15 June 2017

සිංගප්පූරුවේ අගමැති බලය අයුතු ලෙස පාවිච්චි කරලාලු

 සිංගප්පූරුවේ වත්මන් අගමැති ලී ෂියෑන් ලූන් තම බලය අයුතු ලෙස පාවිච්චි කරන බවට ඔහුගේ බාල සහෝදරයා සහ සහෝදරිය චෝදනා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

වත්මන් සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස සැලකෙන ලී ක්වාන් යූගේ වැඩිමහල් පුතු වන ලී ෂියෑන් ලූන් වෙත මෙසේ චෝදනා එල්ල වී ඇති අතර, ඔහු තම පියාගේ අභිමතය ඉටු නොකරන්නෙකු ලෙසද ඔහුගේ සහෝදර සහෝදරියන් පවසති.

ලී ෂියෑන් ලූන් සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස පත්වූයේ පියාගේ අභාවයෙන් පසුවය.

අගමැතිවරයාට නැඟෙන චෝදනාව වන්නේ, ලී ක්වාන් යූ තමා ජීවත් වූ පැරණි නිවස කඩා දැමීමේ අපේක්ෂාවක පසු වුවත්, වත්මන් අගමැති හෙවත් ඔහුගේ වැඩිමහල් පුතු ඒ අභිමතය ඉටු නොකරන බවය.

ලී ක්වාන් යූ මෙසේ තමා ජීවත් වූ පැරණි නිවස කඩා දැමීමේ අභිලාෂයෙන් පසුවී ඇත්තේ තමාගේ කීර්තිය පදනම් කර ගනිමින් පෞද්ගලික උරුමක්කාරයන් පරපුරක් බිහිවීම වැළැක්වීම සඳහා බවද කියැවේ.

කෙසේ වෙතත්, වත්මන් අගමැතිවරයා පියාගේ එම අභිලාෂය මායිම් නොකර රජයේ දේපොළ යොදා ගනිමින් තම කටයුතු නිරීක්ෂණය කරන බවට ඔහුගේ සහෝදර සහෝදරියන් චෝදනා කර තිබේ.

කෙසේ වෙතත්, සිංගප්පූරුවේ වඩාත් ජනප්‍රිය නායකයෙකු ලෙස සැලකෙන ලී ෂියෑන් ලූන් ඔහු වෙත නැගෙන මේ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

නමුත්, ලී ක්වාන් යූ පවුලේ මේ දෙදරීම සිංගප්පූරුවට දැඩිව දැනී ඇති බවද විදෙස් වාර්තා පවසයි. මන්දයත්, සිංගප්පූරු වැසියන් ලී ක්වාන් යූ පවුල ඉතා උසස් තලයකින් සලකණු ලැබූ පවුලක් බැවිනි.

වර්ෂ 1965 වසරේදී සිංගප්පූරුවට නිදහස ලැබෙන විට එරට අගමැතිවරයා ලෙස කටයුතු කළ ලී ක්වාන් යූ, ඉතා කෙටි කාලයක් තුළ සිංගප්පූරුව ලෝකයේ බලවත් ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කළ රාජ්‍ය නායකයා විය.

කෙසේ වෙතත්, තවමත් සිංගප්පූරු වැසියන්ගේ හදවතේ රැඳී සිටින වීරයා ලී ක්වාන් යූ බව නොරහසකි.

No comments:

Post a Comment