15 April 2017

සියලු බෝම්බවල මව ඇෆ්ගනිස්ථානයට පතිතවෙයි



සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්ථානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ 'සියලු බෝම්බවල මව' ලෙස බවත්, 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරුණු බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.

පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්ථානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙළනු ලැබූ බව යයි වාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු හෙළිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දී බවත්, හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගිය බවත් බී.බී.සී පුවත් සේවය උපුටා දක්වයි.

ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්‍රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය.


"ප්‍රදේශයේ එහා මෙහා පහසුවෙන් සැරීමට අයිඑස් සටන්කරුවන් යොදාගත් උමං හා ගුහා සංකීර්ණයක් අපේ ඉලක්කය වුණා. එම සංකීර්ණය නිසා ප්‍රදේශයේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයින් වගේම ඇෆ්ඝනිස්තාන හමුදාවද පහසුවෙන් ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වුණා“ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පවසා තිබේ.

ප්‍රහාරයේ ප්‍රතිඵලය  කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පවසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ අයි.එස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවයි.

GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙළනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි.

No comments:

Post a Comment