29 March 2017

රට නොබෙදා බලය බෙදිය යුතුයි



ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට නොබෙදා බලය බෙදා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එසේම පළාත් සභාසතු බලතල වැඩි කිරීමට උතුරු මහ ඇමතිවරයා මෙන්ම අනෙකුත් මහ ඇමතිවරුන්ද ඉල්ලා ඇතැත් ඔවුන්ට රට බෙදීමට අවශ්‍ය බව පවසා නැති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මරදාන, සුදුවැල්ලේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට අද (29දා) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“මේ රටේ බහුතරයක් අදහන ආගම බුද්ධාගමයි. ඒ පිළිබඳව කවුරුත් තර්ක විතර්ක කරන්නේ නැහැ. එමෙන්ම බුද්ධාගමට තිබිය යුතු ප්‍රමුඛස්ථානය පිළිබඳව ද කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේගේ දේශනාව පරිදි අප අනෙකුත් සෑම ආගමකටම ගරු කළ යුතුයි. එම ආගම් ඇදහීමේ අයිතිය ද ලබාදිය යුතුයි.

ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට බෙදන්නේ නැතුව බලය බෙදන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුයි. රට බෙදන්නැයි කවුරුත් පවසන්නේ නැහැ. ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතුයි.

පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී කිසිවෙකු රට බෙදන්නැයි කියා පවසන්නේ නැහැ.” යැයි පැවැසීය.

No comments:

Post a Comment