15 June 2017

ඔබේ අයිෆෝනයට ෆොටෝ ප්‍රින්ටරයක්

මෙයට පෙර Prynt Pocket මගින් ක්ෂණිකව ඡායාරූප මුද්‍රණය කළ හැකි ප්‍රින්ටරයක් අඩංගු ස්මාට්ෆෝන් කවරයක් නිර්මාණය කළද එය සාර්ථක නොවූයේ, කිසිවෙකුටත් ස්මාට්ෆෝනය මෙන් කිහිප ගුණයකින් හැඩි දැඩි කවරයක් අවශ්‍ය නොවීම නිසාවෙනි. කෙසේ නමුත් ඔවුන් දැන් නව ව්‍යාපෘතියක් සමගින් පැමිණ ඇත.

මෙය සරලවම අයිෆෝනය වෙත සවි කළ හැකි සංයුක්ත නිමාවකින් යුක්ත හුරුබුහුටි ප්‍රින්ටරයකි. අවශ්‍ය නම් එය අයිෆෝනයෙන් ඡායාරූප ගැනීමේදී වඩාත් ස්ථායී හැඬලයක් ලෙසින් භවිත කිරීමේ හැකියාව තිබේ.
පෙනුමෙන්ද ඉතා කුඩා ප්‍රමාණයේ ප්‍රින්ටරයක් ලෙසින්ම දිස් වන මෙය අයිෆෝනයේ පහත කෙළවරට සවි වනු ඇත. එසේම මෙය අයිෆෝනයෙන් ගැලවූ විට ඔබේ කලිසම් සාක්කුවේ පහසුවෙන් දමාගෙන යෑමට හැකි තරම් හුරුබුහුටි උපාංගයක් බව පෙනෙනු ඇත.

මෙම උපාංගය සමගින් එන යෙදුම ඔබේ අයිෆෝනයේ ස්ථාපනය කළ යුතුවේ. ඉන්පසුව ඔබේ ඡායාරූප ගැලරියේ නැතිනම් ඔබේ ක්ලවුඩ් මතකයක නැතිනම් සමාජ ජාල ගිණුමක ඇති ඡායාරූපයක් වුවත් ගැටලුවක් නැතිව මුද්‍රණය කරගැනීමට මෙයින් හැකියාව ලැබේ. මෙයට අමතරව පැරණි පොලොරොයිඩ් කැමරාවක ක්‍රියාකාරීත්වයේදී මෙන් ඔබ ගන්නා ඡායාරූපයක් එසැණින් මුද්‍රණය කරගැනීමටද ඔබට මින් හැකියාව ලැබෙනු ඇත.

එසේම යෙදුම සමගින් සුවිශේෂී ‍ෆිල්ටරයන් කට්ටලයක්ද පැමිණෙන අතර, එමගින් ඔබ ගන්නා ඡායාරූපයන්ට ‍ෆිල්ටරයන් එක් කොට වැඩිමනත් පෙනුමක් ලබාදීමටද හැකියාව ලැබේ. මෙම උපාංගය ඔබේ ඡායාරූපයන් මුද්‍රණය කිරීමට භාවිත කරන්නේ ZINK photo paper වන අතර, එය පැමිණෙන්නේ පි‍ටුපස ඇලවෙන ස්ථරයක්ද සමගිනි. එනම් ඔබට පසුපස ලේයරය ගලවා ඔබේ ඡායාරූපයන් ස්ටිකර් ලෙසින්ද භාවිත කිරීමට හැකිවනු ඇත.
prynt-pocket-1 prynt-pocket-2 prynt-pocket-3

No comments:

Post a Comment