04 May 2017

රාජිත දන්නේ දත් ගැන විතරයි එයා තෙල් ගැන දන්නේ නෑ : අනුර කුමාර දිසානායක

ආන්දෝලනයට තුඩුදී ඇති ත්‍රීකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා කිසිවක් නොදන්නා බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රාජිතට කිව හැක්කේ දතක් දිරාපත්වුණාම ඒක ගලවනවාද, නැත්නම් පුරවනවාද යන්න බවත්, තෙල් ටැංකි ගැන රාජිත නොදන්නා අතර, ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ පිළිබඳ ප‍්‍රවීණයන් විසින් බවයි දිසානායක මහතා කියා සිටියේ  (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම තෙල් ටැංකි පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක් පවත්නා පිරිසෙන් ලංකාවේ සිටින්නේ සිව් දෙනෙකු පමණක් වන අතර , ඉන් එක් පුද්ගලයෙකු සහිත කමිටුවකින් එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබාදී ඇති බවත්, ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුව බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී ඔහු මෙසේද කියා සිටියා.

තෙල් වෘත්තීය සමිති තෙල් ටැංකි ඉන්දියානු සමාගමට පැවරීමට එරෙහිව සක්‍රීයව මැදිහත් වෙනවා. අපි මෙම තෙල් ටැංකි ඉන්දියාවට, චීනයට ලබාදෙනවාද යන්න මත නොවෙයි මීට විරෝධය පළ කරන්නේ. 1930 ගණන්වලදී ඉදිකළ මෙම තෙල් ටැංකි තෙල් සංස්ථාවට පවරා ඉන් රටට විශාල ආදායමක් ලබාගත හැකි යන ස්ථාවරයේ අපි ඉන්නවා. මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 102ක් පමණ තිබුණා. ඉන් දෙකක් යුද්ධයේදී විනාශ වුණා. එකක් දිරාපත් වුණා. ඉතිරි තෙල් ටැංකි 99ය 2003දී ඉන්දියානු අයි. ඕ.සී. සමාගමට ලබාදෙන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එහි තිබුණා මාස 6ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. නමුත් එම බදු ගිවිසුම අත්සන් කළේ නැහැ. ඒ නිසාම අවබෝධතා ගිවිසුම අහෝසි වුණා.

ඉන් පසුව 2013 සිට තෙල් ටැංකි 16ක් අයි. ඕ.සී.ය භාවිතා කළා. වසර 13ක්ම ඉතිරි තෙල් ටැංකි භාවිතා නොකළ ඉන්දියානු අයි.  ඕ. සී. සමාගමට දැන් ඒ තෙල් ටැංකි ගැන කැක්කුමක් ඇතිවුණේ මොකද? දැන් එම තෙල්  ටැංකි තෙල් සංස්ථාවට පවරා ගැනීමට යාම තමයි එකම හේතුව. මේ විතරක් නොවෙයි අයි. ඕ.සී.යට අයත් තෙල් ටැංකි සංස්ථාව කුලියට ගැනීම නිසා 2005 සිට 2009 දක්වා සංස්ථාව අයි. ඕ.සී. සමාගමට මිලියන 692ක් ගෙවා තිබෙනවා. නමුත් අයි. ඕ.සී. සමාගම එම කාලය ඇතුළත රජයට ගෙවා ඇත්තේ මිලියන 75ක් පමණයි.

මෙම තෙල් ටැංකි පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක් තිබෙන හතර දෙනයි ලංකාවේ ඉන්නේ. ඉන් එක් පුද්ගලයෙක් සහිත කමිටුවකින් එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබාදී තිබෙනවා. ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුවයි. රාජිතට කියන්න පුළුවන් දතක් දිරාපත්වුණාම ඒක ගලවනවා ද? නැත්නම් පුරවනවාද? කියල. තෙල් ටැංකි ගැන රාජිත දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ පිළිබඳ ප‍්‍රවීණයන් විසින්.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන්ද අදහස් පළ කළේය.

ජනාධිපතිවරයාට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි. එමනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී අවතීර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ලෙස හෝ සංශෝධනයක් ලෙස හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නව ඡන්ද ක‍්‍රමයක් සකස් කිරීම සහ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථානුකූල රැකවරණයක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

ඒ නිසා අපි මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සකච්ඡා සිදුකොට තිබෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මොකද ඔහු ලබාදුන් එකඟතාවයට මේ වන විට වසර දෙකක් ගතවී හමාරයි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයකට යෑම යන කඩඉම් තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් එකඟකර ගත හැකි සියලූ පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡුා ආරම්භ කළ යුතුව තිබෙනවා.

No comments:

Post a Comment