16 May 2017

රජයේ තීන්දුව විශ්වාස කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි



වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය නිවේදනය කළ ප්‍රතිපත්ති තීරණ විශ්වාස කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා කියා සිටියේ රජය මෙවැනි ආකාරයේ දැන්වීම් අවස්ථා කිහිපයකදී පළ කළ බවයි.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමිතීන් සහ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පුවත්පත් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබුණා.

ඒ අනුව සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොටස් වෙළදපොළේ ලැයිස්තුගත කිරීම, මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම හා සයිටම් ආයතනයට අදාළ රජයේ තීරණ ක්‍රියාත්මක වන තෙක් එම ආයතනයට නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවීම ද මෙම ප්‍රතිපත්තිවලට ඇතුළත්.

රජය බදවා ගැනීම් නතර කරන බවට දැනුම්දීමක් සිදුකර තිබියදීත් ඊයේ දිනයේදීත් මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙත නවක සිසුන් බදවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියේ සයිටම් ගැටළුවේ එකම කොටස්කරු වෛද්‍ය සභාව නොවන බවයි.

No comments:

Post a Comment