29 March 2017

කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ


පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා. සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (29) කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඩ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වීරෝධාර රණවිරුවන් පිළිබඳ තමා සෑම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශ්‍රී ලංකා මාතෘ භූමියට හිමිව තිබෙන අතර එයින් ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත‍්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.

ශ්‍රී ලංකාවේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබඳ මතුවන ගැටළුසහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශ්‍රී ලංකාව සමග සිටින බවට ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන්කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබඳ මතුවන ඕනෑම ගැටළුවක් වෙනුවෙන් තමා වගකියන බව සියලුදෙනා හමුවේ පැහැදිළිව ප‍්‍රකාශ කරන බව ද ඔහු සඳහන් කළේය.

එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක යන මහත්ම මහත්මීන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment