මන් ආණ්ඩුව පැටලී සිටින්නේ ඉතාම සංකීර්ණ තත්ත්වයකය.

මෙවැනි අතිශය දුර්වල තත්වයක පවතින පරිපාලන ව්‍යුහයක් නිවැරදි කිරීම සඳහා රටේ ප්‍රභල බලපෑමක් කළ හැකි පිරිස් වෙත පැවරෙන වගකීම වොල්වෝ රථයකට හෝ රටේ ජනතාවගේ මුදල් යටි මඩි ගැසීමෙන් තම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන වෙනත් මාදිලියක “අල්ලසකට” ලඝු කළ නොහැකිය. රට ගැන හෝ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී ආගමික නායකවරුන්ට පැවරෙන වගකීම් ඉතාම බරපතළ එකකි.

එම වගකීම අවභාවිතා කිරීම සැබවින්ම කණගාටුදායක කාරණයකි.

අහෝ මහානායක හිමිවරුනේ; බුදුන් වැඩි දෙසක බුදුන්ගේ ගරුත්වය රැකීම සඳහා ඔබ කරන මෙහෙය අරුමයක් මැයි!

| නිලන්ත ඉලංගමුව

No comments:

Post a Comment