02 May 2017

අයවැය යෝජනා පරිදි ගොවි වන්දිය පුළුල් වෙන්නේ මෙහෙමයි



මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට. අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත.

මෙම රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රු. 10,000 ක උපරිමයකට යටත්ව හෝ හෙක්ටයාරයකට රු. 25,000 ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ගොවීන්ට වන වගා හානිය වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා 2013 වසර සඳහා වන අයවැය අවස්ථාවේදී කරන ලද යෝජනාවකට අනුව, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලු බැංකු, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන වලින් ඔවුන්ගේ වාර්ෂික ලාභාංශයෙන් සියයට එකක ගාස්තුවක් මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කෙරේ.

ජාතික රක්ෂණ භාර අරමුදලට බැරකරන ලද මෙම මුදල් උපයෝගී කරගෙන, වී ගොවීන්ට වගා හානි සඳහා වන්දි ගෙවීම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා සිදුකෙරෙන බව සඳහන්ය.

2016/2017 මහ කන්නයේ දිස්ත්‍රික්ක ගණනාවක ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් වගා හානි සඳහා ගොවීන් හට අක්කරයකට රු. 10,000 බැගින් වූ වන්දි මුදල් ද පසුගිය මාසය තුළදී ගෙවා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙයට අමතරව, වගා හානි හේතුවෙන් ලබාගත් වගා ණය, ආපසු ගෙවීමට නොහැකි වූ ගොවීන්ට සහන ලබාදීමේ ක්‍රමවේදයක්ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමය නමින් 2016 වසර සිට ආරම්භ කරන ලදී.

මේ යටතේ බැංකු මඟින් වගා ණය ලබාගත් ගොවීන්ගේ වගාවලට යම් හානියක් සිදුවුවහොත් එම හානිය ගණනය කර, ගොවියාට ගෙවීමට නොහැකි වූ ණයමුදල මෙම ණය සුරැකුම් යෝජනා ක්‍රමය මඟින් ගොවීන් වෙනුවෙන් බැංකු වෙත ගෙවනු ලැබේ.

මෙම ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ඉහත පරිදි ණය මුදල් පියවීමද ජාතික රක්ෂණ භාර අරමුදල වෙත බැංකු, මූල්‍ය හා රක්ෂණ ආයතන වලින් ලැබෙන 1% ක ගාස්තුව තුළින් සිදුකෙරෙන බව අමාත්‍යංශය පවසයි.

2016/2017 මහකන්නයේඇතිවූ නියඟයෙන් ගොවීන්ට සිදුවූ වගා හානි හේතුවෙන් ලබාගත් ණය පියවීම සඳහා රුපියල් මිලියන 500 ක පමණ මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල විසින් බැංකුවලට ගෙවීමට සිදුවනු ඇතැයි දැනට ගණන් බලා තිබේ.

2013.04.01 දින සිට මෙම 1% වගා බද්ද ක්‍රියාත්මක කරන ලද අතර එදින සිට 2017 අප්‍රේල් මස 25 වන දින දක්වා මෙම බද්ද මඟින් ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබී ඇති මුළු මුදල රුපියල් මිලියන 5,069.81 කි.

ඉන් රුපියල් මිලියන 3,932.34 ක් වගා හානි සඳහා වන්දි ගෙවීමට හා ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ලබාදී ඇති අතර 2017 අප්‍රේල් මස 25 දින වනවිටරුපියල් මිලියන 1,137.47 ක මුදලක් ඉතිරි වී ඇති බව සඳහන්ය.

ඉන් රුපියල් මිලියන 500 ක් 2016/2017 මහ කන්නයේ වගා හානි ගෙවීම සඳහා තවදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි මුදල් ජාතික ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ 2016/2017 මහ කන්නයට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා රඳවා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව, මෙම 1% ක වගා බද්ද අයකිරීම ආරම්භ කළ දිනයේ සිට 2017.04.25 දින දක්වා සංචිත වශයෙන් එකතු වී ඇති මුළු මුදල රුපියල් කෝටි 500 ක් පමණ වන බැවින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය වෙත පැවසූ පරිදි මෙම අරමුදලේ කෝටි 700 ක් අතුරුදන් වී නොමැති අතර අදාළ එකතු වූ සංචිත බදු මුදල එම බද්ද පැනවීමේ අරමුණට අනුව ගොවි ජනතාවගේ යහපත සඳහා රජය විසින් යොදවා ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment