14 July 2017

ජාතික ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද තීරණය දෙසැම්බරයේ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රියේදී පවසා ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපු‍රයේදී පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවෙන් ඉවත් වනවාද, නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගැනීමට තවත් කල් තිබෙන බැවින් දැනට කලබල නොවිය යුතු බවයි.

මාස පහක කාලයක් ඇතුළතදී තීරණයක් ගැනීමට පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ සහාය  අවශ්‍ය බවත් ඒ මහතා පවසා තිබේ.
අණ්ඩුවෙන් ඉවත් වන බවටත්, මැතිඇමතිවරුන්ට ප්‍රශ්න තිබෙන බවටත් විවිධ ආරංචි පැතිර යන බැවින්  තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනේදැයි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි මැතිඇමැතිවරුන්  කිහිපදෙනෙකු එහිදී පවසා තිබේ.

සැප්තැම්බර් මාසයේදී ගිවිසුම අවසන් වනවිට  ශ්‍රීලනිප මැති ඇමතිවරුන්  පිරිස  ‍ආණ්ඩුවෙන් ඉවත් වී, අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයාට උදවු කරන අතරතුර, ආණ්ඩුවේ වැරදි නිවැරදි කරන වැඩපිළිවෙළකට යායුතු බව එහිදී ප්‍රථමයෙන් අදහස් දක්වා ඇති ‍ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න  මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් මත ශ්‍රීලනිප මැතිඇමතිවරුන්  ආණ්ඩුවේ ඇමැතිකම් බාරගත්තද, දැනට රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය අනුව තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද  නැද්ද කියා තීරණය කළ යුතු බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ රැඳී සිටීම නිසා පක්ෂය අභ්‍යන්තරයේ විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්,පාක්ෂිකයන්ට මෙය ගැටලුවක් වී ඇතැයි ගමට ගිය විට පෙනෙන බවත් පවසා ඇති සෙනෙවිරත්න මහතා,මේ ආකාරයට කටයුතු කළ හොත් ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය කිරීම විශාල ගැටලුවක් විය හැකි බවද සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් ආණ්ඩුව කරන සියලු පාපකර්මවලට ශ්‍රී.ල.නි.ප. මැතිඇමතිවරුන්ට කරගැසීමට සිදුවිය හැකි බවයි.වත්මන් ආණ්ඩුවේ රැඳීසිටීම ගැන  පාක්ෂිකයන් කැමැති නැති බවත්, ශ්‍රීලනිප මැතිඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන්න පාක්ෂිකයන්ගේ මතය බවත් පවසා ඇති නිමල් ලන්සා මහතා, ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා අවාසිසහගත තත්ත්වයන්ට මුහණදීමට සිදුවනු ඇති බවද පෙන්වා දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනතාවක් පෙළගැසී සිටින බැවින් මේ අවස්ථාවේදී කිරාමැන තීන්දුවක් ගතයුතු බවත්,බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් එළියට එනවිට එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත වන බැවින් ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීමට අවස්ථාවක් එනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙහිදී අදහස් සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මහින්ද අමරවීර, එස්.බී. දිසානායක,සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් පවසා ඇත්තේ කණ්ඩායමක් වශයෙන් තීන්දුවක් ගත යුතු බවත්, ඒකාබද්ධ විපක්ෂය කෑ ගැසූ පමණින් බියවිය යුතු නැති බවත්ය.

ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍ය අයට ඉවත්වීමට අවස්ථාව තිබෙන බවත්, ඉතිරි පිරිස සමග ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් සරත් අමුණුගම මහතා පවසා ඇතැයිද වාර්තා වේ.

No comments:

Post a Comment